
මෙරට පවත්වන පාපැදි තරගාවලි අතරින් දිර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියමින් වාර්තා පොතට ගුවන් හමුදාවේ 69 සංවත්සරයට සමගාමීව සංවිධානය කළ 21වැනි ගුවන් පාපැදි සවාරිය එක්විය. කොළඹින් ආරම්භ වී අනුරාධපුර නගරයෙන් අවසන් වු දින තුනක් අදියර තුනකින් සමන්විත කිලෝ මිටර් 445ක් පුරා පැවැති තරගයෙන් යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂ සමස්ත තරගයෙන් ජය වාර්තා කිරිමට සමත් විය. තරගාවලියේ කණ්ඩායම් ශූරතාවයද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුහ. මෙරට පැවැති කීර්තිමත් හා අගනා පාපැදි තරගාවලිය ලෙස විරුදාවලිය ලත් සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම (ලේක් හවුස් ආයතනය) සංවිධානය කළ ‘ලංකා සවාරිය‘ පාපැදි තරගාවලිය වසර 20ක් සංවිධානය විය.එම දිර්ඝතම ඉතිහාසය නිමා කරමින් වසර 21ක් සංවිධානය කරන ලද එකම තරගාවලිය ලෙස ගුවන් හමුදා පාපැදි තරගාවලිය මෙවර ඉතිහාසයට එක් විය.
21වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනක් යටතේ කිලෝ මිටර් 445ක දුරක් ආවරණය වන පරිදි තරගාවලිය සංවිධානය විය. තරග කරුවන් 157දෙනෙකු තරගය ආරම්භක දිනයේ තරගාවලියට එක් වු අතර දෙවන දිනය වන විට තරගාවලියට එක්ව සිටියේ තරග කරුවන් 118දෙනෙකු පමණි. කිලෝ මීටර් 51ක නිදහස් ධාවනයක්ද සමස්ත තරගයට එකතු විය. ඒ අනුව තරග කරුවන්ට සමස්ත දුර කිලෝ මිටර් 497ක් විය.
පළමු අදියරෙන් සංජු දිමන්ත ජයගත් අතර දෙවන අදියරෙන් ජයහිමි වුයේ දර්ශන ප්‍රසාද්ටයි. නමුත් පළමු හා දෙවන අදියර දෙක නිමාවන විටද සමස්ත තරගයෙන් පෙරමුණ ගැනිමට සමත් වුයේ යුද්ධ හමුදාව නියෝජනය කළ තුෂාන් රාජපක්ෂයි. අවසන් අදියර වු ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරය දක්වා වු තරගයෙන් යුද්ධ හමුදාවේ අවිශ්ක මැඩොන්සා ජයගත්තේය. නමුත් අවසානයේ සමස්ත තරග ප්‍රතිපලයෙන් ජයග්‍රාහකයා වුයේ යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂයි. 21වැනි ගුවන් පාපැදි සවාරියේ ජය කිරුළ හා මුදලින් රුපියල් ලක්ෂ තුනක් හිමිකරගත් යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂගේ ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ හා සොසුසුම් මැද පැමීණි ජයග්‍රාහි මාවත ගැන අප සමග කළ හෘදයාන්ගම සංවාදයයි මේ.
මගේ තනිපුද්ගල ජයග්‍රහණයක් නෙමෙයි මෙම ජයග්‍රහණය. මේක කණ්ඩායම් ජයක්. මගේ කණ්ඩායම ලාබාල කණ්ඩායමක් අත්දැකීම් අඩු කණ්ඩායමක්. මම හැමවිටම කළේ මගේ කණ්ඩායම සමග තරගයේ පෙරමුණ ගැනීමයි. ඔවුන්ට රැකවරණය සැලැසීමයි. අපේ කණ්ඩායමේ පැතුම් සම්පත් තමයි පළමු අදියරේ තෙවැන්නා ලෙස තරගය නිමකළේ. මමයි. නිරාන් පසිඳුයි. අවිෂ්ක මැඩොන්සායි. කළේ ඔහුට රුකුල් දිමයි. තරගයෙන් ඔවුන්ව පෙරමුණට ගෙන ඒමට කටයුතු කිරිමයි. මම කණ්ඩායම් නායකයා. ඒ නිසා මට විශාල වැඩකොටසක් තිබුණා තරගය තුළ ඉටුකරන්න. නමුත් නොදැනුවත්වම දෙවන අදියර නිමා වන විට මගේ ලකුණු ප්‍රතිශතය ඉහළට පැමිණ තිබුණා.
