
මේ ගහ කොළ අන් කවරදාටත් වඩා මිහිතලයට අවශ්‍ය යුගයකි. එහෙත් අවාසනාවකට මෙන් හැම අතින්ම අසන්නට ලැබෙන්නේ වනාන්තර එළි කිරීම් සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධව අලුත්ම වාර්තාය. එවන් වූ යුගයක සිතට සැනසිල්ලක් දනවන පුවතක් අසන්නට ලැබෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඒ වියළි ශුෂ්ක බිමක් වැසි වනාන්තරයක් බවට පත් කළ අපූරු යුවළක් සම්බන්ධයෙනි.
පැමලා සහ අනිල් මල්හෝත්‍රා යුවළ ජීවත් වන්නේ දකුණු ඉන්දියාවේ කොඩාගු ප්‍රදේශයේය. කොඩාගු යනු කර්නාටක් ප්‍රාන්තයේ වාණිජ අගනුවරයි. 1970 වන විට මේ ප්‍රදේශයෙන් සියයට 86ක් වන ගහනයෙන් වැසී තිබූ අතර වසර 2000 වන විට එයින් ඉතිරිව තිබුණේ සියයට 16ක් පමණි. සිදු වන විනාශය බරපතළ බවත් තම ජීවිත කාලය තුළ පරිසරය වෙනුවෙන් යමක් කළ යුතු බවත් අධිෂ්ඨාන කර ගන්නා මේ යුවළ අදින් වසර 25කට පෙර එනම් 1991දී තම අරමුණ කරා යන ගමන ආරම්භ කළහ. ඔවුහු ප්‍රථමයෙන්ම මුඩු බිම් මිලට ගනිමින් සැලකිය යුතු ඉඩකඩ සහිත ප්‍රදේශයක් ඒ වෙනුවෙන් සකස් කර ගත්හ. මේ බිම් එක් කලෙක වනාන්තරවලින් වැසී ගොස් තිබූ අතර ඒවා මුඩු බිම් බවට පත්ව තිබුණේ දිගින් දිගටම බෝග වගා කිරීම හේතුවෙනි. මෙලෙස අක්කර 300ක ප්‍රදේශයක් හිමි කර ගැනීමෙන් පසු පැමලා සහ අනිල් තම ජීවිත කාලය තුළ සිදු කරන්නට යෙදුණු මහා සත් ක්‍රියාව ආරම්භ කළහ. ඒ මුඩු බිම පුරා පැළ රෝපණය කිරීමෙනි. වසර ගණනාවක් මෙලෙස තමන් රෝපණය කළ පැළ ආරක්ෂා කළ ඔවුන් දෙදෙනා ඒ පැළ ටිකෙන් ටික වර්ධනය වනු බලා සතුටු වූහ. ඒ පුංචි පැළ එකින් එක රූස්ස ගස් බවට පත්ව උඩු වියන් තනද්දී පහතින් වූ පොළොවද සරුසාර වන්නට විය. එයිනුදු නොනැවතුණු පැමලා සහ අනිල් තමන් වැවූ වනාන්තරය මැදින් ගලා බසිනා මනරම් දිය පහරවල්ද තැනූහ.
දැන් සියල්ල සම්පූර්ණය. ඔවුන්ගේ අරමුණ ඉටු වී තිබේ. ඔවුහු දැන් අක්කර 300ක නිවර්තන වැසි වනාන්තරයක මිහිකරුවෝය. එහෙත් යම් කිසිවක අඩුවක් දැනෙන්නේය. ඔවුන්ගේ වනාන්තරය හුදෙකලාය. වානාන්තරයේ පැවැත්මට උර දෙන අත්‍යවශ්‍ය සාධකයක අඩුව ඔවුන්ට තදින්ම දැනෙන්නට විය. ඒ සතුන්ය. පැමලා සහ අනිල්ගේ වැසි වනාන්තරය තුළ සත්තු නොවූහ. ඉතින් ඔවුහු තම වනාන්තරය තුළ වන සතුන් ඇති කිරීමට කටයුතු ආරම්භ කළහ.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ පැමලා වරක් මෙසේ පවසා සිටියාය.
