
වැසි ජලයේ ප්ලාස්ටික් අඩංගු බව සනාථ කෙරෙන පර්යේෂණ වාර්තාවක් අමෙරිකාවේ එක්සත් ජනපද භූ විද්‍යා පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබේ. අමෙරිකාවේ රොකී කඳුවැටිය සහ කොලරාඩෝ ප්‍රාන්ත ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණයකින් ඒ බව සනාථ කර තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ පර්යේෂකයකු වන ජෝර්ජි වෙදර්බි රොකී කඳුකර ප්‍රදේශයේ වර්ෂා ජල සාම්පල් එක් කරගනිමින් වර්ෂා ජලයේ අඩංගු අංශු සම්බන්ධව පර්යේෂණයක නිරත වූයේය. ඔහු පැවසූ පරිදි ඔහු බලාපොරොත්තුව සිටියේ රොකී කඳු ආශ්‍රිත වැසි ජලයේ පස් සහ පාංශු අංශු අඩංගුව පවතී යන්නය. එහෙත් වැසි ජලය අන්වීක්ෂ මඟින් පරීක්ෂා කළ ඔහු දුටුවේ කිසිසේත් බලපොරොත්තු නොවූ දර්ශනයකි. ඔහු ලබාගත් වර්ෂා ජල සාම්පල්වල විවිධ වර්ණයෙන් යුත් ප්ලාස්ටික් අංශු පා වෙමින් තිබිණි. එපමණක්ද නොව කොලරාඩෝ ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකින් ලබා ගත් වර්ෂා ජල සාම්පල්වලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විය.
ඒ සොයාගැනීම ලොව පුරා පරිසර විද්‍යාඥයන් තැති ගැන්වීමට සමත් වී තිබේ. ඔවුන් පවසා ඇත්තේ ප්ලාස්ටික් මඟින් සිදු වෙමින් පවතින පරිසර විනාශය තමන් බලාපොරොත්තු වූවාට වඩා කිහිප ගුණයකින් වැඩි බවයි. තමන් දශකයකට වැඩි කාලයක් පුරා ප්ලාස්ටික්වලින් සිදු වන පරිසර විනාශය සම්බන්ධව පර්යේෂණ පවත්වමින් සිටියද තමන්ද අනාවරණය කරගත හැකි වූයේ සිදු වෙමින් පවතින විනාශයෙන් සියයට 1ක් පමණක් බවද ඔවුන් පවසා තිබේ.
තමන්ගේ පර්යේෂණයේ වාර්තාව ජොර්ජි වෙදර්බි විසින් ‘ප්ලාස්ටික් වැස්ස‘ යනුවෙන් නම් කර මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව වර්ෂා ජලයේ පමණක් නොව අප අපට වාතයේ, මහා සාගර පත්ලේ සහ භූගත ජලයේද ප්ලාස්ටික් අංශු අඩංගුය. විද්‍යාඥ වෙදර්බි අමෙරිකානු ජනතාවට පවසා සිටින්නේ ‘ඔබ ඇසින් දකිනවාට වඩා විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් ඔබ අවට ඇති බවයි‘
“ප්ලාස්ටික්, වර්ෂාවේත් හිමේත් අඩංගුව පවතිනවා. කොටින්ම කිවහොත් ප්ලාස්ටික් අප අවට පරිසරයේ කොටසක් බවට පත් වෙලා“ ජෝර්ජි වෙදර්බි එසේ පවසා සිටින්නේය.
ඒ සම්බන්ධව අවධානය යොමු කළ බොහෝ පර්යේෂකයන් පවසා සිටින්නේ ප්ලාස්ටික් මෙලෙස පරිසරයට මිශ්‍ර වීමට ප්‍රධාන හේතුව කසළ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම බවයි. ලෝකයේ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන ප්ලාස්ටික්වලින් සියයට එකක් හෝ ප්‍රතිචක්‍රීකරණය නොකෙරේ. එපමණක්ද නොව අප කිසිසේත් බලාපොරාත්තු නොවන ක්‍රම සහ එදිනෙදා ගෘහස්ත ක්‍රියාකාරකම් මඟින්ද විශාල වශයෙන් ප්ලාස්ටික් වාතයට ජලයට එක්වෙමින් තිබේ. ඒ සඳහා හොඳ උදාහරණයක් ලෙස රෙදි සේදීම දැක්විය හැකිය. රෙදි සේදීමේදී එම රෙදිවල අඩංගු ප්ලාස්ටික් අංශු විශාල වශයෙන් ජලයට එක් වේ. ක්‍රමයෙන් පැතිරී ගොස් අවසානයේ භූගත ජලයට එක් වන්නේද වාතයට එක් වන්නේද එවැනි ප්ලාස්ටික් අංශුය.
ප්ලාස්ටික්වලින් සිදු වන පරිසර විනාශය වළක්වාගැනීමට නම් ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව විද්‍යාඥයන්ගේ නිගමනය වී තිබේ. එසේ නොවන්නේ නම් ප්ලාස්ටික් සම්පූර්ණයෙන් මේ මිහිතලය විනාශ කර දමනු ඇති බවත්, එය වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් පරිසර විද්‍යාඥයෝ අවධාරණය කර සිටිති.