හෙණ ගැහු­වත් මඟීන්ට අන­තු­රක් නැති ගුව­න්ග­මන් | සිළුමිණ

හෙණ ගැහු­වත් මඟීන්ට අන­තු­රක් නැති ගුව­න්ග­මන්

සැම්බි­යානු ගුවන් යාන­යට අකුණු පහර එල්ල වී ඇති අන්දම
සැම්බි­යානු ගුවන් යාන­යට අකුණු පහර එල්ල වී ඇති අන්දම

සු­ගිය නොවැ­ම්බර් 25 වැනි දා සැම්බි­යාවේ ලිවිං­ස්ටන් සංචා­රක නග­රයේ සිට අග­නු­වර වන ලුසාකා වෙත ගමන් ගනි­මින් තිබූ ගුව­න්යා­න­යකි. proflight ගුවන් සමා­ග­මට අයත් වූ ඒ ගුව­න්යා­නයේ මඟිහු 41ක් ගමන් ගනි­මින් සිටි­යහ. පැව­තියේ වැසි­බර කාල­ගු­ණ­යකි. හමා­ගිය සුළං සමග විටි­න්විට අකු­ණු­ස­රද එල්ල විය. නිය­මුවා යානය ඉදි­රි­යට මෙහෙ­ය­ව­මින් සිටි­යේය. එක්ව­රම යානයේ මඟීන්ගේ ඇස් නිලං­කාර කර­මින් අති ප්‍රබල ආලෝ­ක­යක් දැල්වී නිවී ගියේය. ඒ සමඟ ඇති වූ කම්ප­නය තත්ත්පර කිහි­ප­යක් පැවති අතර සිදු වූයේ කුම­ක්දැයි බොහෝ දෙනෙ­කුට නින­ව්වක් නොවීය.

සියල්ල මනාව දිස් වූයේ නියමු කුටියේ සිටි නිය­මු­වාට පම­ණකි. යානයේ ඉදි­රි­පස කොට­සට ප්‍රබල අකුණු සර­යක් ඔහුගේ දෑස් ඉදි­රි­පි­ටම එල්ල විය. යානයේ ඉදි­රි­පස ලෝහ කොටස් ගැලවී විසිවී යන විට ඔහු දැඩි පරි­ශ්‍ර­ම­යක් දර­මින් යානය පාල­නය කර­ග­ත්තේය. ලුසාකා වෙත ගමන කල් දැමී­මට තීර­ණය කළ ඔහු වහාම යානය අසල පිහිටි කෙනත් කවුන්ඩා ගුවන් තොටු­පො­ළට ආර­ක්ෂි­තව ගොඩ­බැ­ස්වූ­යේය.

මඟීන්ගේ ජීවිත ආරක්ෂා කිරී­මට සමත් වූ නිය­මුවා කෙරෙහි ජනතා ප්‍රසා­දය එල්ල වූ අතර සිදු වීම අන්ත­ර්ජා­තික තලයේ කතා­බ­හ­ටද ලක් විය. ගුව­න්යා­නා­ව­ලට අකුණු අන­තුරු සිදු­වීම කෙරෙහි වැඩි අව­ධා­න­යක් ඒ සම­ඟම ලැබිණි. එ් සම­ඟම අන්ත­ර්ජා­ලය පුරා පැතිර ගිය තොර­තු­රු­ව­ලින් ප්‍රකාශ වූයේ ගුව­න්යානා වැඩිම අකුණු අන­තු­රු­ව­ලට ලක්වන්නේ නව­සී­ල­න්ත­යේදී බවයි.

