
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවේ ජයග්‍රහණය 1 - 0 ක් ලෙසට හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය. එහි දී දෙපිළේ නායකයන් ලෙසට අසාර් අලි සහ දිමුත් කරුණාරත්න ක්‍රියා කළහ. ප්‍රථම තරගයට ජය පැරදුමක් නැත. දෙවන තරගයෙන් පාකිස්තානයට ලකුණු 263ක ජයකි.
මෙම තරගමාලාව දෙරටටම වැදගත් විය. ඒ මෙය අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ක්‍රියාත්මක කරන ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් වූ බැවිනි. දෙරට අතර දෙවන තරගය ඇරැඹීමට පෙර මෙම ටෙස්ට් ලෝක ශූරතාවලියේ මුල් ස්ථානය ඉන්දියාව සතු වූයේය. ඒ ඔවුන් සහභාගි වූ තරග 07ම ජය ගෙන මුළු ලකුණු 360ක් හිමිකර ගනිමිනි. එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටයි. එහි දී තරග 08ක් තරග කර 05ක්ම ජය ගැනීමෙනි. ඔවුනට පරාජ 02කි. ජය පැරදුමක් නැති තරගයකි. ඔස්ට්‍රේලියාවට ලකුණු 216කි. එහි දී තෙවන ස්ථානය ශ්‍රී ලංකාව සතු විය. පාකිස්තානයට හිමි වී තිබුණේ 06 වැනි ස්ථානයයි. එසේ වුවත් ශ්‍රී ලංකාව පරාජය කිරීම නිසා නවතම ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුනට හැකි වී ඇත. පාකිස්තානය මේ වන විට තරග 04ක දී ජයග්‍රහණයක් හිමිකර ගෙන තිබේ. පරාජයන් 02කි. ජය පරාජයක් නැති තරගයකි. ඒ අනුව ඔවුන්ට ලකුණු 80කි.
ශ්‍රී ලංකාවත් තරග 04ක දී එක් ජයග්‍රහණයක් ලබා ඇත. පරාජ 02කි. ජය පරාජයක් නැති තරගයකි. ඔවුන්ටත් ලකුණු 80කි. ඔවුනට හිමි සිවුවැනි තැනයි.
පාකිස්තානය මෙම ලැබූ ජයග්‍රහණයේ අගය වැඩි වීමට විශේෂ හේතුවක් තිබිණි. එනම් වසර 10කට පසුව එරටේ පැවැති ප්‍රථම ටෙස්ට් තරග මාලාව මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව වීම නිසාවෙනි. එරටේ දී අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූ කණ්ඩායම වන්නේත් ශ්‍රී ලංකාවයි. මෙවර තරගමාලාවට සහභාගි වූ දෙරටේම කිසිඳු ක්‍රීඩකයකු පාකිස්තානයේ දී මීට පෙර ටෙස්ට් ක්‍රීඩා කර නැති වීම විශේෂත්වයකි.
ඊට බලපෑවේ 2009 වසරේ මාර්තු මාසයෙන් පසුව කිසිදු රටක් පාකිස්තානයේ දී ටෙස්ට් තරගවලට ක්‍රීඩා නොකිරීමයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්තවාදින් පිරිසක් ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණය අසළ දී වෙඩි ප්‍රහාර එල්ල කිරීමයි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසකටත් තුවාල සිදු වූහ. එමෙන්ම පාකිස්තානුවන් කිහිපදෙනකුත් මිය ගියහ.
පසුකළෙක අවස්ථා ගණනක දී සිය රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව ප්‍රකාශ කරමින් සෙසු රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට නැවතත් පාකිස්තානයේ දී ක්‍රීඩා කරන ලෙසට එරටේ ක්‍රිකට් බලධාරින් වරින් වර ආරාධනා කළේය. අවසානයේ දී එරටේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා එකඟ වූයේ ශ්‍රී ලංකාව පමණි. 
පෙර පැවැති එක්දින සහ T20 මෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තාන රජය, ක්‍රිකට් බලධාරින් සහ ක්‍රීඩාලෝලින්ගේ විශාල පිළිගැනීමකටත් ගෞරවයකටත් ලක් වූහ. ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන්ගේ ඇති ලැදියාව කෙතරම් ද යන වග එහි දී පැහැදිලි විය.
