
• එක්සත් ජාතික පක්ෂය මේ දිනවල සිරිකොතේ පවත්වන මාධ්‍ය හමුවලදී නිතර නිතර ඔබ දක්නට ලැබෙනවා. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද?
අපට ආණ්ඩුව අහිමිවීමෙන් පස්සේ අපේ පාක්ෂිකයන් දේශපාලන පළිගැනීම්වලට ලක්ව තිබෙනවා. ඒ පාක්ෂිකයන් ආරක්ෂාකර ගැනීමට අපි පියවර ගන්නවා. ඒ වගේ ම ආණ්ඩුවට ජනපතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. මේ කරුණු ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම විපක්ෂයේ කාර්යභාරයක්. ඒ සඳහා මා පෙනී සිටිනවා. මට පක්ෂය ගැන ආදරයක්. කැක්කුමක් තියනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී ඒ වෙනුවෙන් වැඩි බරක් යොදවා තිබෙනවා. අපේ පක්ෂය විවිධ අවස්ථාවලදී ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකදීම පක්ෂය වෙනුවෙන් රංගේ බණ්ඩාර පෙනී හිටියා. ඒක තමයි මේ දිනවල වැඩියෙන් පෙනී සිටීමට හේතුව.
• රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මේ වන විට මුළු රටම ආන්දෝලනයට පත් කර තිබෙනවා. මේ හඬපට නිසා එජාපය තුළ දරුණු අභ්‍යන්තර අර්බුද මතුව ඇති බවකුයි පේන්නේ. ඒ ගැන ඔබේ මතය කුමක්ද?
ඒ හඬපට නිසා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නම් අර්බුද ඇතිවී නෑ. නමුත් මේ හඬපට විවිධ ඉසව් ඔස්සේ ගමන් කරලා තිබෙනවා. එක පැත්තක් තමයි අපේ රටේ අධිකරණ ක්ෂේත්රයේ විවිධ තරාතිරම්වල අය ගනුදෙනු කරලා තියන ආකාරය පිළිබඳව රටට හෙළිදරව් වෙලා තියනවා. ඒ නිසා රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ යම් සැකයක් අවිශ්වාසයක් කුකුසක් මේ රටේ ජනතාවට ඇති වී තිබෙනවා. මේ තත්ත්වය රටක් විදියට ගත්තොත් ඉතාම නරක භයානක තත්ත්වයක්. මෙය නිවැරැදි කර ගැනීමට අධිකරණ ක්ෂේත්රය තුළින්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන තැන් පිළිබඳව අවිශ්වාසයක් ඇති වුණොත් එය ප්රජාතන්ත්රවාදයට හානිකරයි. දැන් සුරාබදු වන සංරක්ෂණ, පොලිසිය වගේ ආයතන පිළිබඳව ජනතාවට එතරම් විශ්වාසයක් නෑ. ඒත් යුක්තිය පසිඳලන ආයතනයක් විදියට අධිකරණය පිළිබඳ ජනතාවට විශ්වාසයක් ප්‍රසාදයක් ගෞරවයක් තිබෙනවා. මෙතනදී ඒ විශ්වාසයට හානිදායක තත්ත්වයක් සිදුව තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය නිවැරැදි කර ගැනීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කරන්න ඕනෑ. ඒ වගේ ම අගවිනිසුරු නීතිපති ප්‍රධාන අධිකරණ ක්ෂේත්රයේ ඉහළ පෙළේ අය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.
• මේ හඬපට ගැන අධිකරණ සේවා කොමිසමේ අවධානය දැනටමත් යොමු වී තිබෙනවා නේද?
අධිකරණ ක්ෂේත්රයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව යොමුව ඇත්නම් ඒ පිළිබඳව ස්තුතිය පිරිනැමිය යුතු යි. ප්රජාතන්ත්රවාදය පවතින්නේ කාරණා තුනක් මතයි. ඒ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ලිප්ගල් තුන මත තමයි ප්රජාතන්ත්රවාදය පවතින්නේ. මේ එක ලිප්ගලකට හරි හානි වුණොත් ප්රජාතන්ත්රවාදයට හානි වෙනවා. මේ වැරදි නිවැරැදි කරන්න කටයුතු කරන අධිකරණ ක්ෂේත්රයේ කාටත් මගේ පෞද්ගලික ප්‍රශංසාව හිමිවෙනවා.
• රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සමඟත් කතා කළ හඬපට සමාජ මාධ්‍යවල සැරිසරනවා. එතකොට පොලීසිය සාධාරණව කටයුතු කළ යුතු බවටත් මතවාද නැඟෙනවා?
