මගේ ඉලක්කය ඔලිම්පික් පදක්කමක් - මැතිව් අබේසිංහ | සිළුමිණ

මගේ ඉලක්කය ඔලිම්පික් පදක්කමක් - මැතිව් අබේසිංහ

 

ලොව විස්මිත නවාතැන් පොළකි. එම නවාතැන් පොළේ විවිධ මානයන් තුළ විවිධ සටහන් තැබීමට මානවයා ප්‍රයත්න දරා ඇත. සටහන් තබා ඇත. ඒ සටහන් අද ලෝක වාර්තා ලෙස සටහන් වුවත් එයින් වඩාත් උත්කර්ශවත් වනුයේ තනි තනි පුද්ගලයන් ලෙස ශාරිරික යෝග්‍යතාව පසක් කළ අවස්ථාය. ශාරිරික යෝග්‍යතාවේ උච්චතම අවස්ථාව වනුයේ විද්‍යානුකුලව මානවයා විසින් හැඩගස්වා ගනිමින් සම්මුතිගතව අනාදිමත් කාලයක සිට ගොඩනගාගත් ක්‍රීඩාවයි. වසර 125කට වැඩි ඉතිහාසයක් ඇති වත්මන් ක්‍රීඩාව ක්‍රීඩා තරග ලෙස ලෝක මට්ටමින්, මහද්විප මට්ටමින් හා කලාපිය මට්ටමින් තරග වදින අතර අද රටක් රාජ්‍යයක් තම රාජ්‍ය තුල වෙසෙන මානවයාගේ හැකියාවන් විද්‍යමාන කරනුයේ ක්‍රීඩාව තුළින්ය.

 

වසර 125කට අධික රිද්ම්‍යානුකුල ක්‍රිඩාවට විශාල ක්‍රීඩා සංඛ්‍යාවක් එකතුවි ඇත. තනිපුද්ගල ක්‍රීඩා, කණ්ඩායම් ක්‍රිඩා, සාමූහික ක්‍රීඩා වශයෙන් ක්‍රීඩාව වර්ග වන අතර එළිමහන්, ගෘහස්ථ, ගුවන් හා ජලය ආශ්‍රිත ක්‍රීඩා ලෙසද ක්‍රීඩා තරග වෙන්වෙන්ව බෙදී යයි. එයින් ජලය ආශ්‍රිතව ලෝක මට්ටමින් පැවැත්වෙන පිහිනුම් තරගවලදී එදා මෙදා තුර තම නාමය ලෝක පූජින කරගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මයිකල් පෙල්ප්ස් ය. “පියාඹන මාළුවා“ ලෙස විරුදාවලියෙන් පිදුම් ලද පෙල්ප්ස් අඛණ්ඩව ලොව පැවත්වෙන උසස්ම ක්‍රිඩා තරගාවලිය ලෙස සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උලළේ දී වාර දෙකකදී රන්පදක්කම් 23 ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව සිටියි.

 

ආසියාතික මට්ටමින් එවැනි දක්ෂතාවක් පසුගිය දා සටහන් තැබුවේ. මැතිව් අබේසිංහයි. ඒ නිමා වු 13වන දකුණු ආසියා ක්‍රිඩා උලෙළේදිය. ඒ රන් පදක්කම් 7ක් දිනාගනිමින්ය. වාර දෙකකදී පදක්කම් 14ක් දිනා ගනිමින් පිහිනුම් ඉසව් තුළින්ම දකුණු ආසියානු මට්ටමින් රන් පදක්කම් 14ක් දිනා ගැනිම ලාංකියන් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණකී. මැතිව්ගේ ඒ දක්ෂතාවට හා රටට ගෙනා කීර්තිය ගැන කතාබහ කිරිමට අප මැතිව් හමු වු අවස්ථාවයි මේ.

 සාග් ජයග්‍රහණයෙන් පස්සේ කොහොමද?

 

හොඳයි. හොඳින් එදිනෙදා වැඩකටයුතුවල නිරත වෙමින් සිටිනවා. ඒ වගේම පුහුණු වීම් වලත් නිරත වෙනවා. උත්සව කිහිපයකට හා රසික හමු කිහිපයකටත් වගේම ඇගැයිම් කිහිපයකටත් සහභාගී වුණා. ඉදිරියේදීත් එවැනි වැඩ කිහිපයක එක් විමට තිබෙනවා. කොහොම වුණත් මගේ ඊළග ඉලක්කය තමයි ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ.

 

නිමා වු සාග් තරගාවලියේදී පෑ දක්ෂතා ගැන ඔබ සැහෙනවාද?

