පාසල් ක්‍රිකට් පිටිය දෙවනත් කළ අලුත්ම වීරයා මෙන්න | සිළුමිණ

පාසල් ක්‍රිකට් පිටිය දෙවනත් කළ අලුත්ම වීරයා මෙන්න

නවෝද්
නවෝද්

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ“ යැයි පැරැන්නන් කීවේ කට ගහනවට නොවේ. නිරෝගී ශක්තිමත් රූස්ස ගසක් බිහිවන විට එහි පළමු පියලි දෙක බීජයෙන් එළියට එනවිටම නිරෝගී බවක් පෙන්වන බැවිනි.

මේ කියමන යථාර්ථයක් බවට පත්කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන සමත්වූයේය. ඒ නිකම්ම නොවේ එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෑම මාදිලියක පිළිගත් පාසල් ක්‍රිකට් තරඟයක දී එක් ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකරගනිමිනි. ඒ ලකුණු 409ක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව රැස්කිරීමෙනි. එම ලකුණු සංඛ්‍යාවත් සමගින් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 679ක් ලැබුවේ පාසල් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද හිමිකම් කියමිනි. ඉන්දියාවේ පාසල් ක්‍රීඩකයකු ලකුණු 500ක් ඉක්මවා රැස්කර ඇතත් එ් නිල වශයෙන් පිළිගත් තරඟයක දී නොවන බැවින් නවෝද්ගේ ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාව ලෙස ද පිළිගැනෙනු ඇතැයි පැවසේ.

ඒ 2016 වර්ෂයයි. ඉන් ඉහත වර්ෂ දෙකේ දීම රිච්මන්ඩ් - මහින්ද ''ආදරවන්තයන්ගේ සටන" නම් මහා ක්‍රිකට් තරගය පිට පිටම දෙවතාවක් පැරදී සිටි මහින්දය තෙවන වතාවටත් පරාජය කිරීම රිච්මන්ඩ් විද්‍යාලයේ බලාපොරොත්තුවක් වී තිබිණි. ඔවුන් ඒ සඳහා හොඳ සූදානමකින් සිටියේ ද 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් හතර දෙනකු ම රිච්මන්ඩ් කණ්ඩායම නියෝජනය කළ බැවිනි. මහින්ද ක්‍රිකට් ප්‍රේමීන් ද 2016 ද පරාජයක් උරුමවනු ඇතැයි සිතා සිටියේය.

නමුත් සියල්ලන් පුදුමයට පත්කරමින් මහින්දය වෙනුවෙන් ඉනිම ඇරඹුවේ යන්තම් අවුරුදු 13ක් හා මාස 10ක් වයසැති පුංචි කොලු ගැටයෙකි. රිච්මන්ඩ් ක්‍රීඩකයන් සිතුවේ ඔහු තමන්ට පහසු ගොදුරක් වනු ඇතැයි කියාය. නමුත් තම කණ්ඩායමේ එකිනෙකා ආපසු ක්‍රීඩාගාරයට හැරී යද්දී පන්දුවාර 74ක මහින්දීය ඉනිමේ පන්දුවාර 62ක් අවසන්වනතුරුම තම ඉනිම ආරක්ෂාකරගත් මේ ක්‍රීඩකයා 63 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී දැවී ගියේ රිච්මන්ඩ් විද්‍යාලයට තවත් ජයග්‍රහණයක් පිළිබඳ සිතන්නට නොහැකි බව ක්‍රීඩාපිටියේය සටහන් කරමිනි. ඔහු එදා තම මංගල මහා ක්‍රිකට් ගැටුමේ දී රැස්කළ ලකුණු 31 මහින්දයට ශතකයක් තරමටම වැදගත් වූයේය. ඒ තරඟය එදා පුංචි නවෝද් පරණවිතාන මහින්දය වෙනුවෙන් බේරාගත්තේය.

2002 මැයි මස 16වැනි දා උපන් නවෝද් ගාල්ල අම්බලන්වත්තේ පදිංචි කැළුම් පරණවිතාන මහතා සහ දීප්ති දහනායක මහත්මියගේ පවුලේ දෙවැන්නාය. ඔහුට වැඩිමහල් සහ බාල සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. තිදෙනාම ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෝය.