ශ්‍රී ලංකාව යළිත් වතාවක් පාකිස්තානයේ දී ටෙස්ට් ක්‍රීඩා කළ හැකි බවට සනාථ කිරීමට එහි පැමිණීම ගැන බොහෝ ක්‍රීඩකයෝ ප්‍රශංසා කළහ. ඒ අතරට හිටපු නායකයකු වන ෂොයිබ් මලික් ද අයත් වේ.
“නැවත වතාවක් අපේ රටට සහ එහි ජනතාව වෙතට අන්තර්ජාතික ක්‍රිකට් ගෙන ඒමට ක්‍රියා කළ ශ්‍රී ලංකා කණ්ඩායමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මම ස්තූතිවන්ත වෙනවා. එය අපි කවමදාවත් අමතක කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවටත් ඔවුන්ගේ ජනතාවටත් අවශ්‍ය විට දී අත්වැල් බැඳ ගැනීමට අපි සිටිනවා” මලික් පැවැසීය.
මෙම වසරේ මැයි මාසයේ දී ආසියානු ක්‍රිකට් සභාවේ (ඒ.සී.සී.) රැස්වීමක් සිංගප්පූරුවේ දී පැවැත්විණි. එහි දී පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළේය. එනම් ටෙස්ට් තරග දෙකක් පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලෙසටයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ආරක්ෂක විශේෂඥයෙක් පාකිස්තානයේ ආරක්ෂක බව තහවුරු කිරීමට එරටට පිටත් කළේය. ඒ ජූලි මාසයේදීය. අගෝස්තු මාසයේ දී එවක ක්‍රීඩා ඇමැතිවරයා මෙම සංචාරය (එක්දින තරග) තහවුරු කළේය.
මේ අතර සැප්තැම්බර් මාසය වන විට මෙම සංචාරයට තෝරා ගෙන සිටිය ශ්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුම පාකිස්තාන් සංචාරයට යෑමට සිය අකමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් නම් ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, T20 නායක ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වාය.
මේ අතරවාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ශ්‍රී ලංකා රජයට තොරතුරු ලැබී තිබේ. එම නිසා යළිත් වතාවක් එරටේ ආරක්ෂක වාතාවරණය ගැන සෙවීමට සිදු වූයේය.
එම තරග සංචාරයට එක්දින සහ T20 තරග පමණක් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරින් එකඟ වී සිටියහ. මේඅතර මෙම තරග වෙනත් ස්ථානවල පැවැත්වීමට පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය කැමති වූයේ නැත. ඊට කාලය නොමැති බව ඔවුහු පැවැසූහ.
අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සංචාරය නියමිත පරිදි පැවැත්වෙන බවට තහවුරු කළේය. එසේ වුවත් එක්දින සහ T20 තරගමාලා වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයන් බහුලව සිටින කණඩායම් 02ක් නම් කිරීමට සිදු විය. ඒ එක්දින ළහිරු තිරිමාන්න සහ T20 දසුන් ශානකගේ නායකත්වය යටතේය.
එක්දින තරගමාලාවට තරග 03කි. එය පාකිස්තානය ජය ගත්තේ 2 - 0 කිනි. තරගයකට වර්ෂාවෙන් බාධා විය. එසේ වුවත් T20 තරගමාලාවෙන් 3 - 0ක් ලෙස සම්පූර්ණ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූහ. එක්දින සහ T20 තරගවල දී පාකිස්තාන් නායකයා වූයේ සෆ්රාස් අහ්මඩ්ය.
මෙම තරග සංචාරය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙනු ලැබුවේ රටක රාජ්‍ය නායකයකුට ලබා දෙන ආකාරයේ ආරක්ෂාවකි. එහි සාර්ථකත්වය මත ටෙස්ට් තරගමාලාවත් එරටේදීම පසුව පැවැත්වීමට තීරණය කෙරිණි.