 

13 වන සාග් තරගාවලියේදි නව වාර්තාවක් සමග රන් පදක්කම් 7ක් හා රීදී පදක්කම් දිනා ගැනීමට හැකිවීම භාග්‍යයක් කොට සලකනවා. මම බලාපොරොත්තු වුණේ රන් පදක්කම් 8ම දිනා ගැනිමටයි. නමුත් ඒ අවස්ථාව ගිලිහී ගියා. ලැබූ දෙයින් තෘප්තිමත්.

 

ඒ කියන්නේ මෙවර තරගාවලිය තියුණුයි.

 

ඇත්තෙන්ම ඔව් . 2016 වසරේ දී ඉන්දියාවේ දී පැවැති ‘සාග්‘ තරගාවලියේදී නොතිබුණු උද්යෝගයක් හා වේගයක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පිහිනුම් ක්‍රීඩා තරග ඉසව්වලදී දැකගත හැකි වුණා. ඒ කියන්නේ ඉන්දියාවේ ගුවාතිවල පැවැති 12 වන සාග් තරගාවලියට වඩා මෙවර පිහිනුම් තරගවලදී අපට ලොකු අභියෝගයක් ජයගැනීමට සිදු වුණා. ඉන්දියානු ක්‍රීඩකයන් තමයි වේගවත්ම ක්‍රීඩකයන් ලෙස අපට අභියෝගයක් වුණේ. නමුත් පසුගිය තරගාවලියේදී මෙතරම් අභියෝගයක් තිබුණේ නෑ. මෙවර ඉන්දියාවෙන් තියුණු අභියෝගයක් එල්ල වුණා.

 

මෙවර තරගාවලියට එක් වන කොට ඒ බව දැනගෙන සිටියේ නැද්ද?

 

නෑ. අපි ඉතාමත් හොඳින් පුහුණු වීම් කරලා තමයි. තරගාවලියට ගියේ. නමුත් අපි බලාපොරොත්තු නොවු මට්ටමින් අපිට ඉන්දියාවෙන් අභියෝගයක් එල්ල වුණා. නමුත් අපි කණ්ඩායමක් ලෙස ඉතා හොඳින් ඒ අභියෝගයට මුණ දුන්නා. ජයගත්තා.

 

සාග් තරගාවලියට සහභාගී වුණේ කණ්ඩායමක් හැටියට පුහුණු වීම් වල නිරතවෙලද? නැත්නම් තනි තනිවමද?

 

‘සාග්‘ තරගාවලිය ඉලක්ක කොට ගෙන අපි කණ්ඩායමක් හැටියට පුහුණු විම් වල නිතර වුණා. ඒ නිසා තමයි කණ්ඩායමක් හැටියට 13 වන දකුණු ආසියානු තරගාවලියේදී දිගු ගමනක් යෑමට හැකි වුණේ. ජයග්‍රහණ ගණනාවක් දිනාගැනීමටත් හැකි වුණේ.

 

පිහිනුම් කණ්ඩායමට එක් තරග ඉසව්වකින් ලැබුනේ රිදී පදක්කමක්. ඒ වරද සිදුවුණේ කොතැනද?

 

අපි කණ්ඩායමක් ලෙස ඉතා හොඳින් තරග කළා. නමුත් මීටර් 4 x 200 නිදහස් ආර තරග ඉසව්වේදී දෙවන වටයේදී සිදුවු අනපේක්ෂිත සිදුවිමක් හේතු කොට ගෙන අපට රන් පදක්කම අහිමි වුණා. නමුත් රීදී පදක්කමක් හිමිවුණා. එවැනි දේ සිදුවිය හැකියි. එය කණ්ඩායමේ වරදක් නොවෙයි.ඒ ක්‍රීඩකයාගේ වරදකුත් නෑ. ඒක හදිසි අනතුරක්.

 

ඔබ පවසනවා පුහුණු විම්වල නිරත වෙමින් සිටන බව. කා යටතේද? පුහුණු වීම්වල නිරතච සිටින්නේ?

 

මගේ පියා තමයි මගේ පළමු පුහුණුකරු ඔහු යටතේ තමයි මම පුහුණුවිම්වල නිරතව සිටින්නේ. ඒ වගේම ඇමෙරිකන් ජාතික පුහුණු කරුවෙකුගේ යටතේ වැඩිදුර ඇමෙරිකාවේදී පුහුණු විම්වල නිරත වෙනවා. නමුත් මගේ පූර්ණ කාලීන පුහුණුකරු මගේ පියා.

 

ඒ කියන්නේ ඔබ නුදුරේදීම විදේශගත වනවා.?

 

ඔව්. මම උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නේ ඇමෙරිකාවේ. ඒ නිසා නැවතත් ඇමෙරිකාව බලා පිටත්ව යා යුතුයි. ඒ වගේම මගේ පුහුණු විම් සිදු කළ යුතුයි. ඒ නිසා මම හැකි ඉක්මනින් විදේශගත වනවා. දින කිහිපයක් ලංකාව තුළ රැදී සිටිනවා.‍

 

ඔබ අධ්‍යාපනය හැදැරුවේ ශ්‍රී ලංකාවේදී නේද?