ඇට්ලන්ටා ගුවන් තොටුපොළේ දී ගුවන් යානය අකුණු සැර­ය­ට ලක් වන අන්දම

සැම්බි­යා­වේදී වුණු ඒ සිද්ධි­යට දින පහ­කට පෙර එනම් පසු­ගිය නොවැ­ම්බර් 20 වැනි දා නව­සී­ලන්ත ගුවන් යාන­යක් අකුණු අන­තු­ර­කට ලක් වූ ආස­න්න­තම අව­ස්ථාව වාර්තා විය. නව­සී­ල­න්තයේ ක්‍රයි­ස්ට්චර්ච් ගුවන් තොටු­පොළේ නවතා තිබූ Airbus 380 ගුව­න්යා­න­ය­කට අකුණු සර­යක් එල්ල වනු නවතා තිබූ තවත් හෙලි­කො­ප්ටර් යාන­යක සිටි නිය­මු­වකු ඡායා­රූප ගත කර තිබිණි. අකුණු පහර එල්ල වූ ගුවන් යානය ගුව­න්ගත වීමට සියල්ල සූදා­නම්ව තිබූ නමුත් ඒ අව­ස්ථාව වන විට පැවති අධික සුළං සහ කුණාටු තත්ත්වය පහව යන තෙක් මදක් ප්‍රමාද වෙමින් පැව­තිණි. අකුණු පහර යාන­යට එල්ල වී ඇත්තේ එම අව­ස්ථා­වේ­දීය.

පසුව යානයේ ගමන නවත්වා එන්ජින් පරී­ක්ෂා­වට ලක් කළ අතර මඟීන්ගේ ආර­ක්ෂාව පිණිස වෙනත් යාන­ය­කින් ඔවුන් අදාළ ගම­නා­න්තය දක්වා ගෙන ගොස් තිබේ. කෙසේ වුවද ඒ අකුණු පහර එල්ල වීමෙන් කිසිදු අන­තු­රක් වාර්තා වී නැත.

2015 වස­රේදී අමෙ­රි­කාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා ගුවන් තොටු­පොළේ දී ගුව­න්ගත වූ සැණින් යාන­ය­කට අකුණු පහ­රක් එල්ල වී තිබේ. තවත් වරෙක නව­සී­ල­න්තයේ වෙලිං­ටන් සිට ඩන්ඩීන් දක්වා ගමන් ගනි­මින් තිබූ යාන­ය­කට අකුණු පහ­රක් එල්ල වූ බවට වාර්තා වේ. එම අව­ස්ථාවේ යානයේ ගමන් ගනි­මින් සිටි ලූක් ෆිට්ස්මි­යු­ර­යිස් නමැති පුද්ග­ලයා පවසා ඇත්තේ අති ප්‍රබල ආලෝක ධාරා­වක් යානයේ කවු­ළු­වෙන් දිස්වූ බවත් ඒ සමඟ තමන් කම්ප­න­යට පත් වූ බවත්ය. එහිදී යානය ඉක්ම­නින් ගොඩ­බස්වා මඟීන් වෙනත් යාන­ය­කට යොමු කිරී­මට කට­යුතු කර තිබේ.

ගුව­න්යා­නා­ව­ලට අකුණු පහර එල්ල වීම සම්බ­න්ධව අද­හස් පළ කරන අමෙ­රි­කානු සිවිල් ගුවන් සේවා අධි­කා­රිය වාර්තා­වක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ ගත වූ පස් වසර තුළ ලොව පුරා ගුවන් යානා­ව­ලට අකුණු පහර එල්ල වීම් 162ක් වාර්තා වී ඇති බවය. ඒ අකුණු අන­තුරු අත­රින් 114ක්ම වාර්තා වී ඇත්තේ නව­සී­ල­න්ත­යෙනි. නව­සී­ල­න්තයේ වාර්ෂි­කව ගුවන් ගමන් 250,000ක් සිදු කෙරෙන අතර සෑම ගුවන් ගමන් 7700කට පසු යාන­යක් අකුණු පහ­ර­කට ලක් වන බව එම වාර්තාවේ සඳ­හන්ය. ඒ අනුව වස­ක­ර­ටද වාර්තා වන දළ අකුණු අන­තුරු සංඛ්‍යාව 30කට ආසන්න වේ.