ඊට ශ්‍රී ලංකාව සිය සම්පූර්ණ කණ්ඩායම නම් කළේය. ඒ අනුව එක්දින සහ T20 තරගමාලාවන්ට සහභාගි නොවූ දිමුත්, මැතිව්ස්, ධනංජය, දික්වැල්ල වැනි ක්‍රීඩකයන් ද මෙවර සංචාරයට සහභාගි වූහ. මේ අතර සුරංග ලක්මාල්ට මෙවරත් පාකිස්තාන් සංචාරය අහිමි වූයේය. ඒ ඔහු ඩෙංගු රෝගයට ලක්ව සිටිය නිසාය.
සුරංග ලක්මාල් විශේෂිත ක්‍රීඩකයෙකි. එනම් 2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ ඔහු පමණක් නිසාවෙනි.
මෙම ටෙස්ට් තරගමාලාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් විනිසුරුවන් සහ තරග තීරකවරයා පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පැමිණියේ දෙසැම්බර් මස මුලදීය.
දෙරට අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 11 සිට 15 දක්වා පවත්වනු ලැබීය. ඒ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ඊට වර්ෂාවෙන් දැඩි බ ලපෑම් විය. එහි ප්‍රතිඵලය තරගය ජය පරාජයකින් තොරව නිමා වීමයි.
එහි දී දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා සිය 06 වැනි ටෙස්ට් ශතකය ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී රැස් කළේය. එය ඔහු විදේශයක දී රැස් කළ සිව්වැනි ටෙස්ට් ශතකයයි.
මේ අතර තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් අබිඩ් අලී පාකිස්තාන් පළමු ඉනිමේ දී ශතකයක් රැස් කළේය. එය වාර්තාගතය. එනම් තම මංගල ටෙස්ට් සහ එක්දින තරගවල දී ශතක රැස් කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට ඔහු පත් වීමයි. අලී මෙම වසර මුල දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තම මංගල එක්දින ජගත් තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වී තිබුණි.
දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 19 සිට 23 දක්වා පැවැත්වූයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීය. මුල් ඉනිමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය. එහෙත් දෙවැනි ඉනිමේ දී රැස් කළ දැවැන්ත ලකුණු ගණන නිසා පාකිස්තානයට මෙම පහසු ජය අත් විය.
අබිඩ් අලි දෙවැනි ඉනිමේදීත් ශතකයක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව තම ප්‍රථම ටෙස්ට් තරග 02 දීම ශතක රැස් කළ පළමු පාකිස්තානුවා බවට පත් විය. 32 හැවිරිදි අලී දකුණත් පිතිකරුවෙකි.
එමෙන් ම දෙවැනි ඉනිමේ දී පාකිස්තානු මුල් පෙල පිතිකරුවන් සිවුදෙනා වූ ෂාන් මසුද්, අබිඩි අලී, නායක අසාර් අලී සහ බාබර් අසාම් ශතක රැස් කළහ. එවැනි දස්කමක් ටෙස්ට් ඉනිමක දී පාකිස්තානය වෙනුවෙන් වාර්තා වූයේත් ප්‍රථම වතාවටයි.
ශ්‍රී ලංකා දෙවන ඉනිෙම් දී නසීම් ෂාහ් කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව එවැනි දස්කමක් ටෙස්ට් ඉතිහාසයේ දී දැක්වූ ළාබාලතම වේග පන්දු යවන්නා බවට ඔහු පත් විය. දකුණතින් වේග පන්දු යවන නසීම් 16 හැවිරිදිය.
තරගයෙන් පරාජය වුවත් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු තම ප්‍රථම ටෙස්ට් ශතකය රැස් කර ගත්තේය. ඒ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීය.
මෙම ටෙස්ට් තරගමාලා ජය පාකිස්තානයට සුවිශේෂිතයි. එනම් සිය රටේ දී ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගමාලා ජයක් අවසන් වරට ලැබුවේ 1991 - 92 තරගවාරයේදීය. එහි දී පාකිස්තානු නායකයා වූයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ය.
