
මේ වන විට රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ කතාන්දර නිමාවට පත්වෙමින් තිබේ. මෙදා පමණක් නොව අතීතයේද මැතිවරණ රාජකාරිවල තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන්නේ එයට එක්වන රජයේ නිලධාරිහුය.
ඇතැම් යුගවලදී මැතිවරණ රාජකාරිවලට එක්වීමට බොහෝ රජයේ සේවකයෝ අදිමදි කළද සමහරු මේ රාජකාරිය ඉටු කරන්නේ දේව කාරියකට සම කිරීමෙනි. විමලසිරි පෙරේරා මහතාද සිය සේවා කාලයෙන් වසර ගණනක් මැතිවරණ රාජකාරි වල කටයුතු කළ තැනැත්තෙකි.
1931 වසරේ සර්වජන ඡන්ද බලය මෙරටට හිමිවීමෙන් පසු මෙතෙක් පවත්වා තිබෙන ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා ආදී මැතිවරණ තිස්නවයක පමණ සංඛ්‍යාවක් අතුරෙන් විමලසිරි මහතා තිහකට ආසන්න මැතිවරණ සංඛ්‍යාවක රාජකාරියට එක්වී තිබුණේ විවිධ තනතුරු දරමිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ වෙසෙන විමලසිරි මහතා සිය මැතිවරණ රාජකාරි අතීතය සිහිපත් කළේ මෙසේය:
“1965 පැවැති පාර්ලිමේන්තු මැතිවරණය තමයි මුලින්ම මැතිවරණ රාජකාරියට එක්වුණේ. එදා අපිව රාජකාරියට ගෙනියන්න ලේක්හවුස් එක ඉදිරිපිට බස් පෝලිම් ගහලා තිබුණේ. ඒ දවස් වල අපි නිදා ගත්තේ ඡන්ද මධ්යස්ථාවලමයි. මුලින්ම රාජකාරියට එක්වුණේ බළන්ගොඩ ආසනේ තන්ජන්තැන්න කියන ඡන්ද මධ්‍යස්ථානේ. එතැන තිබුණේ ඡන්ද 96යි.”
තන්ජන්තැන්නෙන් ආරම්භ වූ විමලසිරි මහතාගේ මැතිවරණ රාජකාරි අනතුරුව යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, මාතර, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, කොළඹ, ගම්පහ ආදි මෙකී-නොකී රටේ බොහෝ තැන්වල සිදු විණි. එහිදී ඔහු ලිපිකරු, ජේ.පී.ඕ. (කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපති), එස්.පී.ඕ. (ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති), ඒ.ආර්.ඕ. (සහකාර රිටනින් ඔෆිසර්) ආදි විවිධ තනතුරු හොබවා ඇත.
“ඒ.ආර්.ඕ. තනතුරට ඉහළින් තියෙන්නෙ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි හෙවත් ආර්.ඕ. තනතුර පමණයි. මැතිවරණ රාජකාරි කියන්නෙ හරිම වගකීම් සහගත කාර්යභාරයක්. නීතියට අකුරටම. මොකද රටේ තීන්දු තීරණ ගන්න පිරිසක්නේ ඡන්දයකින් තෝරාගන්නෙ. ඒ දේ හරියටම විය යුතුයි. හරියට අපේ රාජකාරිය කළේ නැත්නම් හිරේ තමයි යන්න වෙන්නෙ... ඒ වගේම තමන් කුමන දේශපාලන මත දැරුවත් මැතිවරණ රාජකාරියේදි නිර්පාක්ෂික විය යුතුමයි. ආර්.ඕ. රාජකාරියේදී ඡන්ද මධ්‍යස්ථාන හත අටක් බලන්න ඕනෙ... ඡන්දෙට ඉස්සෙල්ලා දවසෙ ගිහින් ඒ ඡන්ද මධ්‍යස්ථානෙ පහසුකම් ගැන සොයා බැලිය යුතුයි. ඡන්දෙ දවසෙ ගිහින් සොයා බලා සටහනක් දැමිය යුතුයි. මං හත් අට වතාවක් ඒ.ආර්.ඕ. විදිහටත් වැඩ කළා. වරක් හඟුරන්කෙත පැත්තෙ ඒ.ආර්.ඕ. විදිහට රාජකාරියට ගිහින් හරිම දුෂ්කරතාවලට මුහුණ දුන්නෙ. පාරක් නෑ යන්න. කඳු පල්ලම් තිබුණේ. කොහොමහරි දවස් දෙකට කිලෝමීටර් පනහක් හැටක් විතර පයින් ඇවිද්දා...”