නවෝද්ගේ ක්‍රිකට් හැකියාව මුලින්ම හඳුනාගත්තේ ඔහුගේ පියා විසිනි. මහින්ද විද්‍යාලයේ ම ආදි සිසුවකු වන කැළුම් පරණවිතාන මහතා විද්‍යාලයීය 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ නිසාම ඔහු තම වැඩිමහල් පුතු බිනෝද් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේය. මහින්දයේ 13 පහළ කණ්ඩායමත් 15න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ බිනෝද් පිටියේ පුහුණුවීම්වල නිරතවන විට නවෝද් සිය පියා සමග එහි ගියේය.

මහින්ද කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර පිටියෙන් ඉවතට ඇදී ගිය ලෙදර් පන්දුවක් අතටගත් නවෝද් සිය වමතින් එය පන්දු යවන්නකු යවන ආකාරයෙන් ම පියා දෙසට යැව්වේය. මේ ඉරියව්වේ අපූර්වත්වය දුටු පියා නවෝද් ක්‍රිකට්වලට යොමු කළ යුතුයැයි සිතුවේය.

නවෝද් සිය පියා මව හා මල්ලී සමගින්

“මහින්ද වර්ණ සහිත කැප් තොප්පිය පැළඳි මේ ක්‍රිඩකයා 2015 වර්ෂයේ දී 13න් පහළ පාසල් ක්‍රීඩකයකු ලෙස ලකුණු 1182ක් ලබා ගනිමින් එම වයස් කාණ්ඩයෙන් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තමන් සතුකරගත්තේය. වයස අවුරුද 13න් පහළ කණ්ඩායමේ සිටිමින්ම විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයකු සාමාජිකයකු වීමට ඔහුට හැකිවිය. 13න් පහළ කණ්ඩායමේ නායකයා ද වූ නවෝද් 2017 පාසල් ක්‍රිකට් වාරයේ දී වයස අවුරුදු 15න් පහළ ලකුණු 1023ක් ලබාගැනීමට සමත් වූයේ මෙතෙක් 15න් පහළ ලකුණු දහස ඉක්මවා ගිය එකම ක්‍රීඩකයාගේ වාර්තා අද දක්වාම තමන් සතු කරගනිමිනි. වයස් කාණ්ඩ දෙකකින් ලකුණු 1000 ඉක්මවූ ශ්‍රී ලංකාවේ එකම පාසල් ක්‍රීඩකයා ද වන්නේ නවෝද්ය.

ඔහුගේ මව දීප්ති දහනායක මහත්මිය සිය පුතු ගැන මෙසේ කීවාය.“පුතා පුංචි කාලෙ ඉදලම ක්‍රීඩා වලට කැමතියි. එයා මුලින් පාපන්දු සෙල්ලම් කළා. ඉස්කෝලේ කණ්ඩායමෙත් හිටියා. නමුත් ක්‍රිකට්වලට ගියාට පස්සේ පුහුණුකරුවන් කීවා එකක් කරන්න කියලා. එයා පාපන්දු අතහැරලා ක්‍රිකට් තෝරාගත්තා. පොඩි කාලේ ඉඳලම හරිම නිශ්ශබ්දයි. අදටත් කතා කරන්නේ පවා හරිම අඩුවෙන්. නමුත් ක්‍රීඩාවටනම් පුදුම උනන්දුවක් තිබුණේ. කොච්චර එපා කිව්වත් බැට් එකයි බොලෙයි අරගෙන සෙල්ලම් කරනවා. ගෙදර ලයිට්, ජනේල වීදුරු ඔක්කොම කුඩු කරනවා. එහෙම කරලා හැංගිලා ඉන්නවා. ආයිත් ටිකකින් බෝලෙ අතට ගන්නවා. ගේ ඇතුලෙත් බෝල ගහනවා. ගෙදර බිත්ති වල හැමතැනම බෝල පාරවල්.

