ඉන්දු-ලංකා 2020 දී විස්සයි20න් වැඩ අල්ලයි | සිළුමිණ

ඉන්දු-ලංකා 2020 දී විස්සයි20න් වැඩ අල්ලයි

උදා වූ 2020 නව වසර ක්‍රිකට් ක්‍රීඩා ලොවට විශේෂිතය. ඒ අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් මෙහෙයවනු ලබන ලෝක කුසලාන තරගාවලියන් ාත්‍රිත්වයක් ම පැවැත්වීමට නියමිතව තිබෙන බැවිනි.

මුලින් ම පැවැත්වෙන්නේ වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියයි. එය ජනවාරි 17 සිට පෙබරවාරි 09 දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය. ඊළඟට කාන්තා 20 - 20 ලෝක කුසලාන තරගාවලියයි. එය පැවැත්වෙන්නේ පෙබරවාරි 21 සිට මාර්තු 08 දක්වා ඔස්ට්‍රේලියාවේදීය. තෙවනුව පිරිමි 20 - 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත. එයත් කැන්ගරු දේශයේදීමයි. ඒ ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වාය.

මෙම තරගාවලි ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට අතිශයින් ම වැදගත්ය. ඒ ශ්‍රී ලංකාව මෙම තරගාවලියන්ට සහභාගි වන නිසාය. පිරිමි 20 - 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සියලුම රටවල් ඊට සූදානම් වනු පිණිස මේ වසරේදී වැඩි 20 - 20 තරග ගණනකට සහභාගි වීමට තීරණය කර ඇත. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ටෙස්ට් වරම් ලැබූ දෙරටක් අතර පැවැත්වෙන මෙම වසරේ ප්‍රථම 20 - 20 තරගමාලාව අද (05) ඇරැඹෙයි. එහිදී තරග කරන්නේ සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම්ය. මෙම තරගමාලාවට තරග 03ක් අයත්ය.

මෙම තරගමාලාවට මුලින්ම සහභාගි වීමට නියමිතව තිබුණේ සිම්බාබ්වේය. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එම තරගමාලාව අවලංගු කරනු ලැබීය. ඊට හේතු වූයේ ඒ වන විට අයි.සී.සී. විසින් සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට තහනමක් පනවා තිබුණු බැවිනි. පසුව සිම්බාබ්වේ වෙනුවට ශ්‍රී ලංකාවට මෙම තරගමාලාව ලබා දීමට ඉන්දියාව තීරණය කළේය.

කෙසේ වෙතත් පසුව සිම්බාබ්වේට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අයි.සී.සී. තීරණය කළේය. ඊට විශේෂයෙන් ම බලපෑවේ එරටේ ක්‍රීඩා ඇමැතිවරිය වන කර්ස්ටි කවන්ට්‍රිගේ දැඩි උත්සාහයයි. එරටේ ක්‍රිකට් ක්‍රීඩාවට රජයේ බලපෑම් එල්ල නොවීමට තමන් ක්‍රියා කරන බව ඇය අයි.සී.සී. බලධාරින්ට තහවුරු ක‍ළාය. 36 හැවිරිදි කවන්ට්‍රි ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් හිමිකර ගත් විශිෂ්ටතම පිහිනුම් ශූරියකි. මෙම ඉන්දීය 20 - 20 තරගමාලාව නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ සංචාරය යෙදී තිබෙන්නේ සිම්බාබ්වේටය. මේ මස අගදී සිදු කෙරෙන එම තරග සංචාරයට ටෙස්ට් තරග 02ක් අයත්ය.

ශ්‍රී ලංකා - ඉන්දීය 20 - 20 තරගමාලාවේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නුවර පිහිටි භාර්සාපාරා ක්‍රීඩාංගණයේ දීය. මෙම ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය ඇසෑම් ක්‍රිකට් සංගමය සතුය. 2017 වසරේ සිට එහි ජගත් තරග පැවැත්වේ. එහි ප්‍රේක්ෂක ධාරිතාව 40,000කි. එහි ප්‍රථම 20 - 20 ජගත් තරගය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදි පැවැත්වීය.

