
කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ලෝක ව්‍යප්තිය මේ වන විට මිනිසාට ඉතා කණගාටුදායක සහ බියජනක අත්දැකීම් ලබා දෙමින් තිබේ. මේ වන විට රෝගීන් 90 000 ඉක්මවා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 3200 ඉක්මවා තිබේ. අප්‍රිකා මහාද්වීපයේ රටවල් කිහිපයකින් හැර ලොව අනෙක් සෑම රටකින්ම පාහේ මේ වන විට රෝගීන් වාර්තා වී ඇති අතර බොහොමයක් රටවල ජනතාව අතර වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. මේ අතර ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය ප්‍රධාන වේ. මැද පෙරදිග කලාපයද මේ වන විට වයිරසය විශාල ලෙස ව්‍යප්ත වන ප්‍රදේශයක් සේ සැලකේ. එහෙත් චීනයෙන් ලැබෙන වාර්තා සතුටුදායක වන අතර චීනයෙන් දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද විශාල අඩුවක් පෙන්වයි.
එහෙත් එසේ වන්නේ ඖෂධයක බලපෑමෙන් නොවීම කණගාටුවට කරුණකි. මේ අතර චීන පර්යේෂකයන් පවසා තිබුණේ වයිරසය මුදල් නෝට්ටු මගින් පහසුවෙන් මිනිසුන් අතර පැතිර යෑමේ ඉඩක් පවතින බව හඳුනා ගත් බවයි. එය ඉතා භයානක තත්ත්වයක් වන්නේ මුදල් භාවිත කිරීමෙන් වැළකීමේ ක්‍රමයක් නොපවතින බැවිනි.
වයිරසය මිනිසුන් අතර පැතිරීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර චීනය පසුගියදා පවසා සිටියේ එය චීනයෙන් පමණක් ආරම්භ වූ බව සහතික කළ නොහැකි බවයි. වයිරසය වූහාන් හි මත්ස්‍ය වෙළෙඳ පොළෙන් ආරම්භ වූ බවට සාක්ෂි නොමැති බවද චීනය පවසා තිබේ.
අන් කවරදාටත් වඩා අයිස් තට්ටු දියවෙමින් යන, ගෝලීය උණුසුම ඉතාම ඉහළ අගයක පවතින මේ වකවානුවේ දියව යන අයිස් ස්ථර අතර සැඟව, එහෙත් ආරක්ෂිතව තිබූ රෝග කාරක වයිරස යළිත් ජීවීන් අතර පැතිර යා හැකි බවට මත පළ වෙමින් තිබේ.
එමෙන්ම වයිරසය පිළිබඳව පර්යේෂණ පවත්වන චීන විද්‍යාඥයන් පසුගියදා තහවුරු කර පවසා සිටියේ මේ නව කොරෝනා වයිරසයේ වර්ග දෙකක් පැතිරෙමින් පවතින බවය. පසුගිය බදාදා වන විට වාර්තා වූ අමතර මරණ 38ක් සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමෙන් පසුව චීන විද්‍යාඥයන් මේ බව තහවුරු කර තිබේ. ඔවුන් මේ වයිරස කාණ්ඩ දෙක ‘L වර්ගය’ සහ ‘S වර්ගය’ ලෙස නම් කර තිබේ. දැන්ට වැඩියෙන්ම පැතිරී ඇත්තේ L වර්ගය වන අතර චීන විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ S වර්ගය වඩා භයානක විය හැකි බවයි.
සංචාරකයන් සහ සංක්‍රමණිකයන් බහුල ඕස්ට්‍රේලියාව යළිත් වයිසරයේ බලපෑමට නතු වෙමින් තිබේ. මේ වන විට රෝගීන් 30කට අධික සංඛ්‍යාවක් එරටින් වාර්තා වී ඇති අතර වයිරසය සංචාරකයන්ගෙන් නොව එරට ජනතාව අතරේම පැතිර යමින් පවතින බව තහවුරු වී තිබේ. මේ සමග ජනතාව ආහාර ද්‍රව්‍ය රැස් කර ගැනීමට පෙළඹී සිටින අතර ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල්වල ආහාර ද්‍රව්‍ය සියල්ල විකිණී අවසන් වන තත්ත්වයක් උදා වී තිබේ. ජනතාව වඩාත් පීඩනයට පත් කරමින් ඒ වෙනුවට අලුත් තොග වෙළඳසැල්වලට ලැබී නැති බවද වාර්තා වේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ මින් ඉදිරියට මිල දී ගත හැකි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණ සම්බන්ධව සීමා පනවන බවයි. කෙසේ වුවද මේ වන විටත් කෝවිඩ් - 19 ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයටද කිසියම් මට්ටමකින් බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
වයිරසය ආසාදනය වූ රෝගීන් සිටින ප්‍රදේශයක දේව මෙහෙය පැවැත්වීමෙන් පසු පාප් වහන්සේ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළුණු බව මාධය වාර්තාවල සඳහන් විය. එහෙත් පසුව නිල වශයෙන් ප්‍රකාශ කරණු ලැබුවේ උන්වහස්සේට කෝවිඩ් - 19 වැළඳී නොමැති බව පර්යේෂණ මගින් නිල වශයෙන් තහවුරු වූ බවයි. මේ අතර ලොවම තිගැස්මට පත් කරමින් හාවර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් වාර්තා කර සිටියේ කෝවිඩ් - 19 රෝගයට ලෝකයේ සමස්ත ජනගහනයෙන් සියයට 70ක් ගොදුරු වනු ඇති බවයි. එය සත්‍ය නොවේවා යන්න මුලු ලෝකයේම ප්‍රාර්ථනය වනු ඇති බවට සැක නැත. එසේ වුවද ලෝක ආර්ථිකයට දරුණු හානි සිදු කිරීමට නම් වයිරසය මේ වන විටත් සමත් වී ඇති බව කිව යුතුය.
