
කොරෝනා වයිරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකික රෝගීන් පස් දෙනෙකු මේ දක්වා සොයා ගැනීම නිසා රට තුළ දැන් කොරෝනා භීතියක් හටගෙන තිබේ. එමෙන්ම පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැක කටයුතු රෝගීන් දෙදෙනකු අයිඩීඑච් රෝහලට මාරුකර ඇත.
එසේම මේ වන විටත් පුද්ගලයින් 64 දෙනකු සැක කටයුතු ලෙසින් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමත් ප්‍රථමයෙන් හමුවූ කොරෝනා රෝගීන් දෙදෙනාගේ ඥාතීන් නිරෝධායනය කිරීමට කටයුතු කිරීමත් නිසා ඉදිරි පූර්ව ආරක්ෂිත පියවරක් ලෙසින් රජය මඟින් පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යයන ආයතන වසා දැමීමට පියවර ගන්නා ලදී. එමෙන්ම යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතා දමා ඇත. මහජන ප්‍රවාහන සේවාවල
විෂබීජ හරණය කිරීමට ද මේ යටතේ පියවර ගෙන තිබේ. කොරෝනා කාර්ය සාධක බළකාය කටයුතු වඩාත් හොදින් බල ගැන්වීමට ස්ථිර නිවහනක් ලබාදී නිතිපතා තොරතුරු රැස්කර තීරණ ගැනීමට ද රජයෙන් උපදෙස් ලබා දී ඇත.
රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වා ගැනීම සඳහා අන්තර්ජාලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා හා උත්සව සියල්ල හැකි උපරිමයෙන් සීමා කිරීමට ද පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසයට ගොදුරුව ඇති රෝගීන් දෙදෙනා ඇසුරු කළ හා ඔවුන් ආ ගිය තැන් පිළිබඳ තොරතුරු රැස් කර අදාළ පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද රජය පියවර ගෙන ඇත.
මේ අතර කොරෝනා වසංගත තත්වයක් ඇති වුවහොත් මහ මැතිවරණය කල් දැමීමට සිදුවනු ඇති බවද මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට මැතිවරණ කොමිෂමට බලය ඇති බවද එම කොමිෂම සඳහන් කරයි.