දෙරට අතර දෙවැනි තරගය ජනවාරි 07 පැවැත්වේ. ඒ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ පිහිටි හොල්කාර් ක්‍රීඩාංගණයේදීය. මේ ක්‍රීඩාංගණයේදී ජගත් තරග පැවැත්වෙන්නේ 2006 වසරේ සිටය. එහි හිමිකරුවෝ වන්නේ මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමයයි. මෙහි ප්‍රේක්ෂක ධාරිතාව 30,000කි. මේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා තිබෙන්නේ එක් 20 - 20 ජගත් තරගයක් පමණි. එහිදීත් 2017 තරග කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එය ජය ගත්තේ ඉන්දියාවයි.

තෙවැනි තරගය ජනවාරි 10 පැවැත්වීමට නියමිතය. ඒ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුනේ නගරයේ පිහිටි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදීය. 2012 වසරේ සිට මෙහි තරග පැවැත්වේ. මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමය එහි හිමිකරුවෝය. එහි ප්‍රේක්ෂක ධාරිතාව 37,400 ඉක්මවයි. මෙහි ප්‍රථම 20 - 20 ජගත් තරගය 2012 දෙසැම්බර් මාසයේදී පැවැත්විය. ඒ ඉන්දියාව සහ එංගලන්තය අතරය. අවසන් වරට එහිදී 20 - 20 ජගත් තරගයක් පැවැත්වූයේ 2016 වසරේ පෙබරවාරි මාසයේදීය. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග කළේය. එය ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකාව විසිනි.

මෙම 20 - 20 තරගමාලාවේදී දෙරට මෙහෙයවනු ලබන්නේ ලසිත් මාලිංග සහ විරාත් කෝලි විසිනි. ඔවුන් දෙදෙනාම මීට පෙර දෙරට අතර 20 - 20 තරගවලදී නායකත්වය දරා තිබෙන්නේ තරගයක් බැගින් පමණකි. එම තරග ජය ගැනීමටත් ඔවුහු සමත් වී සිටිති. දෙරටම ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ම මේ තරගමාලාවට තෝරා ගෙන සිටිති. නමුත් එක් සුපිරිතම ක්‍රීඩකයෙක් ඊට සහභාගි නොවේ. ඒ රෝහිත් ෂර්මාය. ඔහුට විවේකයක් ලබා දී තිබේ.

ඉන්දීය කණ්ඩායම - වි‍රාත් කෝලි (නායක), ජස්ප්‍රිට් බුම්රා, යස්වෙන්ද්‍ර චහාල්, ශිකර් දවාන්, ශිවාම් ඩුබේ, ශ්‍රෙයාස් අයර්, රවින්ද්‍ර ජඩේජා, මනිෂ් පාන්ඩේ, රිෂ්භාහ් පාන්ට්, ලොකේශ් රාහුල්, සංජු සැම්සන්, නව්දීප් සෙයිනි, වොෂිංටන් සුන්දාර්, ශාර්ඩුල් ටාකුර්, කුල්දීප් යාදෙව්. මෙම කණ්ඩායමේ තවත් විශේෂිත ක්‍රිඩකයෙක් නැත. ඒ හිටපු නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනිය. 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු තවමත් ජගත් තරගයකට සහභාගි ව‍ූයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම - ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිදු හසරංග, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් අයි.සී.සී. 20 - 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව (2019 දෙසැම්බර් 12) මුල් ස්ථානයේ තවමත් හිමි වී තිබෙන්නේ පාකිස්තානයටයි. ඔවුන් තරග 31 කදී ශ්‍රේණිගත ලකුණු 270කි. ඔස්ට්‍රේලියාවට තරග 26 - ලකුණු 269කි. එංගලන්තය තරග 21 - ලකුණු 265කි. දකුණු අප්‍රිකාව තරග 18 - ලකුණු 262කි. ඉන්දියාව තරග 39 - ලකුණු 258කි. නවසීලන්තය තරග 24 - ලකුණු 252කි. ශ්‍රී ලංකාවට තරග 27 - ලකුණු 238කි. ඇ‍ෆ්ගනිස්තානයට තරග 23 - ලකුණු 236කි. බංග්ලාදේශයට තරග 23 - ලකුණු 227කි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට තරග 30 - ලකුණු 225කි.