එහෙත් විමලසිරි මහත්මා පවසන්නේ මැතිවරණ රාජකාරිය යනු ඉතා තෘප්තිමත් කාර්යභාරයක් බවයි.
“ඒ දවස් දෙක තුන හරිම විනෝදජනකයි... සමහරු බයයි. මම නම් බොහෝම කැමැත්තෙන් ඒ රාජකාරියට එකතු වුණේ. දුර පළාත්වල යන්න වුණාම දවස් දෙක තුනකට පෙර යනවා. ඒ ගමන විනෝද චාරිකා වගේ. ඒ ගියාම විවිධ පළාත්වල මිනිස්සු හඳුනාගන්න ලැබෙනවා. ඒක හරිම වටිනා දෙයක්. හැමෝම බොහෝම සහයෝගයෙන් වැඩ කරන්නෙ. ඡන්දෙ දාට ඉස්සෙල්ලා දවසේ කට්ටිය හොඳට විනෝද වෙනවා. පරණ කතා... එක් එක් අයගේ රාජකාරි අත්දැකීම් බොහෝ දේවල් කතා වෙනවා. දැන් වගේ නෙවෙයි... අපිට ඒ යන පළාත්වල මිනිස්සුන්ගෙන් පවා පුදුම සැලැකිල්ලක් ලැබෙන්නෙ...”
කලෙකදී මැතිවරණ රාජකාරි යනු තැතිගන්වන කාර්යභාරයකි. ඒ රටේ පැවැති ඒ ඒ අවස්ථාවල වාතාවරණයන් නිසායි.
“මෙහෙමයි, ප්‍රශ්න තියෙන කාලවලට විතරක් නෙවෙයි... නැති කාලවලටත් සමහරු මැතිවරණ රාජකාරිවලට හරිම බයයි... ඇතැමෙක් රාජකාරිවලට රිලීස් වෙලත් මෙඩිකල් දීලා ගෙදර නවතිනවා... අද වගේ නෙවෙයි එදා ඕනතරම් තර්ජන ගර්ජන තිබුණා අපට... 89 ඡන්දයකදී... මං හිටියෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත පිටිසර පන්සලක තිබූ ඡන්ද මධ්‍යස්ථානයක. තනිකරම භීෂණය සමය. ඒ ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියෙකුට හිටියේ මං විතරයි. පියන් වැඩේ ඉඳන් ඔක්කොම කළේ මං. කිසි කෙනෙක් ආවේ නෑ බයට. පොලිසියේ අය හයදෙනෙක් හිටියා මගේ ආරක්ෂාවට. ලියාපදිංචි ඡන්ද තිබුණා දාහකට ආසන්න ප්‍රමාණයක්. ඡන්දෙ දාන්න දහදෙනෙක් ආවේ නෑ. ස්වාමින් වහන්සේනමක් ඇවිත් ඡන්ද මිටි මිටි දාන්න හැදුවා. ඒ කිසි දේකට මං ඉඩ දුන්නෙ නෑ. හැබැයි හැට ගණන්... හැත්තෑ ගණන් බොහෝම සාමකාමියි ඡන්ද. මේ මනාප පොරය ආවට පස්සෙ තමයි මැතිවරණ අවුල් වුණේ. ඒ් කාලෙ ඡන්දෙ දාන්න එන අය ගැන බොහොම සුපරික්ෂාවෙන් ඉන්න ඕන. දැන් වගේ නෙවෙයිනෙ. හැඳුනුම්පත නැතිවත් ඡන්දෙ දාන්න පුළුවන්නෙ.”
