
විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙන්නේ යැයි ඇසූ පමණින් අපේ සිතේ මැවී යන්නේ පාරතොට අවහිර වන කරදරකාරී උද්ඝෝෂණයකි. එවැනි විරෝධතා කෙරෙහි එල්ල වන මහජන විරෝධතා නිසාම මේ වන විට අපේ රටේ විරෝධතා පැවැත්වීමේ ස්ථානයක්ද වෙන් කර දී තිබේ. එහෙත් ඇතැම් රටවල ජනතාව තම විරෝධය අදාළ බලධාරීන් වෙත එල්ල කිරීම සඳහා වඩාත් වෙනස් සහ ආකර්ෂණීය විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට සමත් වූ අවස්ථා තිබේ. එවැනි අවස්ථා කිහිපයක් ඔබ වෙත ගෙන එන්නේ එවැනි අදහස් සමඟ විරෝධය පෑමෙන් වඩාත් වැඩි අවධානයක් දිනා ගැනීමට අපේ රටේ උද්ඝෝෂකයන්ටද අවස්ථාව උදා කරගත හැකි යැයි සිතෙන බැවිනි.
ඒ 1940 වර්ෂයයි. එක්වරම ලෙබනනයේ මහාමාර්ග අසල, වීථීවල සහ නගරවල මංගල ඇඳුමින් සැරසුණු මනාලියන් දිස් වන්නට විය. එහෙත් බැලූ බැල්මට සාමාන්‍ය මනාලියන් සහ ඔවුන් අතර විශාල වෙනස්කම් විය. මහාමාර්ගවල නිසලව සිටි මනාලියන්ගේ සිරුරු පුරා ලේ තැවරුණු වෙලුම්පටි දක්නට විය. එමඟින් ඔවුහු ඒ ආසන්න දිනවල ලෙබනනයේ පැනවූ අලුත්ම නීතියකට විරෝධය පෑමට කටයුතු කළහ. එම නීතිය නම් කිසියම් පුද්ගලයකු කාන්තාවක් අතවරයට පත් කළේ නම්, ඔහුට එම කාන්තාව විවාහ කරගැනීමට අවස්ථාව ලබාදීමෙන් ඔහු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමයි. ලෙබනන කාන්තාවෝ ඒ නීතියට එලෙස තම සාමකාමී පමණක් නොව ප්‍රබල විරෝධයද දැක්වූහ. ඔවුන්ගේ එම විරෝධය කොතරම් ප්‍රබල වූවාද යත් ලෙබනන පාර්ලිමේන්තුව යළිත් එම නීතිය සලකා බැලීමට තීරණය කළේය.
බොහෝ විට පොලීසියට එල්ල වන්නේ ගල්මුල් ප්‍රහාර වුවද 2012 නොවැම්බර් 26 දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පොලීසියට කිරි ප්‍රහාරයක් එල්ල විය. සෑමදිනකම ගල්මුල්වලට මුහුණ දෙන බෙල්ජියානු පොලීසිය මේ කිරි ප්‍රහාරය ආදරයෙන් වැලඳ ගන්නට ඇත. ලොව පුරා දරුවන් රැසක් හාමතින් මිය යන තත්ත්වයක් යටතේ එවැනි ආහාර අපතේ දැමීම අනුමත කළ නොහැකි වුවද එකදිගටම පහළ යන ආහාර මිල පාලනය කරන ලෙස බෙල්ජියානු රජයට බලපෑම් කිරීමට එරට කිරි ගොවීන් ගත් උත්සාහය එසේ විය.
2015 වසරේ නොවැම්බර් 30 වැනිදා ප්‍රංසයේ රිපබ්ලිකන් චතුරස්රයට දහස් ගණනින් විරෝධතාකරුවන් එක් වීමට නියමිතව තිබිණි. ඒ කාලගුණ වෙනස්වීමවලට හේතු වන ක්‍රියාකාරකම් නවත්වා දැමීමට ඒවාට වගකිවයුතු පුද්ගලයන්ට බලපෑම් කිරීමේ අරමුණෙනි. එහෙත් මේ විරෝධතා ව්‍යාපාරය ගැන කල් තබා දැනගත් ප්රංස රජය වහාම මේ විරෝධතාව නොපවත්වන ලෙස නියෝග පැනවීය. එසේ වුවද විරෝධතාවට එක් වීමට සිටි ජනතාව එමඟින් අධෛර්යවත් වූයේ නැත. ඔවුන් තමන්ගේ විරෝධතාව නියෝජනය කරමින් තමන් වෙනුවට තම පාවහන් යුගලක් රිපබ්ලිකා චතුරස්රයේ ගෙනවුත් තැබීමට කටයුතු කළහ. එලෙස ගෙනවුත් තබන ලද සපත්තු අතර පාරිසරික වෙනස්වීම් පිළිබඳ බෙහෙවින් සංවේදී පුද්ගලයකු වනු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තනි කළු පැහැ ඔක්ස්ෆර්ඩ් පාවහන් යුගලක්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කී මූන්ගේ ස්නීකර්ස් පාවහන් යුගලක්ද විය.
