
කොරෝනා වයිරසය හෙවත් කෝවිඩ් -19 සාර්ථකව පාලනය කළ බවට වන සුභදායී පුවත තවමත් ලෝකයට අසන්නට ලැබී නැත. ඒ වෙනුවට අසන්නට ලැබෙන්නේ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව පිළිබඳව හද දවන පුවත්ය. මේ ලියන මොහොත වන විට මරණ සංඛ්‍යාව 2300 ඉක්මවා තිබේ. රෝගය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. මේ චීන නිල වාර්තාය. බටහිර මාධ්‍ය ගෙන එන පුවත් මීට වඩා වෙනස් වේ. එහෙත් චීන නිල වාර්තා මෙතරම් විශාල වන විට සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන් කණගාටුවක් දැනීම පුදුමයක් නොවේ. තාක්ෂණයෙන් කොතරම් දියුණූ වුවද ඇතැම් විට සොබාදහමේ දඬුවම් හිස නමා පිළිගැනීමට මිනිසාට සිදුවන අවස්ථාව එමටය.
මේ වන විටත් දිනකට අලුතෙන් රෝගය ආසාදනය වූවන් දෙදහස ඉක්මවා හමුවීම සාමාන්‍ය වී තිබේ. දිනක මරණ සංඛ්‍යාවද දෙසීය ඉක්මවා වාර්තා වේ. මේ මරණ අතරින් වාර්තා වන ඇතැම් මරණ හද දවන සුළුය. එයට හේතුව ඇතැමුන් මරු වැළඳ ගෙන ඇත්තේ තවත් සිය ගණනක් සුවපත් කිරීමෙන් පසු වීමය. සැබැවින්ම එවැනි මරණ ජීවිත පරිත්‍යාගයන් ලෙස හැඳින්විය හැකිය. මේ අතරට වැඩියෙන්ම අයත් වී ඇත්තේ වූහාන් හි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ය. මේ අතරට ප්‍රථමයෙන්ම කොරෝනා වර්ගයේ වයිරසයක් පැතිර යමින් පවතින බව සොයා ගත් වෛද්‍යවරුන්ද විය. පසුගියදා වූහාන් රෝහලේ අධ්යක්ෂවරයාද ඒ අතරට එක් වූයේ තම සේවය උපරිමයෙන් කළ බවට ඉතිහාසයේ සටහන් තබමිනි. ඔහු 51 හැවිරිදි ලියූ ෂිමිංය. ස්නායු ශල්‍ය විශේෂඥයෙකි. මීට පෙර ප්‍රථමයෙන්ම වයිරසය ගැන ලොවට අනතුරු ඇඟවූ 34 හැවිරිදි ලි වෙන්ලින්ග් වෛද්‍යවරයාගෙන් පසු රෝගය වැළඳීමෙන් මියගිය දෙවැනි වෛද්‍යවරයා ද වේ. මේ හැර වූහාන් රෝහලේ සහ හුබෙයි පළාතේ සෞඛ්‍ය සේවකයන් 1700කට පමණ වයිරසය ආසාදනය වී ඇතැයි ද ඒ අතරින් අවම වශයෙන් 6 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයිද වාර්තා වේ. වූහාන් හි හෙදියන් විශාල වශයෙන් තම හිසකෙස් බූ ගා දැමීමට කටයුතු කර ඇත්තේ හිසකෙස් අතර වයිරසය රැඳී පැවතීමට ඉඩ ඇති බැවිනි. කෙසේ වුවද වූහාන්හි සෞඛ්‍ය කාර්ය මණ්ඩයල ඇතුළු සමස්ත චීන ජනතාව මේ මහා ව්‍යසනය හමුවේ නොසැලී එයට මුහුණ දෙන අන්දම ඉතාමත් අගය කළ යුතුය. එමෙන්ම කොපමණ ව්‍යසන පැමිණියද ආත්ම ශක්තියෙන් යුතුව ඒවාට මුහුණ දෙන අන්දම සම්බන්ධයෙන් පාඩම් මුළු ලොවම චීනයෙන් උගත යුතුය.
