
හත්වැනි කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 21දා ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් ඒ සහ බී කාණ්ඩ යටතේ තරග කරයි. ඒ කාණ්ඩය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග කරයි. බී කාණ්ඩය යටතේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බ:ඉ: කොදෙව්, පාකිස්තානය සහ තායිලන්තය තරග කරයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපුරුදු පරිදි චමරි අතපත්තුගේ නායකත්වය යටතේ තරග වැදීමට නියමිතය. හර්ෂිතා මාධවි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරයි. නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇති අතර ඒ අනුව වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩිකාවන් සිවු දෙනකු කණ්ඩායමට එක්කර තිබේ.
18 වියැති උමේෂා හිමාෂිනි, 20 වියැති සත්‍යා සංදීපනි, 19 වියැති කවිෂා දිල්හාරි, 21 වියැති උපනායිකා හර්ෂිතා මාධවියි. මේ අතරින් සත්‍යා සංදීපනි ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා ගත් ප්‍රථම අවස්ථාවෙන් ම මේ තරගාවලියට එක්වීම කැපී පෙනෙයි.
ප්‍රථම කාන්තා විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය 2009 දී එංගලන්තය ජයග්‍රහණය කළ අතර, අවසන් වරට 2018 දි බ:ඉ: කොදෙව්හි පැවැති තරගාවලිය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී. මෙතෙක් පැවැති තරගාවලි හයේදි ඔස්ට්‍රේලියාව සිවුවතාවක් සහ එංගලන්ත සහ බ:ඉ: කොදෙව් කාන්තාවෝ එක් වතාව බැගින් විස්සයි 20 ලෝක ශූරියන් වීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලි ඉතිහාසයේ ඉකුත් හය වතාවේදි මූලික වටයෙන් ම ඉවතට විසි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ 22දා නවසීලන්තය, 24 ඔස්ට්‍රේලියාව, 29 ඉන්දියාව, මාර්තු 2දා බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතය.










