රජ සැප අතහරින හැරීට රස්සාවල් වැහි වැහැලා | සිළුමිණ

රජ සැප අතහරින හැරීට රස්සාවල් වැහි වැහැලා

හැරී සහ මේගන් රජ පවුලෙන් ඉවත්ව ස්වාධීන ජීවිතයක් ගත කරන බව පැවසීමත් සමග ඔවුන් වෙත රැකියා අවස්ථා ගලා එමින් පවතින බවට වාර්තා ලැබේ. ඒ අතර ඇතැම් ආයතන ඔවුන් වෙත සේවයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමින් ඍජුව ඇරයුම් ඉදිරිපත් කර තිබේ. තවත් ආයතන ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ඔස්සේ හැරී සහ මේගන්ට තම ආයතනයේ රැකියා අවස්ථා පවතින බවට ඉඟි කර තිබේ. බර්ගර් කිං, ඩිස්නි සමාගම, යූපෝන්, ඒබීසී එන්ටර්ටේයින්මන්ට් යනාදී ආයතන මේ අතර වේ.

මේ අතර මේගන් නෙට්ෆ්ලික්ස් හි රූපවාහිනී වැඩසටහනක යළි පෙනී සිටිනු ඇතැයි රාවයක්ද පැතිර යමින් තිබේ. එම වැඩසටහන් ඇයගේ හිතවත්ම මිතුරියක විසින් මෙහෙයවන රියැලිටි වැඩසටහනකි. ඇය අලි ඇතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩිස්නි සමාගමේ කටයුතුවලට එක්වීමට මේ වන විටද එකඟත්වය දක්වා තිබේ.

හැරී කුමරු රජ පවුල අත්හැර යෑම සම්බන්ධයෙන් කණගාටුවට පත්ව සිටින විලියම් කුමරු තම හිත හදා ගැනීමට ශක්තිය ලැබෙන්නේ තමන්ගේ නැන්දම්මාගෙන බව පවසා තිබේ. විලියම් කුමරුගේ නැන්දම්මා හෙවත් කේට් කුමරියගේ මව කැරොල් මිඩ්ල්ටන්ය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලට ඉතා කැමැත්තක් දක්වන, රාජකීයත්වය ඉහළින්ම අගය කරන තැනැත්තියකි. හැරී කුමරු රජපවුලෙන් ඉවත් වීමත් වීමෙන් පසු විලියම් හා කේට් වෙත ලැබෙන අවධානය සහ පැවරෙන වගකීම් වැඩිවී තිබේ. මේ වගකීම් ඉටුකිරීමේදී විලියම්ට අවවාද, අනුශාසනා දෙමින් ඔහු සමගම කැරොල් මිඩ්ල්ටන් සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන්ම කැරොල්ගෙන් තමන්ට ලැබෙන්නේ අති විශාල සහයක් බව විලියම් පවසා තිබේ. රාජකීය පවුලේ ලේඛකයා ලෙස හැඳින්වෙන් ෆිල් ඩැම්පියර් මේ සමබන්ධව ‘ද සන්‘ පුවත්පතට පවසා ඇත්තේ වෙනදාට වඩා වැඩි වේලාවක් කැරොල් මිඩ්ල්ටන් විලියම්, කේට් සහ දරුවන් තිදෙනා සමග ගත කරණු දැක ගත හැකි බවයි.

මේ අතර තමන්ට මින් පසු හැරී කුමරු සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි පවසමින් හැරී කුමරුගේ නික්ම යෑම සම්බන්ධව කේට් ද ඇයගේ කණගාටුව ප්‍රකාශ කර තිබේ.

Comments