මම 2011 වසරේදී යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට එක්වුණා. ඒ එක් වුණේත් පාපැදි ක්‍රීඩකයෙකු ලෙසයි. එදා සිට අද දක්වාම මම පාපැදි ක්‍රීඩකයෙකු ලෙස යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම නියෝජනය කරනවා. මේ වන විට විදේශ සංචාර 7කට මම සහභාගි වි තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය තමයි මගේ පාපැදි ක්‍රීඩාවේ තෝතැන්න වුණේ.
මම දිනාගත් ලොකුම ජයග්‍රහණය තමයි 2013 වසරේදී ලංකාවේ මෙතෙක් පැවැති දීර්ඝතම පාපැදි සවාරියේ ජයග්‍රහකයා වීම. ජනාධිපති පදවි ප්‍රාප්තියට 10 වසරක් පිරීම වෙනුවෙන් පැවැති තරගාවලියේදී මම තමයි ජය ගත්තේ එහිදී දක්ෂතම කඳුතරණ ක්‍රීඩකයාට හිමි කුසලානයද මට හිමි වුණා. දක්ෂතම ලාබාල ක්‍රීඩකයාට හිමි කුසලානයද මට හිමි වුණා. ඒ තමයි මම ජයගත් ලොකුම ජයග්‍රහණය. මම පාපැදි ක්‍රීඩකයෙකු ලෙස වැඩියෙන්ම ඇලුම් කරන්නේ කඳු තරණයට. තැන්නෙත් දක්ෂතා ප්‍රදර්ශණය කර තිබෙනවා.
පළමු අදියරට වඩා දෙවන අදියර අපට තරමක් පහසු වුණා. අපි පුහුණු වීම් වල නිතර ම නියැලෙන මාර්ගය තමයි අපට හමුවුණේ. දෙවන අදියරේදී අපේ කණ්ඩායමේ පුහුණු ගුරුවරයා ත්‍රිකුණාමලය බටකාර සම්පාදන පුහුණු පාසලේ තමයි රාජකාරිය කළේ. එතුමා අපිව ත්‍රීකුණාමලයේ කඳවුර තුල ඉදුම් හිටුම් ලබාදෙමින් අපිව නිතර පුහුණු කළ මාර්ගය තමයි අපට දෙවන අදියරේදී හිමි වුණේ ඒ නිසා අපේ කණ්ඩායමට එය මනා පිටිවහලක් වුණා.
තරගාවලියක අදියරක් තනි පුද්ගලයෙකුට ජයගත හැකි වුණත් තරගාවලියක් ජයගැනීමට නම් කණ්ඩායමක් අනිවාර්යයෙන්ම එකට සිටිය යුතුයි. නැතිනම් කිසිදා තරගාවලියක් ජයගන්න බෑ. මම හැම විටම මගේ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන්ට පවසන්නේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කරන්න එතකොට ජයටැඹ කරා යා හැකිය කියායි.මම යුද්ධ හමුදාවට එක් වීමට ප්‍රථම 2010 වසරේදී තමයි ගුවන් පාපැදි සවාරිය යුද්ධ හමුදා කණ්ඩායම ජයගෙන තිබුණේ මේ වසර 10කට පසු තමයි නැවත වරක් යුද්ධ හමුදා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවුණේ. ඒ ජයග්‍රහණය හිමිකරගත්තේ තනි පුද්ගලයෙකු ලෙස මම නෙමෙයි. මහ පැතුම් සම්පත්, අවිශ්ක මැඩොන්සා, අනුර කුමාර, චරිත් ප්‍රනාන්දු, නිරාන් පසිඳු, තරිදු සදරුවන්, සඳරුවන් පින්තු හා නිරාන් පසිඳු යන කණ්ඩායම එකට සිට තරග කිරීමෙන්.