එවකට පිරූ හි ජනාධිපති අල්බර්ටෝ ෆුජිමෝරි යළිත් බලයට පැමිණීමේ හීන දකින්නට වූයේ 2000 වසරේදීය. ඔහු තමන් යළිත් ජනාධිපතිවරණයට තරග කරන බව පැවසීමත් සමග ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පීරු ජනතාව, විශේෂයෙන්ම කාන්තාවෝ අගනුවර ලීමා හි වීථිවලට පැමිණියහ. ඔවුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස පවසමින් විරෝධතාවල නියැළුණු බව දැන් ඔබ සිතනු ඇත. නැත. එහෙත් එසේ වූයේ නැත. ඒ වෙනුවට වීථිවලට එක්රැස් වූ පිරූ ජනතාව එරට ජාතික කොඩිය හොඳින් සබන් ගා සෝදන්නට වූහ. ඔවුන්ගේ අරමුණ වූයේ දූෂිත දේශපාලනඥයන් තම රටින් සෝදා දැමීමය. ජාතික කොඩි සේදීමේ විරෝධය එක් දිනකින් අවසන් වූයේද නැත. ඉතා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව පීරූ ජනතාව මාස ගණනක් පුරා තම ජාතික කොඩිය සේදූහ. ඇපිල්ලූහ. මේ කොඩි සේදීම කොතරම් බරපතළ වූයේද යත් ජනාධිපතිවරයාට තව සැරයක් බලයට පත් වීම කෙසේ වුවත් තම ධුරයෙන් ඉවත්ව හිරේ ලැගීමටද සිදු විය.
ලිංගිකව දූෂණයට පත් වීම සහ මරණය කාන්තාවන්ට පමණක් අත්දකින්ට සිදු වන බියකරු අත්දැකීමක් බව වැඩි දෙනාගේ මතයයි. ඒ සඳහා ඔවුන්ගේ කෙටි සාය විලාසිතා බෙහෙවින් බලපාන බවටද මතයක් තිබේ. එහෙත් ඒ මතය අභියෝගයට ලක් කරමින් 2015 වසරේදී තුර්කියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය යෙක් කිසියම් පිරිසක් විසින් දූෂණයට ලක් කර මරා දමනු ලැබීය. එම සිද්ධිකයට විරෝධය පළ කිරීමට එක්රැස් වූ තුර්කි පිරිමි කෙටි සාය විලාසිතාවෙන් සැරසී සිටියහ. ඔවුන්ගේ මතය වූයේ කෙටි සාය විලාසිතාව කාන්තාවන්ට බලහත්කාරකම් කිරීමට පුරුෂ පාර්ශ්වය පොලඹවන්නේ නම් පුරුෂයන්ට ලිංගික බලහත්කාරකම් කිරීමට බලපාන්නේ කුමන විලාසිතාවද යන්න කෙරෙහි මතයක් සමාජ ගත කිරීමය. එයින් ඉතා ප්‍රබල පණිවිඩ දෙකක් සමාජ ගත කිරීමට සමත් විය. එනම් ඇඳුම් විලාසිතා කිසිසේත්ම ලිංගික බලහත්කාරකමකට හේතු නොවන බවත්, ස්ත්‍රීන් සේම පුරුෂයන්ටද ලිංගික බලහත්කාරයෙන් මිදීමට අයිතිය තිබිය යුතු බවත්ය.
2016 අගොස්තු 23වැනිදා අමෙරිකාවේ ප්‍රාන්ත රැසක කාන්තාවෝ තමන්ට පුරුෂයන් හා සමාන ලිංගික අයිතිවාසිකම් ඉල්ලා විරෝධතාවකට එක් වූහ. ඒ විරෝධතාවට අතිමහත් ජනතා ආකර්ෂණයක් එල්ල වූයේ මේ ලිංගික අයිතිවාසිකම් ඉල්ලූ කාන්තාවෝ උඩුකය නිරුවතින් මහමඟට පැමිණීම හේතුවෙනි.
අමතරව පසුගිය වසර පුරා ප්‍රංසයේ පැවති කහ විරෝධතාවද ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ තවත් විරෝධතාවකි. එම විරෝධතාවට සහභාගී වූ පිරිස කුමක් හෝ කහපැහැති ඇඳුමකින් සැරසී සිටිමින් ප්රංස රජයේ සුබසාධන කප්පාදුවට විරෝධතාව පළ කළහ. වඩාත් විචිත්‍රවත් සහ වඩාත් සාමකාමී විරෝධතාවක් පෑ හොංකොං ජනතාව විවිධ වර්ණවල කුඩ රැගෙන මාර්ගවලට පැමිණියේ චීනයට එරෙහිවය. කෙසේ වුවද මේ විරෝධතා දෙකම විසඳුම් නැතිව අවසන් විය.
ලෝකය සුන්දර වන්නේත්, අසුන්දර වන්නේත් මිනිසුන් නිසාමය. විරෝධතා ඇති වීමට හේතු මතු කරන්නේත්, ඒවාට විරුද්ධව විරෝධතා හි නිරත වන්නේත් මිනිස්සුමය. කෙසේවුවද වෙනස් මිනිසුන් සෑම විටම ලෝකය වෙනස් කරන බව සිහියේ තබාගත යුතුමය.
![]() |
දූෂිතයන්ට විරෝධය පාමින් ජාතික කොඩිය සේදීම |