“අපේ වනාන්තරයේ එකිනෙකට වෙනස් වර්ග 30ක පමණ ගස් රෝපණය කර තිබුණා. මේ අතරින් ඇතැම් ගස්වල පැවැත්ම තිබුණේ සතුන් අතේ. උදාහරණයක් විදිහට අලින් සලකන්න. ඔවුන් ඇතැම් ගස්වල ගෙඩි ගිලිනවා. ඉන්පසු කිලෝමීටර් ගණනක් එපිටින් ඒ ගෙඩි වසුරුත් සමග බැහැර කරනවා. ඒ ස්ථානවල ඒ ගෙඩිවල ඇට පැළවීමෙන් එම වර්ගයේ ගස් ගහනය වැඩි වෙනවා. ඒත් ඒ ස්වාභාවික පැතිරීම සිදු කිරීමට අපේ වනාන්තරයේ සතුන් නැහැ. ඒ නිසා අපි තීරණය කළා අපේ වනාන්තරයට සතුන් එක් කිරීමට“
එතැන් සිට පැමලා සහ අනිල් ඔවුන්ගේ වනාන්තරය තුළට සතුන් මුදා හරින්නට වූහ. මේ වන විට ඔවුන්ගේ වනාන්තරය තුළ දිය බල්ලන්, කැලෑ බළලුන්, මලබාර් යෝධ ලේනුන්, මුවන් වර්ග කිහිපයක්, වඳුරන්, ඉන්දියානු රාජ නාගයන්ද ඇතුළුව නයින් සහ සර්පයන්, ඉන්දියානු කැලෑ බල්ලන්, නරින්, වෘකයන් සහ දිවියන්ද ආසියානු අලින් සැපසේ ජීවත් වීමට පහසුකම් ඇත. ඒ අතරින් සුවිශේෂම සත්ත්වයා වන්නේ රාජකීය බෙංගාලි කොටියාය.
පැමලා මාධ්‍යට පවසා ඇත්තේ මේ වන විට ඔවුන්ගේ වනාන්තරයේ ආරක්ෂිත බව ඉවෙන් මෙන් වටහා ගන්නා සතුන් ඒ වෙත පැමිණෙමින් සිටින බවයි. ඔවුන්ට ප්‍රමාණවත් ජලය සහ ආහාර මෙන්ම ඔවුන් කිසිදා දඩයම් නොකරන බවට වන සහිතකයක්ද මේ වනාන්තරය තුළදී වන සතුන්ට ලැබෙන්නේය. ඒ අනුව වනාන්තරය මේ වන විට වෘක්ෂලතාවන්ගෙන් මෙන්ම වන සතුන්ගෙන්ද පිරී පවතින්නේය.
වසර 25ක තම කැපවීම සම්බන්ධව අද ඉතා තෘප්තිමත්ව සිටින පැමලා අනිල් යුවළ පවසන්නේ තම උත්සාහය හේතුවෙන් කර්ණාටක් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ කිහිපයකම යහපත් කාලගුණ තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවයි. මහ මුහුද හරහා හමා එන සිසිල් සුළඟ, තම වනාන්තරය හරහා හමමින් තවත් සුපෝෂිතව ඉන් ඉදිරියටද හමා යන බවත්, එමගින් ප්‍රදේශ රැසකට වැසි ලැබෙන බවත්, පස සරු වන බවත්, තවතවත් ගස්වැල් ඇතිවීමට එයම හේතුවන බවත් පෙන්වා දෙන පැමලා සහ අනිල් මල්හෝත්‍රා තමන්ගේ උත්සාහය මෙලෙස සඵලව තිබෙනු දැක්ම ඉතා සතුටක් බවද පවසයි.
සැබැවින්ම මෙවන් මිනිසුන් ලෝකයම සුන්දර කිරීමට තම ජීවිත කැපකරන ජීවමාන දෙවිවරුන් ලෙස පැසසිය යුතුය. එපමණක්ද නොව ඔවුන්ගේ අඩිපාරේ යන තවත් මිනිසුන් බිහි කිරීමටත්, එවන් මිනිසුන්ට මේ මිහිතලය සුන්දර කිරීමටත් තවතවත් ශක්තිය ධෛර්යය සැපයිය යුතුය.
ටිරෝනි වෑවලගේ