මහජන නියෝජිතයෙකුට ඕනෑම නිලධාරියකු හා කතා කිරීමේ හැකියාව තිබෙනවා. තොරතුරු දැන ගැනීමට මහජන නියෝජිතයෙකුට ඉඩ ප්‍රස්ථාව තියෙන්න ඕනෑ. හැබැයි එහි සීමාවන් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් ගෙදර කැත්ත පිහිය වගේ ආයුධ තියනවා. ඒ ආයුධවලින් සිදුකරන කටයුතු තිබෙනවා. යමෙක් ඒ ආයුධ අවශ්‍ය දේට නැතිව අනවශ්‍ය දේ සඳහා භාවිත කළොත් එතැන අපරාධයක් සිදුවෙනවා. මේ හඬපටවලදිත් සිදුව තිබෙන්නේ එවැනි තත්ත්වයක් මහජන නියෝජිතයෙකුට යායුතු සීමා තියනවා. ඉන් ඔබ්බට ගියොත් එය බලපෑමක් වෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් කොමිසන් සභා පිහිටුවීමට අපි පියවර ගත්තේ මේ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමයි.
• මේ වන විට රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. මේ පසුබිම මත ඔහුට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නෑ නේද?
පක්ෂ සාමාජිකත්වය තහනම් කළ අයෙකුට අපේක්ෂකත්වයක් ලබා දෙන්න බැහැනේ. අපේක්ෂකත්වය දෙන්නේ පක්ෂ සාමාජිකයෙකුටනේ. එක්සත් ජාතික පක්ෂය හැම විටම නීතිය සදාචාරය ආරක්ෂා කරන පක්ෂයක් නිසයි මේ පක්ෂ තහනම රන්ජන්ට දමා තිබෙන්නේ. එය ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන තුරු ක්‍රියාත්මකයි. ඉදිරියේදී රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මේ ප්රශ්නය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගනීවි. එවැනි පූර්වාදර්ශ අපේ පක්ෂයට තියනවා. රවී කරුණානායක, තිලක් මාරපන වැනි හිටපු ඇමැතිවරුන්ටත් චෝදනා ආපුවහම ඒ අය හිටපු ඇමැති ධූරවලින් ඉවත් වෙලා පරීක්ෂණ කටයුතු සාධාරණ සිදු කරන්න ඉඩ ලබාදුන්නා.
• රන්ජන් සමඟ එක්ව පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වත්මන් ඇමැතිවරයකු ඝාතනය කිරීමට සැලසුම් කළැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නේ?
ඒ හඬපටය ඇහුවොත් එහි ඇත්ත ඔබටම තේරේවි. රනිල් වික්‍රමසිංහ මහත්තයා නියමයෙන් හෝ අනියමින් එවැනි සිද්ධියකට උදව්වක් බලපෑමක් කරලා නෑ. අනුබලදීමක්වත් කරලා නෑ.
• එජාපය තමා වෙනුවෙන් පෙනී නොසිටීම කනගාටුවට කරුණක් බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසා තිබෙනවා. ඇයි එජාපය රන්ජන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ?
මේ හඬපට ක්‍රියාවලිය පක්ෂයේ ක්‍රියාවලියක් නොවේ. එය ඔහුගේ හුදෙකලා කටයුත්තක්. එවැනි හුදකලා කටයුත්තකදී පක්ෂයක් ලෙස පෙනී සිටිය යුතු නෑ. ඊට මුහුණ දිය යුත්තේ ඒ ක්‍රියාව සිදුකළ පුද්ගලයායි. පක්ෂයෙන් කියලා පක්ෂයෙන් සංවිධානය කරලා කරපු වැඩක් නම් පක්ෂයට පෙනී සිටිය හැකියි. මේ කටයුත්ත එවැන්නක් නොවේ.
• පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එජාපයේ ඉහළ තනතුරක් දෙන බව සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පසුගියදා පැවසුවා. චම්පිකට දෙන්න යන තනතුර මොකක්ද?
මා නම් දන්නේ නෑ. ඒක අහන්න ඕනෑ සජිත් මහත්තයා ගෙන්මයි. මොකද පක්ෂයෙන් පිට කෙනෙකුට පක්ෂයේ තනතුරු දෙන්න විදියක් නෑ. එහෙම නම් එයා පළමුව එජාපයට ඇවිත් ඉන්න ඕනෑ. පාඨලී හෝ වෙනත් ඕනෑම අයෙක් පළමුව පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්න ඕනෑ. දෙවනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕනෑ පක්ෂනායකයා පත්වීම කරන්න ඕනෑ. ඔය තත්ත්වය යටතේයි පත්වීම් දීම සිදු කරන්නේ. ඒ ක්‍රියාමාර්ගයේ යනවා නම් ගැටලුවක් නෑ.