මගේ ගමන දිගු ගමණක් නෙමෙයි කෙටියි. නමුත් පැමිණි ගමන ගැන මම තෘප්තිමත්. මට විරයෝ සිටියේ නෑ. නමුත් මගේ පියා චන්ද්‍රසිරි දයාරත්න, දම්මිකා පෙරේරා මගේ මව තමයි මගේ විරයෝ. මේ දෙදෙනාටම වැඩියෙන් මගේ මේ පැමිණි මාවතේ ප්‍රධානියා තමයි මම දෙවැනියට අධ්‍යාපන හැදැරුව පාසැලේ මුල් ගුරුතුමිය චන්ද්‍රනි ද සිල්වා ගුරුමැණියන්. ඇය තමයි මාව පාපැදි තරග සඳහා යොමු කළේ.
පාසල් කාළයේදී පාපැදි ක්‍රීඩාවට ඇලුම් කරාට අඩුපාඩු එමටයි. මගේ පියා මම යුද්ධ හමුදාවට එක් වන්නට පෙර අපිව හැරදා ජිවිතයෙන් සමුගත්තා. එදා සිට මගෙයි අක්කලා දෙන්නාගෙයි බර දැරුවේ මගේ අම්මා. අම්මා රැකියාවක් කළා. ඒ ලැබෙන පඩියෙන් තමයි අක්කලා දෙන්නාගෙයි මගේයි අඩුපාඩු සැලැසුවේ. මම පුළුල් ලෙස ක්‍රීඩාවට යොමු වුණ මුල් වකවානුවේදී අම්මාගේ පඩියෙන් තමයි මගේ උවමනා ඉටු කළේ. මට මතකයි අම්මාට ලොකු පඩියක් තිබුණේ නෑ. නමුත් මාස කිහිපයක පඩියෙන් එකතු කරගත්තු රුපියල් 10,000ක් වියදම් කරලා මට පාපැදි ක්‍රීඩාවට අවශ්‍ය කරන සපත්තු කුට්ටමක් අරන් දුන්නා. අඩුපාඩු මැදින් ආ ගමනක් තමයි මට තිබෙන්නේ.
මම විවාහකයි. මගේ බිරිඳ හා මගේ පුතු මට ආශිර්වාදයක් මේ ගමනට. මම විවාහා වුණේ ගාල්ල උණවටුන ප්‍රදේශයේ අනුෂා මදුෂානි සමගයි. මට දැන් මාස හයක ඔහිරු යසස් පුතු සිටිනවා. ඔවුන් ගේ ආශිර්වාදය මට හැම විටම තිබෙනවා. බිරිඳ රැකියාවක් කරන්නේ නෑ. දැනට වාද්දුවේ තමයි පදිංචිය.
ඒ වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ද උවමනාවක් තිබෙනවා මේ වසරේ අවසානයේදී යුද්ධ හමුදාවෙන් පාපැදි සවාරියක් ආරම්භ කිරිමට. එසේ වාර්ෂික පාපැදි සවාරි කිහිපයක් සංවිධානය වුනානම් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩකයන් ඉබේම බිහිවෙයි. හමුදාපති තුමා, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රීගේඩියර් චන්දසිරි, ඒ වගේම යුද්ධ හමුදා පාපැදි සංගමයේ සභාපති දුමින්ද සිරිනාග, ලේකම්ලුතිනල් කර්නල් රංජිත් ජයසිංහ, ත්‍රීකුණාමලය බටකර සම්පාදන කඳවුරේ අණදෙන නිලධාරිතුමා ඇතුල අපගේ පුහුණු බාර ආචාර්ය තුමා, භෞතික චිකිස්සක තුමා, කාර්මික ශීල්පීන් සහායක ශීල්පීන් ඇතුල සියලු දෙනා අපට ඉතාමත් ඉහළ සහායෝගයක් ලබා දුන්නා. ඒ වගේම මේ ජයග්‍රහණය පිටුප සිටියා. ඹවුන්ට මගේ කෘතවේදීත්වය මේ අවස්ථාවේදී පිදිය යුතුයි.










