
අඛණ්ඩව හයවැනි වරටත් ශූරතාව ගම්පහට
“පොඩි කාලේ මම මිටර් සියය සහා දෙසීය දුවනවා දැකලා අපේ ඉස්කෝලේ ක්‍රීඩා ගුරුතුමා තීරණය කළා මම සුදුසු මීටර් 800 ට කියලා. එදා මට ඒක තේරුණේ නෑ. ඒත් ඒ තේරීම හරියටම හරි. දැන් මගේ ඉලක්කය මීටර් 800 දුවලා ලංකාවට ජාත්‍යන්තර රන් පදක්කමක් ලබාගන්න එක. අද මට හරි සතුටුයි. මේ පළමෙනි වතාවට යෞවන ක්‍රිඩා උළෙලට ඇවිත් මේ වගේ වාර්තාවකුත් තියන්න ලැබුණේ.‘‘ යි පැවසුවේ බදුල්ල එලදලුව පදිංචි චන්ද්‍රකුමාර් අරවින්දන් ය.
උතුරුමැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාව දුටු 31 වනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ දි තැබු නව තරග වාර්තාවන්ගෙන් එකක් හිමිවන්නේ අරවින්දන් ට ය. 20න් ඉහළ පිරිමි මීටර් 800 තරග ඉසව්වෙන් විනාඩි 1 තත්පර 1.24ක දක්ෂතාවයක් දක්වමින් ක්‍රීඩකයා නව තරග වාර්තාවක් තැබූවේ 2002 වසරේ කළුතර දිස්ත්‍රික්කයේ එම්.ටී.ඩබ්ලිව්.සිල්වා තැබූ විනාඩි 1.54.40ක තරග වාර්තාව බිඳහෙලමිනි. වසර 18ක් තිස්සේ කිසිවෙකුට බිඳහෙළිය නොහැකි වූ වාර්තාවක් පළමුවතාවට බිද දැමූ අරවින්දන් එක් අතකින් ජාතික සමගියේ සංකේතය කි. තවත් අතකින් ක්‍රීඩාවේ නැවත ඇතිවන ප්‍රබෝධයේ සාධනීය ලකුණකි.
තමා මෙවැනි ඉලක්කයක් කරා රැගෙන ආ ඇදුරන්ට ඔහු තුති පුදන්නේ මෙසේ ය. ‘‘ මගේ පාසල බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය. මම මීටර් 800ත් 1500ත් තරග කළා දිගටම. පාසල් ක්‍රීඩා තරගවල දි ජාතික මට්ටමේ දෙවන ස්ථානය දක්වා යන්න මට පුළුවන් වුණා. 2018 කොළඹ තිබුණු සාග් තරගාවලියේ දි මට හතරවැනි ස්ථානය ලැබුණා. ඒ වෙලාවේ මගේ වාර්තාව 1.55 වගේ. 2019 ජාතික මහා ක්‍රීඩා උලේලේ දෙවන ස්ථානය මට ලැබුණා. 20න් ඉහළ තරගයට මම මේ ඉදිරිපත් වුණේ පළමුවෙනි වතාවට.
පාසලේ දී මට කමලාහරන් රජීව්ඛාන්,මොහොමඩ් රිසාන්, සදීස් කුමාර්කියන ගුරුතුමන්ලා ඇතුළු ක්‍රිඩා ගුරුවරුන් හැම දෙනාම උදව් කළා. දැන් මට ක්‍රීඩා නිලධාරී ඩී.එස්.විතානගේ මහත්මයා පුහුණු කිරීම් කරනවා. මේ අය ඉතාම හොඳින් මට පුහුණුවීම් කටයුතුත් අනෙක් මඟපෙන්වීමත් කළා. මගේ අධ්‍යාපනය කඩා වැටුණෙත් නෑ. සාමාන්‍ය පෙළ හොඳින් සමත්වුණා. උසස් පෙළ මුල් වතාවේ ප්‍රතිඵල මදි නිසා දෙවන වතාවට ලෑස්තිවෙනවා.‘‘ යනුවෙනි.
අරවින්දන්ගේ පියාට හෝ මවට ස්ථිර රැකියාවක් නොමැත. තරමක ආර්ථික අපහසුතාවලට ද ඔහු මුහුණ දෙයි. යෞවන සමාජවල ඉන්න අයගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බව පවසන අරවින්දන් ඔහුගේ ජීවිතයේ තීරණාත්මක මෙම යුගය රටට වැඩක් ඇති මගකට නිසි ලෙස යොමුකරගැනීම ගැන සිතයි. යුධ හමුදාවේ හෝ ක්‍රීඩාවට අතදෙන එවැනි ආයතනයකට එක්වීමට ද ඔහුට යම් ආශාවක් තිබේ. දැන් ඔහු ඉදිරි තරගාවලි ගැන බලාපොරොත්තුවෙන් සිටියි.