 

2010 වසරේදී ශ්‍රී ලංකාවට ඇවිත් කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ අට වසරට ඇතුළු වුණා. උසස් අධ්‍යාපනයට ඇමෙරිකාවට යනතුරු ආසියානු ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හැදැරුවා. නමුත් මම උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා නව උත්පාදන කළමනාකරන උපාධිය හා ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

 

ක්‍රීඩාවට ගෙදරින් ලබෙන සහයෝගය?

 

මනෝජ් අබේසිංහ මගේ පියා. එයා තමයි මගේ පුහුණුකරු. ඒ වගේම මගේ මවත් මට විශාල රුකුලක් හා දිරියක් වී තිබෙනවා ක්‍රීඩාවේදි මගේ සොහොයුරා තමයි මගේ හොඳම යාළුවා. ඔහුත් දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක්. තරගාවලි කිහිපයකදි පදක්කම් දිනාගෙන තිබෙනවා. මගේ පුහුණුවීමේ සගයා ලෙස ඇමෙරිකාවේදී මා සමග සිටින්නේ ඔහුයි. ඔහු මට සැබෑ සොහොයුරෙක්.

 

ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයන්ගේ අනාගත ගමන් මඟ ඔබ දකින්නේ කොහොමඳ?

 

ඉතාමත් හොඳ දක්ෂ ක්‍රිඩකයන් ගණනාවක් අපට සිටිනවා. ඔවුන්ට හොඳ අනාගතයක් තිබෙනවා. ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන නිසි පුහුණුවක් සමගින් අනාගතය ගොඩනැගිය යුතුයි. අප දකුණු ආසියාතික තරගාවලි ඉලක්ක කොට පුහුණු විම් නොකළ යුතුයි. අනෙකුත් අන්තර් ජාතික තරගාවලියන් ඉලක්ක කරගෙන ක්‍රිඩකයන් හැඩ ගැස්විය යුතුයි. දකුණු ආසියානු තරගාවලිය එක් තරගාවලියක් පමණයි. එමෙන්ම අන්තර්ජාතික අත්දැකීම් වැඩියෙන් නවක ක්‍රිඩකයන් හට ලබාදිය යුතුයි.

 

අද වන විට විශාල ක්‍රිඩා රසික රසිකාවන් පිරිසක් ඔබ වටා ඒක රාශී වි සිටිනවානේද?

 

ඔව් විශාල පිරිසක් මට සුබපැතුම් එක් කර තිබෙනවා. ඒ වගේම මගේ මුහුණු පොත තුළිනුත් විශාල පිරිසක් මා සමග සිටිනවා. ඔවුන් මට විශාල රුකුලක්. මාගේ සමරු සටහන් ගැනීමට අවස්ථා කිහිපයකදී විශාල පිරිසක් මා සමග එක් වුණා. දකුණු ආසියානු තරගාවලියේදී මා ලද ජයග්‍රහණයන් නිසා ඔවුන් සතුටු වනවා. ඒ වගේම ගෞරවනීය ලෙස මට සැලැකුම් ලබාදෙනවා.

 

සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ඔබ දෙන පණිවිඩය?

 

ඉතාමත් හොඳින් පුහුණු විම්වල නිරතව කැපවීමෙන් තමන් කරන දේ හරියට කරන්න. ඒකම ජයග්‍රහණයක්. ඒ තුළින් ජයග්‍රහණය කරා යැම පහසුයි.

 

සාග් තරගාවලිය ඉවරයි. ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මම සිහින දකිමින් සිටින්නේ එළැඹෙන 2020 ඔලිම්පික් තරගාවලිය ගැනයි. ඒ වෙනුවෙන් මේ දිනවල පුහුණු වීම්වල නිරත වෙමින් සිටිනවා. ඔලිම්පික් රන් පදක්කම සිහිනය වෙනුවෙන් කැපවී සිටිනවා. එය විශාල අභියෝගයක්. සාග් තරගාවලිය වගේ දකුණු ආසියානු රටවල් කිහිපයක් නියෝජනය කරන තරගාවලියක් නෙමෙයි ඔලිම්පික් ක්‍රීඩා උළෙල. මුළු ලෝකයම නියෝජනය කරනවා. අභියෝගය විශාලයි. අති දක්ෂයන් බොහෝයි. ජයගැනිම පහසු නෑ. නමුත් මා ඒ වෙනුවෙන් කැපවීමේන් පුහුණු විම්වල නිරත වෙමින් ඉලක්කය කරා යෑමේ ගමනක නිරත වී සිටිනවා.

Comments