උණුසුම් වායු ධාරා හේතුවෙන් දින නවයකින් ඇන්ටාක්ටිකාවේ දූපතක් දිය වෙයි | සිළුමිණ

උණුසුම් වායු ධාරා හේතුවෙන් දින නවයකින් ඇන්ටාක්ටිකාවේ දූපතක් දිය වෙයි

ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් දිනෙන් දින ලැබෙන වාර්තා කණගාටුදායකය. එමෙන්ම බියපත් කරවන සුලුය. එය මුළු මහත් මිනිස් වර්ගයාගේම අවධානය යොමු විය යුතු තරමට භයානකය. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ගෝලීය උණුසුම ඉහළ යෑමේ තර්ජනයට මේ වන විට පෘථිවිය මුහුණ දෙමින් තිබේ. එය පාලනය කිරීමට මිනිස් වර්ගයා ක්ෂණිකව ක්‍රියාත්මක නොවන්නේ නම් ජීවය මිහි මතින් තුරන්ව යෑම නතර කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.

ඇන්ටාක්ටිකාවේ කාලගුණික තත්ත්වය වඩා භයානක වී ඇත්තේ එහි උෂ්ණත්වය පෙර නුවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති නිසාවෙනි. පසුගිය දින කිහිපයක සිට ඇන්ටාක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් ලෙස වාර්තා විය. පසුව එය සෙල්සියස් අංශක 20 දක්වා ඉහළ නැගි බවද වාර්තා විය. මෙය ඉතා අහිතකර තත්ත්වයක් වූයේ ඉතා විශාල වශයෙන් අයිස් දිය වී යෑමට මේ උෂ්ණත්වය ඍජු බලපෑමක් වූ බැවිනි.

පසුව පරිසරවේදීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පෙබරවාරි මස මුල සිට ඇන්ටාක්ටිකාව දරුණු උණුසුම් වායු ප්‍රවාහයකට මුහුණ දෙමින් සිටින බවයි. මේ උණුසුම් වායු ධාරා හේතුවෙන් එහි භූමිය වසා සිටින අයිස් ස්තර වේගයෙන් දියවෙමින් තිබේ. ඇන්ටාක්ටිකාවේ එක් දූපතක් දින නවයක් ඇතුළත මතුපිට අයිස් ස්තරය දියව ගොස් ඇති අන්දම දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම දූපතේ අයිස් දිය වී ගොස් ගොඩබිම මතු වී පෙනෙන අතර ඇතැම් තැන්වල අයිස් දිය වී සැදුණු දිය පිරි විල් ද දක්නට ලැබේ.

පෘථිවි ගෝලයේ දැනට වැඩිම තර්ජනයට මුහුණ පා ඇති ප්‍රදේශ අතරින් ඇන්ටාක්ටිකාව ඉදිරියෙන්ම සිටින අතර දකුණු අමෙරිකා මහාද්වීපයට පහළින් ඇන්ටාක්ටිකාව වැඩිම අයිස් දියවීමේ ප්‍රතිශතයක් පෙන්නුම් කරන ප්‍රදේශය හැටියට සැලකේ. දැනට ගණන් බලා ඇති අන්දමට පසුගිය වසර 50ක කාලය තුළ ඇන්ටාක්ටිකාවේ උණුසුම සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් තිබේ. ග්ලැසියර් 87ක්ද දිය­‍වෙමින් පවතින බව සොයාගෙන තිබේ.

 

Comments