කාන්තා තරග වලින් මෙවර හොඳින් සූදානම් වූ සැලසුම් ගත ජයග්‍රහණයකට පැමිණි ක එච්.ඒ.වී.ලිහිණි කෞශල්‍යා සබරගමු පළාත නියෝජනය කළාය. 20න් පහළ කාන්තා හෙල්ල වීසිකිරීමේ ඉසව්වෙන් මීටර් 41.13ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට ඇයට හැකිවිය. ඇය විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේ එම දිස්ත්‍රික්කයේම එච්.ටී.එච්. කරුණාරත්න ක්‍රීඩිකාව විසින් පිහිටුවන ලද මිටර් 40.01ක තරග වාර්තාවයි.
ලිහිණි යගුලිය දැමීමේ හා කවපෙත්ත වීසි කිරීමේ තරග වලින් සබරගමු පළාතේ දක්ෂතාවන් රැසක් දැක්වූ ක්‍රිඩිකාවකි. ඒ සඳහා ඇය දැක්වූ කුසලතාවන් සලකා බැලූ රත්නපුර එරත්න මහා විද්‍යාලයේ ඇගේ ගුරුවර ගුරුවරියන් ඇයට උපදෙස් දී ඇත්තේ හෙල්ල විසිකිරීමෙන් ඇයට දිගු ගමනක් යාහැකි බවයි. මෙම ඉසව් තුනටම දක්ෂ වු ලිහිණි 2019 වසරේ පාසල් ක්‍රිඩා තරගාවලියේ දී යගුලිය දැමිමෙන් සබරගමු පළාතේ දෙවනස්ථානය ලබාගත්තා ය. ඇගේ දක්ෂතාවය මීටර් 9.44කි. එම තරගාවලියේ දීම කවපෙත්ත විසිකිරීමෙන් සබරගමු පළාත් දෙවන ස්ථානය ඇය ලබාගත්තේ 28.60ක දක්ෂතාවයක් පෙන්වුම් කරමිනි. සමස්ත ලංකා පාසල් හෙල්ල වීසිකිරීමේ තරගයෙන් 2018 වසරේ 37.54ක දක්ෂතාවයක් දක්වමින් ලිහිණි ප්‍රථමස්ථානය දිනාගත්තා ය. එම තරගාවලියේ ඇගේ දක්ෂතාව සබරගමුව පළාත් තරග නව වාර්තාවක් ද විය. එමෙන්ම යගුලිය විසීකිරීමෙන් ද ඇය එම වසරේ දී සබරගමු පළාත් නව වාර්තාවක් පිහිටෙව්වා ය.
“මට උපකාර කරන චම්පිකා වසන්ති මහත්මියටත් සුනිල් හපුආරච්චි මහත්මාටත් මේ ගෞරවය හිමිවෙනවා. මගේ අයියලා දෙන්නා මගේ පුහුණුවීම් වලට අත දෙනවා. පද්මා නන්දනී මගේ ගුරුතුමිය වසර විස්සක් තිස්සේ වාර්තා තැබූ ක්‍රීඩිකාවක් ද වෙනවා. එයා විශේෂයෙන් මා මතක් කරනවා. ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 7 දෙනෙක් අපට උගන්නවනවා. ඒ අයත් ඒ වගේමයි. අපේ රට ජාත්‍යන්තර තරගවලින් රන්පදක්කම් ලබාදීම මගේ අරමුණ.
මට තිබෙන ගැටලුව අපේ පාසලට ක්‍රීඩාංගනයක් නැතිකම. අපි පුහුණුවීම් සඳහා උපකරණත් අරන් මුද්දුව ක්‍රීඩාංගණයට යනවා. පාසල් දවස්වල උදේ ගිහින් ආපසු එද්දී කලච්ඡේද දෙක තුනක් ගතවෙලා. කොහොම වුණත් මගේ බලාපොරොත්තුව ක්‍රිඩාවත් අධ්‍යාපනයත් දෙකෙන්ම එකට ඉදිරියට යාම‘‘ යි ඇය ප්‍රකාශ කළා ය.
20න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.38ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහිකළ කෑගල්ල දිස්ත්‍රික්කයේ චමෝද් යෝධසිංහයි. ඔහු බිඳහෙලුවේ 2013 වසරේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඩබ්ලිව්.පී.ඒ.ජයසිරි තැබූ මිටර් 7.34ක තරග වාර්තාව යි.
කෑගල් ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චමෝද් මීටර් 100 හා 200 තරග වල දී දක්ෂතාවය දැක්වූවෙකි. උසස් පෙළ කලා විෂයධාරාව හැදෑරූ ඔහු දැනට පාසල් අධ්‍යාපනය නිමාකර ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්ව සිටී.
31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ දී ශූරතාව පිට පිට 6වන වතාවටත් දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම අනුශූරයන් වූ , කුරුණෑගල කණ්ඩායම වැඩි ලකුණු හයකින් පැරදවී ය. ගම්පහ දිස්ත්‍රික්කය ලබාගත් ලකුණු සංඛ්‍යාව 119ක් වූ අතර කුරුණෑගලට හිමි ලකුණු සංඛ්‍යාව 112ක් විය. තෙවන ස්ථානය දිනාගත් කොළඹ දිස්ත්‍රික්කය ලකුණු 106ක් ලබාගත්තේ ය.
අනුරාධපුර විශේෂ - සරත් මනුල වික්‍රම