මේ අනුව ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුවී තිබෙන්නේ ඔවුනට වඩා ඉදිරියෙන් සිටින ඉන්දියාව සමඟිනි. එමෙන්ම ඉන්දියාවේදී තරග ජය ගැනීමත් පහසු නැත. එම නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරගමාලාව තවත් අභියෝගයකි. එසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් මෙම තරගමාලාව වැඩිම අභියෝගයක් බවට පත් වී තිබෙන්නේ මාලිංගටය. ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ගැන කිසිදු විවාදයක් නැත. තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එක්දින සහ 20 - 20 විශිෂ්ටතම පන්දු යවන්නා ඔහුය.

නමුත් ඔහුගේ නායකත්වය ගැන ගැටලු ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට 20 - 20 තරගමාලාවකට සහභාගි වූයේ ඔස්ට්‍රේලියාවේදීය. එහිදී නායකත්වය දැරුවේ මාලිංගය. එම තරගමාලාව 3 - 0 ක් ලෙසට සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකාව පරාජයට පත් විය. ඊට පෙර එ‍රටේදී ශ්‍රී ලංකාව 20 - 20 තරගමාලාවක් පරාජයට පත් වී තිබුණේ නැත.

එම පරාජිත ඔස්ට්‍රේලියානු සංචාරයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ 20 - 20 තරගමාලාව පැවැත්වූයේ පාකිස්තානයේදීය. එම තරගමාලාව 3 - 0ක් ලෙස සම්පූර්ණයෙන් ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේය. එහිදී නායකයා වූයේ මාලිංග නොවේ. ඔහු සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එක්දින සහ 20 - 20 තරගමාලාවන්ට සහභාගි වීමට පාකිස්තානයට ගියේ නැත.

එසේ වුවත් දසුන් ශානකගේ නායකත්වය යටතේ 20 - 20 තරගමාලාව වාර්තාගත අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේය. ඒ යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් වශයෙනි. ශානකගේ නායකත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බවට මතයකුත් ඇති විය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු තරගමාලාවට මාලිංග එක් වූයේ නායකයා වශයෙනි. එය අසාර්ථක වුවත් තවදුරටත් ඉන්දීය තරගමාලාවටත් නායකත්වය මාලිංග හට ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

නමුත් යම්කිසි ආකාරයකින් මෙම තරගමාලාවත් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් 20 - 20 නායකත්වයේ වෙනසක් බොහෝවිට සිදු විය හැකිය. විශේෂයෙන් ම ශානකගේ නායකත්වය යටතේ පාකිස්තානයේදී ලත් ජයග්‍රහණය විශේෂිත එමෙන්ම වාර්තාගත නිසාවෙනි. එනම් පාකිස්තානයට එවිටත් 20 - 20 ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථානය හිමි වී තිබීමයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20 - 20 ජගත් තරග පැවැත්වෙන්නේ 2009 වසරේ සිට 2018 අතරය. එහිදී පැවැති මුළු තරග ගණන 16කි. ඉන්දියාවට ජයග්‍රහණ 11කි. පරාජ 05කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 68.75කි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 05කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 31.25කි

මෙම තරගවලදි දෙරට වෙනුවෙන් ක්‍රීඩා කළ නායකයන් ගණන 11කි. මින් 08ක්ම ශ්‍රී ලංකාවෙනි. ඔවුන් තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග සහ තිසර පෙරේරාය. ඉන්දීය නායකයෝ වනුයේ මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාය.

