
පසුගිය අඟහරුවාදා කැරිබියන් කලාපයම වෙවුලුම්කවමින් රික්ටර් මාපක 7.7ක දැවැන්ත භූමිකම්පාවක් සිදුවිය. අඟහරුවාදා උදෑසන සිදුවූ මේ භූමිකම්පාව ජැමෙයිකාව, කියුබාව සහ ඩොමිනිකන් රිපබ්ලික් යන රටවලට බලපෑ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයටද සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. පසුව මීටර් 0.4ක සුනාමි තත්ත්වයක් කැරිබියන් මුහුදේ සීමන් දූපත්වලට බලපා තිබේ.
සාමාන්‍යයෙන් රික්ටර් මාපකයේ ඉහළ අගයක් ගන්නා භූමිකම්පාවක් සිදුවූ පසු පසුකම්පන සිදුවීම් සාමාන්‍ය සිදුවීමක් වන අතර මේ භූමිකම්පාවෙන් පසු යළිත් වරක් රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මීට සති තුනකට පෙර පෙට්රො රිකෝ රාජ්‍යයට රික්ටර් මාපක 6.4 භූමිකම්පාවක් ඇතිවී තිබේ. මෙවර ඇති වූ ප්‍රභල භූමිකම්පාවත් සමග තත්ත්පර 30 - 40 අතර කාලයක් පොළොව වෙවුලුම් කා ඇති බව අත්දැකීමට මුහුණ දුන් පිරිස මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
භූමිකම්පාව වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ජැමෙයිකාවට වන අතර එහි නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකටද හානි සිදුවී තිබේ.
කියුබාවේ හවානා නගරයටද භූමිකම්පාවේ ප්‍රබලත්වය දැනී ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
මේ අතර පසුගිය 29වැනිදා සවස් කාලයේදී ශ්‍රී ලංකාවට ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ ඉන්දුනීසියාවට වඩා ආසන්නයේ රික්ටර් මාපක 2.4ක භූමිකම්පාවක් සිදුවී තිබේ. මේ භූ කම්පනයේ කේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් අභ්‍යන්තරයේ පිහිටා තිබූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙඩ් අඩවිය වාර්තා කර තිබේ. මේ ප්‍රදේශයේ භූ තැටි තල දෙකක් පිහිටා තිබීම මගින් නිතර භූ කම්පන සිදුවුවද මෙලෙස සැලකිය යුතු කම්පනයන් සිදුවීම කිසියම් භයානක ප්‍රභල භූ කම්පනයක පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. 2004 වසරේදී අති විශාල සුනාමි රළ ඇතිවීමට හේතු වූ රික්ටර් මාපක 9.0ක මහා භූ කම්පනය සිදුවූයේද මේ ප්‍රදේශය ආසන්නයේය.