මෙවර ටෙස්ට් තරගමාලා සංචාරය අතරතුර දී විශේෂ හමුවක් සිදු විය. ඒ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් සහ වේග පන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් හමු වීමයි. 80 දශකයේ දී ඔවුන් ජගත් ක්‍රිකට් පිටියේ දී ක්‍රීඩා කළ සමකාලීනයෝය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයක දී නායක දිමුත්ට සිය රුව රැගත් සිතුවමක් ප්‍රදානය කරනු ලැබීය. එය සිතුවම් කරනු ලැබුවේ පාකිස්තාන් කතකි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයට සහභාගි වූයේ එහි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ සේවය ලබා ගනිමින්ය. ආතර් දකුණු අප්‍රිකානුවෙකි. ෆ්ලවර් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කළේය. මේ දෙදෙනාම අවසන් වරට සිය සේවය ලබා දෙනු ලැබුවේ පාකිස්තානයටයි.
එංගලන්තයේ සුප්‍රකට මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී. කණ්ඩායමක් ලබන වසරේ දී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. එම කණ්ඩායමේ නායකයා වනුයේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයකු වන කුමාර සංගක්කාරය. ඔහු මේ වන විට එම්.සී.සී. සමාජයේ සභාපතිවරයාත් වේ.
මෙම සංචාරයේ මූලික අරමුණක් වේ. එනම් ඉදිරියේ දී තව තවත් ජාතික කණ්ඩායම් පාකිස්තානයේ දී ක්‍රිකට් තරග සංචාරයන්ට පෙළඹවීමයි.
එම්.සී.සී. සමාජය පිහිටුවූයේ 1787 වසරේදීය. එහි මූලස්ථානය සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිහිටා ඇත. ඒ 1814 වසරේ සිටය. 1788 වසරේ සිට ක්‍රිකට් නීති රීති සම්පාදනය සිදු වූයේ එම්.සී.සී. සමාජය තුළින්ය. වත්මන දී එම කාර්යය අයි.සී.සී. විසින් සිදු කරයි. නමුත් එහි හිමිකාරත්වය තවමත් එම්.සී.සී. සතුය.
සංගක්කාර එම්.සී.සී. සභාපති ධුරයට පත් වූයේ මෙම වසරේ ඔක්තෝබර් මාසයේදීය. එයත් වාර්තාගතය. එනම් මෙම ධුරයට පත් වූ බ්‍රිතාන්‍ය නොවන ප්‍රථම ජාතිකයාත් සංගා වන බැවිනි.
ටෙස්ට් තරගමාලාව ශ්‍රී ලංකාව පරාජයට පත් වූ සැබෑය. එහෙත් පාකිස්තානයේ දී නැවත වතාවක් ජගත් තරග පැවැත්වීම සඳහා විශාල දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි විය. එහි අගය තව තවත් වැඩි වන්නේ බංග්ලාදේශය මේ වන විට ගත් තීරණයක් නිසාවෙනි.
එළැඹෙන වසරේ ජනවාරි - පෙබරවාරි මාසවල දී බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගමාලාවක් පැවැත්වීමට නියමිතයි. ඊට ටෙස්ට් තරග 02 කි. T20 තරග 03කි. මෙම තරග එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී පැවැත්වේ.
පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉහත තරග සිය රටේ දී පැවැත්වීමට හැකි බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැන්වීය. එහි දී සිය රටේ ඇතැම් ක්‍රීඩකයින් පාකිස්තානයේ දීර්ඝ සංචාරයක නිරත වීමට අකමැති බවට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරින් දන්වා ඇත.
පසුව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් එක් ටෙස්ට් තරගයක් දිවා - රාත්‍රී ලෙසට කරච්චි නුවර දී පැවැත්විය හැකි බවයි. එහෙත් එයත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ගේ මතය වන්නේ T20 තරග පමණක් පාකිස්තානයේ දී පැවැත්විය හැකි බවයි.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවේ පාකිස්තානයේ දී ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් පවතින බවයි. ඒ අනුව ඉදිරියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම් පාකිස්තානයේ දී ක්‍රීඩා කරනු ඇත.
එහෙත් සෙසු රටවල කණ්ඩායම් එසේ ක්‍රියා කිරීමට තවත් කාලයක් ගත වනු ඇත. පාකිස්තානයට තිබෙන්නේ හැකි ඉක්මනින්ම එම අභියෝගය ජය ගැනීමයි.