මේ අතර චීනයෙන් පිට රෝගය ව්‍යප්ත වීමද සැලකිය යුතු තර්ජනයක් ද සමග සිදුවෙමින් තිබේ. සිංගප්පූරුව මේ අතරින් මුලටම පැමිණ සිටින්නේ සංවර්ධනය යනු සියල්ලම නොවන බවට හොඳම උදාහරණ ලොවට ගෙන එමිනි. රෝගය ව්‍යප්ත වීම පාලනය කර ගැනීම වෙනුවෙන් ගුවන් ගමන් කිසියම් ප්‍රමාණයක් නවතා දැමීමටද සිංගප්පූරුවට සිදුවිය. එහෙත් අධික ජනගහණයක් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ජීවත්වීම හේතුවෙන් රෝගය පැතිර යෑම පාලනය කිරීම ඔවුන්ට අභියෝගයක් වී ඇති බවට වාර්තා ලැබෙමින් තිබේ.
ජපානයේ යොකොහමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින අමෙරිකානුවන් ඇතුළු 621ක් මගීන් ඉවතට ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. මේ අතරින් අමෙරිකානුවන් සියරට බලා පිටත්කර යවා තිබේ. තවත් රටවල් රැසක් නෞකාවේ සිරවී සිටින තම ජනතාව බේරා ගැනීම සම්බන්ධව ජපාන බලධාරීන්ගේ අවධානය යොමු කර තිබේ. මේ වන විට ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හයසියයකට අධිකය. කෙසේවුවද මේ වන විට ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවට වඩා බියජනක ඉරණමකට මුහුණ දුන් තවත් නෞකාවක් සම්බන්ධව පුවත් ලැබී තිබේ.
ඒ එම්එස් වෙස්ටර්ඩෑම් යන කෘෘස් වර්ගයේ අධි සුඛෝපභෝගී නෞකාවයි. මේ නෟකාවේ ගමන් ගනිමින් සිටි පිරිස අතරින් 1455ක් මගීන් වූ අතර 802ක් කාර්ය මණ්ඩලය විය. වයිරසය පැතිරීම ආරම්භ වන විට නෞකාව හොංකොං සිට ජපානය බලා ගමන් අරඹා තිබිණි. නෞකාවේ කිසිවකුත් රෝග ලක්ෂණ පහළ කර නොතිබූ නමුත් නෞකාවට කිසිඳු රටකට ඇතුළු වීමේ අවසර නොලැබුණි. අවසානයේ චීනය සමග වන හිතවත්කම හේතුවෙන්ම මගීන්ට ගොඩ බැසීමට අවසර ලබා දුන්නේ කාම්බෝජය පමණි. පසුගිය පෙබරවාරි 14වැනිදා නෞකාව කාම්බෝජයේ සිහනුක්විල් වරායට පැමිණි අතර මගීන් ප්‍රීති ඝෝෂා කරමින් නෞකාවෙන් ඉවතට පැමිණියෝය. ඔවුන් පිළිගැනීමට වරායට පැමිණ සිටි කාම්බෝජ අගමැති හුන් සෙන් මගීන්ට රෝස මල් දෙමින් තමන් වයිරසයට බිය නැති බව පවසා සිටියේය. කාම්බෝජය සහ චීනය ඉතා දැඩි වෙළෙඳ සබඳතා සහිත දෙරටකි. එබැවින් මෙවැනි මොහොතක චීනය තනි නොකළ යුතුය යන්න කාම්බෝජ නායකයන්ගේ මතය විය. කෙසේවුවද එය මිනිස්කම අතින් බැලූ කලද ඉතා අගය කළ යුතු හැසිරීමක් විය. මෙලෙස කාම්බෝජයට පැමිණි එම්එස් වෙස්ටර්ඩෑම් නෞකාවේ මගීන් එතැන් සිට ගුවන් මගින් ලෝකය පුරා තම රටවල් බලා ගියහ.
නෞකාවේ සිටි මගීන් අතරින් මගීන් 144ක් කාම්බෝජයේ සිට මැලේසියාව බලා ගමන් ගන්නා ගුවන් යානයක ගමන් ගනිමින් සිටියදී ඒ අතර වූ 83 හැවිරිදි අමෙරිකානු ජාතික කාන්තාවක කෝවිඩ් - 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර සිටියාය. මැලේසියාවේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇයට වයිරසය ආසාදනය වී ඇති බව සනාථ කර සිටියහ. දැන් එම්එස් වෙස්ටර්ඩෑම් නෞකාවේ සියලුම මගීන් වයිරසයට නිරාවරණය වූවන් සේ සැලකෙන අතර ලොව පුරා ඔවුන් ගමන් ගත් ඉසවු සොයා ඔවුන්ගේ රෝග පරීක්ෂාවන් සිදු කෙරෙමින් තිබේ. වඩාත්ම කණගාටුදායක කරුණ වී ඇත්තේ කාම්බෝජ අගමැතිවරයාටද මේ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට සිදුවීමය.