• සජිත් ප්‍රේමදාස මහතා කීවේ පාඨලී එජාපයට බඳවාගෙන ඉහළ තනතුරක් දෙන බවයි...
එහෙම නම් මා කියපු දේමනේ කියලා තියෙන්නේ. එතකොට නම් ගැටලුවක් නෑ.
• චම්පිකට ලබාදෙන ඉහළ තනතුරට එජාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් විරුද්ධයි කියන්නේ ඇත්තද?
ඔය ප්‍රකාශයෙන් පස්සේ අපි කණ්ඩායම් රැස්වීම පවත්වලත් නෑ. රැස්වීමට යෝජනාව ගෙනල්ලත් නෑ. විරුද්ධ වෙන්න කෘත්‍යාධිකාරි මණ්ඩලයට මේ යෝජනාව ගෙනල්ලත් නෑ. විරුද්ධ වෙනවද පක්ෂ වෙනවද කියලා දැනගන්න පුළුවන් යෝජනාව ගෙනාවට පස්සේයි. තාම බබා හම්බ වෙලා නෑ නේ. ඔබ මගෙන් අහන්නේ කුසේ සිටින දරුවට කේන්දරේ හදන හැටි නේ!
• රනිල් පක්ෂ නායක, සජිත් විපක්ෂනායක, කරු සන්ධාන නායක ලෙස පත්වීම් කර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් තලයකට ගෙනෙන බවට ආශු මාරසිංහ මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍යයට පැවසුවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
හුඟක් මන්ත්‍රීවරුන් ඒ අදහසට එකඟයි. මොකද හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණක් නෙවෙයි. ඉන් පරිබාහිරව සිටින අයත් කියන්නේ ඔක්කෝම එකට එකතුවෙලා මේ ප්රජාතන්ත්රවාදයට එරෙහිව යන පාලන තන්ත්රය එළවා දාන්න කියලයි. රනිල් මහත්තයාට කැමැති පිරිසකුත් එජාපයේ සිටිනවා. ඒ වගේ ම සජිත් මහත්තයාට කැමැති පිරිසකුත් එජාපයේ සිටිනවා. තවත් කරු ජයසූරියට කැමැති පිරිසකුත් එජාපයේ ඉන්නවා. මේ සියලුම දෙනා එකට එකතු කරගෙන තමයි ජයග්‍රහණය උදෙසා යා යුතු වෙන්නේ. වටුවන්ට දැල උස්සගෙන යන්න පුළුවන් වුණේ එකට එකතු වෙච්ච නිසානේ. ගෝඨාභය මහත්තයාගේ දැලට කොටුවෙලා. අපි ඔක්කෝම විනාශ වෙනවද එහෙම නැතිනම් අපි ඔක්කොම එකතුවෙලා පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන රටත් රැකගෙන සාමූහිකව ජයග්‍රහණය උදෙසා ගමනක් යනවද කියල තීරණය කළ යුතුයි. ඒකට හොඳම ක්‍රමය තමයි රනිල්, සජිත්, කරු මේ තුන්දෙනාම එකට එකතුවෙලා සාමූහිකව වැඩ කරන එක.
• සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් අලුත් පක්ෂයක් හදන බව අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පසුගියදා පවසා තිබුණා. නලින් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා වැනි මන්ත්‍රීවරුන් සිටින්නෙත් මෙවැනි ස්ථාවරයක. මේ ගැන කිව හැක්කේ කුමක්ද?
මං මේ ගමන ඇවිත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. එජාපයට අසීරු අමාරු හැම අවස්ථාවක මං පක්ෂය සමඟ සිටියා. මගේ තනතුරු තානාන්තර පක්ෂය නිසා මං නැති කරගෙන තිබෙනවා. කැබිනට් ඇමැතිකම් ඩොලර්වලින් රුපියල්වලින් මට දෙන්න හදපු ඒවා මං ප්‍රතික්ෂේප කළා. තිබුණ ඇමැති ධූරයත් මං නැති කරගත්තා. ඒ නිසා මං නම් ඔය කියන කිසිම තැනකට යන්නේ නෑ. ලන්ච් පාටිවලට යන්නෙත් නෑ. ඩිනර් පාටිවලට යන්නෙත් නෑ. ලිකර් පාටිවලට යන්නෙත් නෑ. මගේ පාක්ෂිකයා වෙනුවෙන් මට කළ හැකි දේ කරගෙන මං පක්ෂයත් සමඟ ඉන්නවා.
සංවාදය ගාමිණී බණ්ඩාරනායක