කැළුම් පරණවිතාන මහතා මෙසේ කීවේය. “මම යුද හමුදා පොලිසියේ සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඉතින් පුතාලා දෙන්නම පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වියදම් දරා ගැනීමේ ගැටලුවක් තිබුණා. මේ වෙලාවේ නවෝද් වෙනුවෙන් මට පිහිටට ආපු මගේ පාසල් මිත්‍රයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නලින් හේරත් මහතා අනෙක් කෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතා මේ දෙන්නා මගේ පුතාට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබා නොදෙන්න අපිට පුතාව මේ වගේ තැනකට ගන්න බැරි වෙනවා.

නවෝද් මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟවලට සහභාගී වීම හේතුවෙන් පාසලේ තරඟ නියෝජනය කළේ අඩුවෙනි. ඒ නිසාම ඔහු ධර්මාශෝක විද්‍යාලය සමග පැවැති මේ වාර්තාගත තරඟයට සහභාගී වී ඇත්තේ යම් බලාපොරොත්තුවක් ඇතිවය.

නවෝද් මහින්ද විදුහලේ විදුහල්පති ගාමිණී ජයවර්ධන  සමග
 

නවෝද් පරණවිතාන ඒ ගැන මෙසේ කීවේය.

''මේ පාසල් වාරයේ දී ඉස්කෝලේ වෙනුවෙන් තරඟ කරන්න ලැබී තිබුණේ තරඟ හතරක් විතරයි. ඒ නිසා යමක් කරන්න අවශ්‍ය වුණා. අදහසක් තිබුණා 100ක් ගහන්න ඕන කියලා. පළමු 100 ගත්තම හිතුණා 200ක් ගහන්න පුළුවන්නම් හොඳයි කියලා. මේ 200 ගන්නකම් මට ලොකු පීඩනක් තිබුණා. අමාරුවෙන් සෙල්ලම් කළේ. 200 ගැහුවම ගොඩක් සැහැල්ලුවක් දැණුනා. මම මගේ පහරවල් වලට නිදහසේ ගියා. 300 ට ආවම හිතුවා වාර්තාව කඩන්න ඕන කියලා. 400ක් පන්නන්න ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි. මම මගේ ජීවිතයේ කැමතිම ඉනිමක් තමයි මම ඉස්සෙල්ලාම සෙල්ලම් කරපු බිග් මැච් එකේ දී ලකුණු 31ක් ගත්තු ඉනිම. මේ ඉනිම වාර්තාගත ඉනිමක් වුණත් මගේ පාසල් ප්‍රජාව මම අඳුනාගත්තේ එදා බිග් මැච්එක බේරාගත්තු නිසා."

ඔහු පවසන්නේ මේ වාර්තාගත ලකුණු 409 ගෞරවය තම මවට, පියාට, අයියට මල්ලිට, පුහුණුකරුවන්ට, විදුහල්පතිතුමාට, ක්‍රිකට් භාර ගුරුවරුන්ට සහ සමස්ත මහින්ද ප්‍රජාවටම හිමිවිය යුතු බවයි. ඔහු තම පාසල් පුහුණුකරුවන් වූ ලකී අරඹවෙල, රොඩ්නි ප්‍රගීත්, සුමිත් කුඩාහෙට්ටි, ධනුෂ්ක දෙනගම, අනිල් රිදීගම්මනගෙදර, යොමාල් සංජීව යන මහත්වරු තමන්ගේ ගමනට විශාල රුකුලක් වූ බව සිහිපත් කරන්නේ කෘතවේදීවය. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් ද මේ ගමනට මහත් ධෛර්යක් ලැබුණු බව නවෝද් කීවේය. එමන්ම ක්‍රිකට්බාර ආචාර්ය නිශාන්ත කුමාර මහතා ද ඔහුට යෝධ ශක්තියකි. මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ පවසයි.

“නවෝද් කියන්නේ අපේ ලොකු බලාපොරාත්තුවක්. ඔහු මහින්දයේ සළකුණක් කියා කීවොත් නිවැරදියි. ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අපි ප්‍රාර්ථනා කරනවා නවෝදට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් දස්කම් දක්වමින් ඉදිරියටම යන්න අවස්ථාව උදාවේවා කියා.“

Comments