
වාර්ෂිකව පැවැත්වෙන ප්‍රථම ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය වන්නේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියයි. මෙවර එම ශූරතාවලිය පැවැත්වූයේ 108 වැනි වතාවටයි. ඉකුත් සති අන්තයේදී මෙවර ශූරතාවලිය නිමාවට පත් වූයේ සර්බියාවේ 32 හැවිරිදි නොවැක් ජොකොවිච් යළිත් වතාවක් කේවල (තනි) ශූරයා බවට පත්වෙමිනි. මෙවර කාන්තා කේවල ශූරිය වූයේ ඇමෙරිකාවේ 21 හැවිරිදි සොෆියා කෙනින්ය. මෙවර කේවල අනුශූරයා වූයේ ඔස්ට්‍රියාවේ 26 හැවිරිදි ඩොමිනික් තියිම් ය. ස්පාඤ්ඤයේ 26 හැවිරිදි ගාර්බින් මුගුරුෂා කේවල අනුශූරිය වූවාය. මෙවර කේවල ශූරතාවන්ට හිමි වූ ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 4,120,000 බැගින් මුදලකි. අනුශූරතාවන්ට හිමි වූ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 2,065,000 බැගින් මුදලකි.
මෙවර ශූරතාවලිය ඇරඹෙන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ ඇමෙරිකාවේ සෙරිනා විලියම්ස් වෙතටයි. ඒ ලෝක වාර්තාවක් සම කිරීමට ඔවුන්ට තවත් අවැසිව තිබුණේ එක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් හිමි කර ගැනීම පමණක් වූ නිසාවෙනි. පිරිමි වැඩිම කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනක් හිමිකර ගත් ශූරයා ලෙසට මේ වන විට ලෝක වාර්තාවට හිමිකරු වන්නේ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ය. ඔහුට හිමි ශූරතා ගණන 20කි. එහි දෙවැනි ස්ථානය නඩාල්ටය. ඔහුට ශූරතා 19කි. ජොකොවිච්ට ශූරතා 17කි. ඔහුට තෙවැනි ස්ථානයයි.
කෙසේ වෙතත් නඩාල් මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අර්ධ අවසන් තරගයේදී ඩොමිනික් තියිම්ට පරාජය විය. සෙරිනා මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතා 07ක හිමිකාරිනියකි. ඒ 2003, 05, 07, 09, 10, 15 සහ 17 වසරවලදීය. එසේ වුවත් මෙවර තෙවැනි වටයේදී ඇයට චීනයේ වැන්ග් කුයාන්ග් හමුවේ පරාජය වීමට සිදු වූවාය.
මේ වන විට වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරිය ලෙසට ඉදිරියෙන් ම සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝර්ට්ය. ඇයට හිමි ශූරතා ගණන 24කි. සෙරිනාට ශූරතා 23කි.
1998 වසරේ නොවැම්බර් 14 සොෆියා උපත ලැබුවේ රුසියාවේදීය. එහෙත් ඇය කුඩා අවදියේම සිය මවුපියන් සමඟ ඇමෙරිකාවේ පදිංචියට ගියහ. ඇය ටෙනිස් ක්‍රීඩාවට යොමු වූයේ අවුරුදු 05 සිටය. සොෆියා දකුණත හුරු ක්‍රීඩිකාවකි. 2017 වසරේ සිට වෘත්තීයම ලෙස ක්‍රීඩා කරන්නීය. ඇය අඩි 5 අඟල් 7 ක් උසැතිය. මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇයට 07 වැනි ස්ථානය හිමිය. ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම වතාවේදීම ශූරිය වීමට ඇයට හැකි වීම විශේෂත්වයකි.
එමෙන්ම සෙරිනාට අමතරව ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතාව ගත වූ 18 වසරක කාලය තුළදී හිමිකර ගත් දෙවන ඇමෙරිකානු ක්‍රීඩිකාවත් සොෆියා වේ. ජෙනිෆර් කැප්රියාටි 2002 වසරේ ශූරිය වූයේ ඇමෙරිකාව නියෝජනය කරමින්ය. සොෆියා මෙවර ශූරිය වූ ආකාරය මෙසේය. මුල් වටය ඉතාලියේ මාර්ටිනා ට්රෙවිසාන්, දෙවන වටය ඇමෙරිකාවේ ඈන් ලී, තෙවන වටය චීනයේ ෂෑන්ග් ෂුවායි, සිවුවැනි වටය ඇමෙරිකාවේ කෝකෝ ගොෆ්, අර්ධ අවසන් වටයේ දී ටියුනීසියාවේ ඕන්ස් යාබෙයර් සහ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවේ ලොව අංක 01 ක්‍රීඩිකාව වන ඈෂ්ලියාහ් බාර්ටිව පරාජය කිරීමට සොෆියා සමත් වූවාය.
අවසන් මහා තරගයේදී සොෆියා විසින් ගාර්බින් මුගුරුෂාව පරාජය කළේ තරගවට 2 -1 කිනි. ඒ ලකුණු 4 - 6, 6 - 2, 6 - 2 ක් වශයෙනි. ගාර්බින් 2012 සිට වෘත්තීයමව තරග කරන්නීය. ඇය හිටපු ලොව අංක 01 ක්‍රීඩිකාවකි. එමෙන්ම මේ වන විට ලොව අංක 16 ක්‍රීඩිකාවයි. ඇය 2016 ප්‍රංශ විවෘත සහ 2017 විම්බල්ඩන් කේවල ශූරියයි. එමෙන්ම 2015 විම්බල්ඩන් අනුශූරියයි. ගාර්බින් 1993 වසරේ ඔක්තෝබර් 08 උපත ලැබුවාය. ඇය අඩි 6ක් උසැතිය.