ඒ අතරින් කෘෘස් නැව් හිමියන් ඉදිරියෙන්ම සිටින්නේ පසුගිය දිනවල වාර්තා වූ කෘෘස් නැව් සිදුවීම් කිහිපය සමගිනි. ඒ අනුව දිගින් දිගටම කෘෘස් නැව් මගීන් තම ගමන් වාර අවලංගු කර දැමීමට කටයුතු කර තිබූ අතර මේ හේතුවෙන් බොහෝ කෘෘස් නැව් සමාගම් දැවැන්ත පාඩු ලබමින් සිටින බවත්, ඇතැම් කෘෘස් නැව් හිමියන් බංකොළොත් වී ඇති බවත් වාර්තා වේ.
ඉරානයද රෝග ව්‍යාප්තියේ සන්ධිස්ථානයක් බවට පත්ව ඇත්තේ අවාසනාවකටය. එහෙත් එරටින් ලැබෙන වාර්තාවල සත්‍යතාව සම්බන්ධව ගැටලු පවතින බව ඉරාන ප්‍රධානීන් බටහිර මාධ්‍යවලට චෝදනා කර තිබේ. ඔවුන් පවසන්නේ තම රටින් වාර්තා වන කෝවිඩ් - 19 මරණ සංඛ්‍යාව සම්බන්ධව බටහිර මාධ්‍ය අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන බවයි. ඉරානයට අනුව මේ වන විට එරටින් වාර්තා වන කෝවිඩ් මරණ සංඛ්‍යාව 54කි. එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තාවල එය 200 ඉක්මවා ඇති බව සඳහන්ය. එමෙන්ම රෝගය මේ වන විට ඉරානයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර පැතිර ගොස් ඇති බවද, එක් පාර්ලිමේන්තු සාමාජිකයකු ඒ හේතුවෙන් මියගොස් ඇති බවදටද වාර්තා දක්නට ලැබුණු නමුත් ඒ සියල්ල අසත්‍ය බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. කෙසේ වුවද ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනිගේ උපදේශකයකු වන මොහොමඩ් මිර්මොහම්මදි කෝවිඩ් - 19 හේතුවෙන් මියගිය බව ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය වාර්තාවක සඳහන් විය.
පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන් නුවරින් රෝගීන් 6 දෙනෙකු හමුවීමත් සමග එම ප්‍රාන්තයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් උතුරු අර්ධ ගෝලයට මේ වන විට ග්‍රීෂ්ම ඍතුව ආරම්භ වෙමින් පවතින බැවින් එම රටවල වයිරසය පැතිරීමේ කිසියම් අඩුවක් දැකිය හැකි වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු ඇති කර ගත හැකිය. උණුසුම් කාලගුණය කිසියම් දුරකට වයිරසය මර්දනය කිරීමට සමත් වන අතර උෂ්ණ කළාපීය රටවල මේ දක්වා වයිරසයේ පැතිරීමක්ද දක්නට නොමැත. කෙසේ වුවද මැදපෙරදිග රටවල මේ ගෙවී යන්නේ ශීත ඍතුවේ අවසන් දින කිහිපය බැවින් ඉන් පසුව වයිරසයේ කිසියම් පාලනයක් සිදුවිය හැකි බවට විශ්වාසය පළ වී තිබේ.
මාධ්‍ය වාර්තා අනුව මේ වන විට ඉරානයේ කෝවිඩ් රෝගීන් 978ක් සහ මරණ 54ක් වාර්තා වී තිබේ. ලෙබනනයෙන් රෝගීන් 10ක් ද ඉරාකයෙන් රෝගීන් 19ක්ද, කුවේටයෙන් 46ක්ද, බහරේන් 47ක්ද, කටාර් 3ක්ද, එමිරේට්ස් 21ක්ද, ඕමානයෙන් රෝගීන් 6ක් සහ පකිස්ථානයෙන් රෝගීන් 4ක් ද වාර්තා වී තිබේ. මේ රටවල මේ දක්වා මරණ වාර්තා වී නැත.
කෙසේ වුවද තවත් සතුටුදායක පුවතක් වන්නේ රෝගය පැතිරීම හේතුවෙන් වසා දැමූ චීන කර්මාන්ත ශාලා ගෝලීය උණුසුම ඉහළ යෑම තාවකාලිකව හෝ අවම කිරීමට දායක වී ඇති බවට වන ප්‍රවෘත්තියයි.
කොරෝනා වයිසරය හෙවත් කෝවිඩ් - 19 මේ අන්දමට ලෝකය පුරා ව්‍යප්තව යන අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. වයිරසයෙන් ලෝකය මුදා ගැනීම සඳහා ලෝක බැංකුවද මුදලින් ආධාර කර තිබේ.
මේ කුමක් සිදු වුවද වයිරසයට තවමත් නිශ්චිත ඖෂධයක් සෙයාගෙන නොමැති අතර එය ලොව පුරා දිගින් දිගටම පැතිරෙමින් තිබේ.