යොවුන් ක්‍රිකට් කිරුළේ කූඩාරම් තරුව | සිළුමිණ

යොවුන් ක්‍රිකට් කිරුළේ කූඩාරම් තරුව

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර නිමාවට පත් වූයේ බංග්ලාදේශය ලෝක ශූරයන් බවට පත් වෙමිනි. මෙවර ඉන්දියාවට අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය.

 

මෙවර තරගාවලියේ වීරයා මෙන් ම වැඩිම ලකුණුලාභි පිතිකරුවා බවට පත් වූයේ ඉන්දියාවේ 18 හැවිරිදි යශස්වි ජයිස්වාල්ය. හෙතෙම වමත් ආරම්භක පිතිකරුවෙකි. ජයිස්වාල් මෙවර තරග 06 ඉනිම් 06කදී රැස්කර ගත් මුළු ලකුණු ගණන 400කි. ඊට ශතකයක් සහ අර්ධ ශතක 04ක්ද අයත්ය. එහි සාමාන්‍යය 133.33කි. මෙවර වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවේ රවිඳු රෂාන්තටය. ඔහු තරග 06 ඉනිම් 06කදී ලකුණු 286ක් රැස්කර ගත්තේය. ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් අයත්ය. එහි සාමාන්‍යය 71.50කි.

 

ජයිස්වාල්ගේ පිතිහරඹය සුවිශේෂී වන්නේ ඔහු සෑම තරගයකදීම ලකුණු අතර සිටීමට සමත් වීමයි. මේ යොවුන් පිතිකරුවා සතුව දැනටමත් සුවිශේෂී ලෝක වාර්තාවක් තිබේ. එනම් ‘ලිස්ට් ඒ’ තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ ලොව ළාබාලතම ක්‍රීඩකයා වීමයි.

 

‘ලිස්ට් ඒ’ යනු සීමිත ඕවර තරගයන්ය. ඊට එක්දින ජගත් තරග අයත්ය. එමෙන්ම දේශීය තරගවල ඉනිමකදී කණ්ඩායමකට ඕවර ගණන 40 සිට 60 දක්වා අදාළව පැවැත්වෙන තරගත් අයත්ය. තවද එක්දින ජගත් තරග වරම් හිමි නැති ඇතැම් ජාතික කණ්ඩායම් අතර පැවැත්වෙන ජගත් තරගත් අයත්ය. ඉහත දස්කම ජයිස්වාල් දැක්වූයේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ මුම්බායි කණ්ඩායම නියෝජනය කරමිනි. ප්‍රතිවාදින් වූයේ ජාර්කාන්ද් කණ්ඩායමයි. හෙතෙම එහිදී පන්දු 154කින් ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. ඊට 4 පහර 17කි. 6 පහර 12කි. එවිට ඔහුගේ වයස අවුරුදු 17 දින 292කි. එම තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් අතර වරුන් අරොන් සහ ෂබාස් නදීම් වැනි ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝත් සිටියහ.

 

එමෙන්ම එංගලන්තයේ පැවැති බංග්ලාදේශයත් සහභාගි වූ අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලියේදී තරග 07කදී ඔහු ලකුණු 294ක් රැස් කර ගත්තේය. 2018 වසරේ අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශූරයෝ වූයේ ඉන්දියාවයි. එහිදීත් වැඩිම ලකුණු ගණනක් (318) රැස් කරමින් තරගාවලියේ වීරයා වූයේත් ජයිස්වාල්මයි.

 

මෙවැනි දස්කම් නිසාම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට ඉහළ ඉල්ලුමක් තිබුණි. අවසානයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහුගේ සේවය ලබා ගැනීමට ඉදිරිපත් වූයේ ඇමෙරිකානු ඩොලර් 340,000ක මුදලකටයි.මේ වන විට ජයිස්වාල් ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩකයෙකි. එමෙන්ම සුඛෝපභෝගි ජීවිතයකුත් ගත කරයි. එසේ වුවත් ඔහු මේ දක්වා පැමිණි ගමන් මග අතිශය දුෂ්කරය. එය බොහෝ දෙනාට ආදර්ශවත්ය. ඒ ඔහු සිය ජීවිතය ජය ගත්තේ සිය ක්‍රිකට් ක්‍රීඩා හැකියාවත් දැඩි කැපවීමත් එමෙන්ම දිරියත් නිසා බැවිනි.