අමෙ­රි­කාවේ පළ කරන scientific American සඟ­රා­වට අනුව සෑම වාණිජ ගුවන් යාන­යක්ම එක් වරක් හෝ අකුණු පහ­ර­කට ලක් වී තිබේ. එලෙස ගුව­න්යානා අකුණු අන­ත­රු­ව­ලට ලක් වීම දුර්ලභ දෙයක් නොවන බව ඔවුන්ගේ අද­හ­සයි. එමෙන්ම අකු­ණක් වැදී­මෙන් ගුවන් යාන­යක් අන­තු­රට පත් වීමට පව­ති­න්නේද ඉතාම සුළු ඉඩක් බවද එම සඟ­රාව වාර්තා කර තිබේ.

2014 වස­රේදී ඉන්දු­නී­සි­යා­වේදී මඟීන් සමඟ ගුවන් යාන­යක් කඩා වැටී 4 දෙනකු මිය ගිය අතර අන­තු­රට හේතුව ලෙස තහ­වුරු වූයේ යාන­යට අකුණු පහ­රක් එල්ල වීමය.

2010 වසරේ කොලො­ම්බි­යා­වේදී ගුවන් යාන­ය­කට අකුණු පහ­රක් එල්ල වීම හේතු­වෙන් යානයේ ගමන් ගත් එක් මඟි­යකු හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ අතර 114 දෙනකු තුවාල ලබා තිබේ. යානය ගුවන් ගත කරන අව­ස්ථා­වේදී මේ අකුණු පහර එල්ල වී ඇත. එම­ඟින් බිමට ඇද වැටුණු යානය කැබලි තුන­කට වෙන්ව ගොස් තිබේ.

මේ අන්දමේ සිදු­වීම් ලොව පුරා වාර්තා වුවද ගුවන් නිය­මුවෝ තමන් ගුව­නේදී අකුණු පහ­රට වඩා බිය­පත් වන්නේ කුණාටු සුළ­ඟට බව පව­සති. එයට හේතුව ගුවන් යානා නිප­ද­වී­මේදී අකුණු පහ­රින් ආරක්ෂා වීමට යම් තාක්ෂ­ණික ක්‍රම උප­යෝගී කර ගන්නා නිසාය. යානයේ බඳේ ආලේප කරන සුවි­ශේෂ ආලේ­ප­න­යක් විසින් අකුණු පහ­රින් නිප­ද­වෙන විදු­ලිය යානය ඇතු­ළට ගමන් කිරීම වළ­ක්වා­ලනු ලැබේ. අහසේ ගමන් කරන යානා නිතර අකුණු පහ­රට විවෘත වීම හේතු­වෙන් එවැනි ආර­ක්ෂිත පිය­වර අනු­ග­ම­නය කිරී­මට ගුව­න්යානා ඉංජි­නේ­රු­වන් කට­යුතු කර තිබේ. එබැ­වින් කොත­රම් අකුණු පහර එල්ල වුවද ගුව­න්යා­න­යක ගමන් ගන්නා මඟීන්ට අන­තු­රක් වීමට ඇති සම්භා­වි­තාව ඉතා අව­මය. එහෙත් අඩි දහස් ගණ­නක් උඩු ගුව­නේදී තමන් ගමන් ගනි­මින් සිටින ගුවන් යාන­යට දැවැන්ත අකුණු පහ­රක් එල්ල­වීම කිසිදු මඟි­ය­කුට සුන්දර අත්දැ­කී­මක් නම් නොවනු ඇත.

නව­සී­ල­න්ත­යේ­ ක්‍ර­යි­ස්ට්චර්ච් ගුවන් තොටු­පොළේ තවතා තිබූ ගුවන් යාන­යට අකුණු පහර එල්ල වන අන්දම

 

Comments