2020 ඔලිම්පික් උලෙළ මැටිල්ඩා විසිවෙයි | Page 2 | සිළුමිණ

2020 ඔලිම්පික් උලෙළ මැටිල්ඩා විසිවෙයි

ශ්‍රී ලංකාව නඩු මඟට

අපි නඩු කියනවා

සුරංජිත් ප්‍රේමදාස (සභාපති)

ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය

 

එක ඉසව්වක් ඉවත් කරපු නිසා තමයි මැටිල්ඩාට අවස්ථාව අහිමි වෙලා තියෙන්නේ.ඒනිසා ඇය 7වැනියා වුණා. අපි “අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයට එරෙහිව ක්‍රීඩා සඳහා බේරුම්කරණ අධිකරණයට යනවා‍. මේ වගේම රුමේනියාවටත් අවස්ථාව අහිමි වෙලා තියෙනවා” ‍යැයි ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනයේ සභාපති සුරන්ජිත් ප්‍රේමදාස පවසයි.

 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා මුල්ම ශ්‍රී ලාංකික නියෝජනය ලෙස වරම දිනා ගැනීමට මැටිල්ඩා කාර්ල්සන් පසුගිය ජනවාරි මාසයේ දී සමත් වුවාය.ඒ අශ්වාරෝහක ඉසව් සඳහා සහභාගි වීමට නියමිත ඇය ශ්‍රී ලාංකික බලාපොරොත්තු අතර ඉහළින්ම සිටි ක්‍රීඩිකාවයි.

 

අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයත් සමඟ ඇයගේ මෙම ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමට පත් විය. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස ප්‍රංසයේ තරග ක්‍රීඩක වර්ගීකරණයෙන් මැටිල්ඩා ඉවත් කර ඇති බවයි. ඔවුන් පෙර මෙම තරග අනුමත කර තිබුණත් පසුව එය වැරදීමකින් සිදු වූවක් ලෙස ඔවුන් සඳහන් කර තිබේ.

 

ප්‍රංසයේ ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් මෙම තරග ඉසව් සඳහා අනුමැතිය ලබා ගැනීමට අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය වෙත යොමු කර තිබූ අතර එය වැරදීමකින් අනුමත වී ඇතැයි අන්තර් ජාතික අශ්වාරෝහක සම්මේලනය ප්‍රකාශ කරන ලදි. මෙම ඉසව් සඳහා ඔලිම්පික් සුදුස්සන් තෝරාගැනීමේ දී එක් එක් කලාපයේ ක්‍රීඩක වර්ගීකරණය අනුව තෝරා ගැනීම් සිදු කරනු ලබයි. එහිදී ශ්‍රී ලංකාව අයිති කලාපයෙන් මුල් ස්ථාන දෙකෙහි සිටින ක්‍රීඩකයන් ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා ගනීති. දෙසැම්බර් මස ප්‍රංසයේ පැවැති තරගවල දී දැක්වූ දක්ෂතා අනුව මුළු ප්‍රසාද ලකුණු 350ක් දක්වා වැඩි කරගනිමින් මැටිල්ඩා කලාපයේ දෙවන තැන දිනා ගන්නට සමත් වූවාය.

 

සම්මේලනයේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟම ඇයට එම තරගාවලියෙන් හිමි වූ ප්‍රසාද ලකුණු අහිමි වී යන අතර ඒ හේතුවෙන් මේ වන විට ඇයගේ ඔලිම්පික් වරම්ද අහිමි වී ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් මැටිල්ඩා කාර්ල්සන් ප්‍රකාශ කර සිටියේ මෙය තමාගේ වරදක් නොවන බවත්, මෙයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවයි.

 

“මම මෙම තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා සඳහා බේරුම්කරණ අධිකරණයේ සටන් කරන්න සූදානම්. මම දන්නවා මගේ අතින් කිසිම වරදක් සිදු වෙලා නෑ. සම්මේලනයේ මෙම මාධ්‍ය නිවේදනය මගින් පෙන්නුම් කෙරෙන්නෙ මෙය ඔවුන් අතින් සිදු වූ වරදක් මිස ධාවකයෙක් වශයෙන් මාගෙන් සිදු වූ වරදක් නොවන බවයි” යැයි ඇය අදහස් දක්වා තිබිණි. මැටිල්ඩා පෙර පැවසූ ආකාරයට ඇය පෙර වසරේ අගෝස්තු මස දක්වා කලාපයේ දෙවැනි තැන සිට ඇති අතර තම අශ්වයාගේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇයට මාස තුනක් පිටියෙන් ඉවත් වීමට සිදු වී ඇත.

 

ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් තරගවලට සහභාගි වන මැටිල්ඩා කාර්ල්සන් “ලෝන්ජින්ස් ග්ලෝබල් චැම්පියන්ස් සවාරියේ නිත්‍ය තරගකාරියක් වන අතර “ග්ලෝබල් චැම්පියන්ස් ලීගය” හී සාමාජිකාවක්ද වේ. ලොව පුරා සංචාරය කරමින් තරග වදින ඇය 2018 වර්ෂයේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමේ ප්‍රබල බලාපොරොත්තුවෙනි.

Comments