ඉන්දියාව පැහැදිලිවම 20 - 20 දෙරට අතර තරගවලදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. එසේ වුවත් වඩාත් වැදගත්ම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි. ඒ 2014 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමයි. එහිදී නායකත්වය දැරුවේ මාලිංගය.

දෙරට අතර 20 - 20 ජගත් තරගවල තරගයක වැඩිම ලකුණු රැස් කළ කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ඒ 2017 වසරේදී ඉන්දෝර්හීදී කඩුලු 05ට ලකුණු 260ක් රැස් කිරීමයි. ශ්‍රී ලංකාව 2009 දී නාග්පූර්හීදී කඩුලු 05ට ලකුණු 215ක් රැස් කර තිබේ. කණ්ඩායමක අඩුම ලකුණු ගණන 2016 විශාකාපට්නම්හීදී ඕවර 18දී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 82 වේ. ඉන්දියාව 101 (ඕවර 18.5) පුනේ 2016 වසරේදීය.

වැඩිම මුළු ලකුණු රැස් කළේ රෝහිත් ෂර්මාය. 2009 - 18 අතර තරග 15 ඉනිම් 13කදී ෂර්මාට ලකුණු 289කි. වැඩිම 118කි. දෙරට අතර තරගවල එකම ශතකලාභියාත් ෂර්මාය. කෝලිට 2012 - 17 අතර තරග 04 ලකුණු 283කි. එහි සාමාන්‍යය 94.33කි. සංගක්කාරට 2009 - 14 අතර තරග 04 ලකුණු 235කි. එහි සාමාන්‍යය 78.33කි.

ඉනිමක වැඩිම ලකුණු ලාභියා රෝහිත් ෂර්මාය. 2017 වසරේ ඉන්දෝර්හීදී හෙතෙම ලකුණු 118ක් රැස් කරගත්තේය. 2009 නාග්පූර්හීදී සංගාට ලකුණු 78කි. වැඩිම අර්ධ ශතක ලාභියා කෝලිය. ඔහුට අර්ධ ශතක 04කි. සංගාට අර්ධ ශතක 03කි. වැඩිම මුළු 6 පහරවල් ගණනක් එල්ල කළේ රෝහිත් ෂර්මාය. ඔහුට 6 පහර 14කි. කුසල් පෙරේරාට තරග 06කදී 6 පහරවල් 11කි. තරගයක වැඩිම 6 පහරවල් වාර්තාවත් ෂර්මාටය. ඔහුට 6 පහර 10කි. කුසල්ට 6 පහර 7කි. දෙදෙනාම එම දස්කම් දැක්වූයේ 2017 වස‍ෙර් ඉන්දෝර්හීදී පැවැති තර‍ගයේදීය.

20 - 20 තරගවලදී දෙරට අතර වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා වන්නේ යස්වෙන්ද්‍ර චහාල් ය. 2017 - 18 අතර තරග 05 - කඩුලු 14කි. තරගයක හොඳම 23ට කඩුලු 4කි. සාමාන්‍යය 13.50 කි. දුෂ්මන්ත චමීර 2016 - 18 අතර තරග 09 කඩුලු 10කි. තරගයක හොඳම 14 - 2 කි. සාමාන්‍යය 26.40කි. තරගයක හොඳ ම පන්දු යැවීම රවිචන්ද්‍රන් අශ්වින්ට ය. 2016 විශාකාපට්නම්හිදී අශ්වින්ගේ පන්දු යැවීම වූයේ ඕවර 4 නොයිඳුල් ඕවර 1 ලකුණු 08ට කඩුලු 4කි. දසුන් ශානක ඕවර 3 - 0 - 16 - 3 පන්දු යැවීමක නිරත වූයේ 2016 පූනේහීදීය.