මැතිවරණයදා සිදු කරන රාජකාරිමය කටයුත්ත ගැන අත්දැකීම්ද විමලසිරි මහතා හෙළි කෙරිණි.
“සාමාන්‍යයෙන් අපිට ඡන්දෙට පෙර දින පන්තියක් පවත්වලා සියලු උපදෙස් දෙනවා. ඡන්දෙ දවසේ සෑම දෙයක්ම නිවැරැදිව එක් එක් අයට පවරපු රාජකාරිය කරනවා. ඡන්දෙ ඉවර වුණ ගමන් ඡන්ද පොළ නියෝජිතයෝ බලා සිටියදී පෙට්ටි ලාකඩ වලින් සීල් කරනවා. පහු කාලවල එක් එක් වර්ගයේ ස්ටිකර් එහෙමත් ඇලෙව්වා. අන්තිමට රාජකාරි නිලධාරින් රැගෙන යන්න බස් එනවා. එස්.පී.ඕ. යන වාහනේ ඡන්ද පෙට්ටි අරන් යනවා පොලිස් ආරක්ෂාව මැද්දෙ. ඒ කාලේ ඡන්දෙ ඉවර වෙනකොටම වගේ ඇඳිරි නීති දැමීම සාමාන්‍යයි. තේ එකක් වත් බොන්නවත් තැනක් නෑ.”
ඔහු සිය මැතිවරණ රාජකාරි දිවිය තුළදී ඡන්ද ගනින්නටද දහ පහළොස් වතාවක් එක්ව තිබේ.
“හය වෙනකොට ගණන් කරන මධ්‍යස්ථානයට යන්න ඕනෙ. හැබැයි කෑම කාලා නවයට විතර තමයි වැඩ පටන්ගන්නෙ. මුලින්ම බලන්නෙ එස්.පී.ඕ. පොත්වල සටහන් කරලා තිබෙන ප්‍රමාණයත් ඡන්ද පෙට්ටියේ තිබෙන ප්‍රමාණයත් සමාන වෙනවාද කියා. කණ්ඩායම් වශයෙන් දෙපාරක් විතර ඒක ගනිනවා. පස්සෙ ඡන්ද පෙට්ටි දහයක විතර ඡන්ද එක් විශාල පෙට්ටියකට දානවා. ඒ පෙට්ටියෙන් ටිකෙන් ටික සකස් කරලා තියෙන දිග මේසෙකට දාලා එක් එක් පක්ෂවලට වෙන් කරලා පනහේ මිටි බඳිනවා. ඒවා වෙන් වෙන්ව තබනවා. ඒ කාර්යය පාන්දර තුන හතර විතර වෙනකොට ඉවර වෙනවා. පස්සෙ ඒ පනහේ මිටි ගැනලා අවසන් ප්‍රතිඵලය කියනවා. ඊට පස්සෙ තමයි මනාප ගනින්නෙ. ඡන්දෙ ගණින වැඩෙත් හරිම විනෝදයි. හැබැයි පුදුම වෙහෙසකරයි. අන්තිමට ඔක්කොම වැඩ ඉවර වෙලා පහුවදා හවස් වෙනවා ගෙදර යන්න පිටත්වෙනකොට.”
මොනතරම් තාක්ෂණය දියුණු වුවත් මැතිවරණයකදී කිහිපදෙනෙකු විසින් අතින් ගණන් කිරීම තරම් නිවැරැදි ක්‍රමයක් තවම නැති බව අවසානයේ විමලසිරි මහතා අපට කීවේය.