 

යශස්වි භුපෙන්ද්‍ර කුමාර් ජයිස්වාල් 2001 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා උපත ලැබීය. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුරියවාන් ගමේය. අගහිඟකම් රැසකින් පීඩා වින්ද දරුවන් 06 දෙනෙකුගෙන් සමන්විත පවුලක සිවුවැනියා ඔහු විය. ඔහුගේ පියා භුපේන්ද්‍ර ජයිස්වාල් කුඩා හාර්ඩ්වෙයාර් වෙ‍ෙළඳ සැලක හිමිකරුවෙකි. මව කාන්චාන් ගෘහණියකි. කුඩා වියේ සිටම යශස්වි ජයිස්වාල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි ලෙස උනන්දු විය. එය කෙතරම් ද යත් වයස අවුරුදු 10 වන විට ඔහු සිය නිවෙසින් පිටත්ව මුම්බාය ආසන්නයේ පිහිටි ඩාදර් ගමට ගියේය. ඒ වැඩිදුර ක්‍රිකට් පුහුණුව ලැබීමටයි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ සුප්‍රකට අෂාඩ් මෙයිඩාන් පිටියේ ක්‍රිකට් පුහුණුව ලැබීමටයි.

 

එහෙත් ඩාදර් සිට අෂාඩ් මෙයිඩාන් පිටියට යා යුතු දුර දීර්ඝ වූයේය. එම නිසා නැවතත් පදිංචිය වෙනස් කිරීමට ඔහුට සිදු වූයේය. ඒ අනුව කාල්බාදේවි නැමැති පැරණි ගමට ඔහු ගියේය. එහිදි ඔහු නවාතැන් ගත්තේ කිරි අලෙවි කරන වෙළඳ සැලකය. එහි හිමිකරු ජයිස්වාල්ට නවාතැන් දෙනු ලැබුවේ එම ‍වෙ‍ෙළඳසලේ විවිධ කාර්යයන් කළ යුතු බවට කොන්දේසියක් පනවමිනි. ‍එහෙත් ක්‍රිකට් පුහුණුව නිසා ඔහුට කිරි වෙ‍ළඳ සැලේ සේවය කිරීම අපහසු විය. එහි ප්‍රතිඵලය ඔහුට නවාතැන් අහිමි වීමයි. අවසනදී ඔහුගේ නවාතැන්පළ වූයේ කූඩාරමක්ය. එහි ඔහු තෙවසරක්ම ගත කළේය. එම කූඩාරමේ තවත් පිරිසක් සිටියහ. ඒ මෙයිඩාන් පිටියේ සේවකයන්ය.

 

මෙම කාලය තුළදී ජයිස්වාල් බොහෝ විට නින්දට ගියේ නිරාහාරවය. ඇතැම් දිනවලදී ඔහු පානිපුරි නැමැති කෑම විකුණුවේය. කුමන බාධා මැද වුවත් ඔහු ක්‍රිකට් පුහුණුවීම් නතර නොකළේය. 2013 වසරේදී ජ්වාලා සිං නැමැති ක්‍රිකට් පුහුණුකරු ජයිස්වාල්ගේ හැකියාව දුටුවේය. පසුව ජයිස්වාල‍්ගේ නිත්‍යානුකූළ භාරකරු බවටත් පත් වූයේ ජ්වාලා සිංය. ජාතික වශයෙන් ජයිස්වාල්ගේ පිළිබඳ අවධානය මුල් වරට යොමු වූයේ 2015 වසරේදීය. එහිදි ජයිල්ස් පළිහ තරගාවලියේ තරගයකදී නොදැවී ලකුණු 319ක් රැස් කිරීමට හෙතෙම සමත් විය. එමෙන්ම පාදඟ පන්දු යවමින් ලකුණු 99ට කඩුලු 13ක් දවා ගැනීමටත් සමත් විය. එය එරටේ පාසල් ක්‍රිකට් තුන් ඉරියව් වාර්තාවකි.

 

පසුව ජයිස්වාල්ව මුම්බායි අවුරුදු 16න් පහළ සහ ඉන්දීය අවුරුදු 19න් පහළ සංචිතවලටත් තෝරගත්තේය. ඉන්දීය පළමු පෙළ තරගාවලියට සහභාගි වීමට ඔහුට හැකි වූයේය. එම තරගාවලිය පැවැත්වෙන්නේ රංජි කුසලානය වෙනුවෙනි. එහිදී ඔහුගේ කණ්ඩායම වූයේ මුම්බායිය. ජයිස්වාල් දැනටමත් ඉන්දීය බී කණ්ඩායමේ සාමාජිකයෙකි. දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ ඉදිරි අයි.පී.එල්. තරගාවලිය වෙතටයි. එහිදීත් දස්කම් දැක්වීමට මේ යොවුන් ක්‍රීඩකයාට හැකිවුවහොත් වැඩි කලක් යෑමට පෙරම ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වනු ඇත.

 

එවිට එයත් සුවිශේෂී වනු ඇත. එනම් කුඩා වියේ සිටම මෙතරම් දුෂ්කර ක්‍රියා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු ගත වූ දශක කිහිපයක් තුළදී බිහි වී නැති නිසාය.

 ප්‍රශාන්ත ඇල්පිටිය

Comments