වැඩිම දවාලීම් කළ කඩුලු රකින්නා දෝනිය. 2009 - 17 අතර තරග 14 දවාලීම් 18කි. ඊට උඩපන්දු සහ කඩුලු බිඳ දැමීම් (ස්ටම්ප් කිරීම්) 09 බැගින්ය. නි‍රෝෂන් දික්වැල්ලට 2016 - 17 අතර තරග 6 දවාලීම් 4කි. ඊට උඩපන්දු 04කි. තරගයක වැඩි ම දවාලීම් කළ කඩුලු රකින්නාත් දෝනි වේ. 2017 කටාක් තරගයේදී හෙතෙම දවාලීම් 04 ක් සිදු කළේය. ඊට උඩපන්දු සහ ස්ටම්ප් කිරීම් 02 බැගින්ය. 2009 වසරේදී ඩිල්ෂාන් කොළඹදී පැවැති තරගයකදී දවාලීමක් සිදු කළේය. ඊට උඩපන්දුවකි.

පන්දු රකින්නන් අතරින් හාර්ඩික් පන්ඩ්යා 2016 - 17 අතර තරග 07කදී උඩපන්දු 09ක් රැක ගත්තේය. දුෂ්මන්ත චමීරට 2016 - 18 අතර තරග 09 දී උඩපන්දු 05 කි. තිසර පෙ‍ෙර්රාටත් 2010 - 18 අතර තරග 13දී උඩපන්දු 05කි. මහේල ජයවර්ධන 2010 වසරේ ශාන්ත ලුෂියාහිදී පැවැති තරගයේදී උඩපන්දු 02ක් රැක ගත්තේය. 2016 වසරේදී ශිකර් දවාන් ද තරගයකදී උඩපන්දු 02ක් රැක ගෙන තිබේ.

කඩුලු අතර ඉහළතම ලකුණු සබඳතාව 165කි. ඒ පළමු කඩුල්ලට රෝහිත් ෂර්මා සහ ලොකේශ් රාහුල් අතර 2017 වසෙර් ඉන්දෝර් තරගයේදීය. එම තරගයේදී ම දෙවන කඩුල්ලට උපුල් තරංග සහ කුසල් පෙරේරා අතර ලකුණු 109කි. වැඩිම තරග ගණනකට සහභාගි වී තිබෙන්නේ රෝහිත් ෂර්මා තරග 15කි. තිසර පෙරේරාට තරග 13කි. දෝනි වැඩිම තරග ගණනක නායකයාය. තරග 10 ජය 06 පරාජ 04කි. චන්දිමාල්ට තරග 04කි. එහිදී ජය පරාජ 02 බැගිනි.

මෙවර 20 - 20 ලෝක කුසලාන තරගාවලියත් ශ්‍රී ලංකාවට අභියෝගයක් වී තිබේ. එනම් ප්‍රධාන රටවල් අයත් වන සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට සිදුවී තිබීමයි. එවැනි වාතාවරණයක් ඇති වූයේ ශ්‍රේණිගත කණ්ඩායම් තෝරන විට ශ්‍රී ලංකාව සිටියේ පහළ ස්ථානයක නිසාය. එම නිසාම මුල් වටයේදී ටෙස්ට් වරම් නොමැති කණ්ඩායම් සමඟත් තරග කිරීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබේ. මුල් වටයේදී ඒ සහ බී ලෙස කාණ්ඩයන් 02ක් වර්ග කර ඇත.

ඒ කාණ්ඩයට අයත් රටවල් වන්නේ ශ්‍රී ලංකාව, පැපුවා නිව් ගිනියාව, අයර්ලන්තය සහ ඕමානයයි. බී කාණ්ඩයට බංග්ලාදේශය, නෙදර්ලන්තය, නැමීබියාව සහ ස්කොට්ලන්තය අයත්ය. මෙම කණ්ඩායම් අයි.සී.සී. 20 - 20 ශ්‍රේණිගත කිරීමට අනුව ස්කොට්ලන්තය (13), අයර්ලන්තය (14), නෙදර්ලන්තය (16), ඕමානය (17), පැපුවා නිව් ගිනියාව (18), නැමීබියාව (19) හිමිකර ගෙන තිබේ.

Comments