
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ධුර කාලය නිමවා රාජ්‍ය නායකත්වයෙන් සමු ගෙන සිටියි. ඒ ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපතිවරයා ලෙස සිය නාමය ඉතිහාසයට එක් කිරීමෙන් ඉක්බිතිවය. 2015 ජනවාරි 08 වැනිදා මෙරට රාජ්‍ය නායකත්වයට පත් මෛත්‍රී ජනාධිපතිවරයා විසින්ම ඒ පිළිබඳ කරන ලද ආවර්ජනයක මෙසේ සටහන් වී තිබේ:
“2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයේදී මම උඩුගම්බලා පීනපු කෙනෙක්. එය මොනතරම් අභියෝගයක්ද කියලා එදා දේශපාලන ව්‍යාපාරයේ සිටි අයටත්, රටේ ජනතාවටත්, ඒ අවස්ථාවේ පැහැදිලි වුණා. ඒ අභියෝගය ජයග්‍රහණය කරලා හදපු ඒ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු අද ඇතැම් අයට අමතකයි; එහෙත් බොහෝ දෙනෙක්ට මතකයි. ඒ ආණ්ඩුව යම් ප්‍රමාණයකට යම් වැඩ කොටසක් කළා වගේම අනෙක් හවුල්කාරිත්ව පාර්ශ්වය මට කිසිසේත්ම අනුමත කළ නොහැකි රටට නොගැළපෙන දේ රාශියක් කළා. ඒ අන්ත ලිබරල්වාදය අපට ගැළපෙන්නේ නෑ. නව ලිබරල්වාදය රටට දේශපාලන හූනියමක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒත් මෙහිදී අප විසින් තේරුම් ගත යුතුයි, නිර්ප්‍රභූ ජනාධිපතිවරයකු වීම නිසා එවැනි සාධනීය මැදිහත්වීම් සඳහා නිසි ඇගයීම් මෙරටට ශාපයක් වී ඇති ප්‍රභූ දේශපාලන පන්තිය විසින් වළදමා තිබෙනවා. අප රට වෙළාගෙන පවතින පසුගාමිත්වයට පදනම සපයන්නේ ජනතාවගේ ඇස්වලට වැලිගස්වා, ජන ඇස හිරිවට්ටමින් සිදු කෙරෙන මේ ප්‍රභූ දේශපාලනයයි. එහි පදනම ජාවාරම්කාරිත්වයයි.” (-2019.09.03 දා, ශ්‍රීලනිප 68 වැනි සංවත්සර උලෙළ අමතා කළ කථාවෙනි)
මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද මේ ප්‍රකාශය නිසැකයෙන්ම ශ්‍රී ලංකාවේ නූතන දේශපාලනයේ අශ්ලීල ග්‍රාම්‍ය විලාශයත්, එය නඩත්තු කරන ප්‍රභූ දේශපාලන පන්තියේ නග්නත්වයත් අනාවරණය කරන්නකි. සැබැවින්ම එදා මෙරටේ බහුතර ජනතාව විසින් අපේක්ෂා කරන ලද අභිනව සමාජ දේශපාලන සංස්කෘතික විප්ලවයේ භාරකාරත්වය හිමි වූයේද මෛත්‍රී ජනාධිපතිවරයාටය. අපගේ අවබෝධය හා දැක්ම අනුව ඒ අභියෝගාත්මක මෙහෙවර සඳහා උචිත හා ප්රබලතම චරිතය වූයේද මෛත්‍රීය. ශ්‍රී ලංකාව නිදහසින් පසු භුක්ති විඳින ලද සමාජ දේශපාලන මහා ආර්ථික නිදහස අංගසම්පූර්ණ එකකැයි මම නොකියමි. එහෙත් අඩු-ලුහුඬුකම් මැද වුවද අපට යම් සමාජ වටිනාකම් හා සාරධර්ම පද්ධතියක් මත පදනම් වූ රටක ජීවත් වීමට අවකාශ තිබිණි. එහෙත් 1977දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මෙරට ඇති කළ අභිනව සමාජ ක්‍රමය මඟින් ඒ සියලු පෙරදිග සමාජ සංස්කෘතික වටිනාකම් බරපතළ අර්බුදයකට ඇදදමන ලද බව රහසක් නොවේ. විශේෂයෙන් ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමයත්, මනාප ඡන්ද ක්‍රමය හා ඒ සමඟ බද්ධ වූ ජාතික ලැයිස්තු ක්‍රමයත් ප්රජාතන්ත්රවාදි සළුපිළි හා අභරණ පලඳවන ලද ගර්හිත ක්‍රමයක් විය. ජයවර්ධන හඳුන්වා දුන් විධායකය නීතියට උඩින් තිබුණි. ඔහු සම්මත කළ ඡන්ද ක්‍රමය මහජන මතයේ විකෘතියක් මෙන්ම ජනතාවට හිමි වූ තම නියෝජිතයා තෝරාගැනීමේ බලය ව්‍යවස්ථානුකූලව මංකොල්ලකෑමක් විය. ජයවර්ධන මේ සියල්ල සිදු කළේ ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති ව්‍යාජ කඩතුරාවකට මුවා වෙමින්ය.
ජයවර්ධනගේ විධායක ක්‍රමයට ආරම්භයේ සිටම දැඩි දේශපාලන විවේචන, ජනතා අප්‍රසාද එල්ල වුවත් එය වෙනස් කිරීම සඳහා ක්‍රියාදාමයක් දියත් නොවීය. විධායක ක්‍රමයෙන් රටට සිදු වූ යහපතට වඩා අයහපත වැඩි බව පොදු පිළිගැනීමය. මෙහිලා අපට ඒ ගැන විමසුමක් කිරීමට අවකාශ මඳය. එහෙත් අපගේ විවේචනය වන්නේද ඒ බිහිසුණු ක්‍රමය ප්රජාතන්ත්රවාදී කතිරයෙන් නිර්මාණය කෙරෙන ඒකාධිපතියකු රටට ලබා දුන් බවය. මහජන අභිලාෂයන්ට උඩින් පැන හිතුවක්කාරව නැත හොත් අධිපතිවාදීව ක්‍රියා කිරීම් පිළිබඳ අපකීර්තිමත් වාර්තා ඒ ඒ විධායක ජනාධිපතිවරුන්ගේ පාලන කාල විමසා බලන කවරඑකුට වුව සොයාගත හැකිය. ඒ සියලු අමිහිරි මතක සටහන් සමග පීඩාකාරි හා දේශපාලන අඳුරක ගිලී සිටි සමාජයත්, ජනතාවත් ඉන් මුදාගැනීමේ යුගකාරක මෙහෙවර භාර වූයේ මෛත්‍රීපාල සිරිසේන නමැති දේශපාලනඥයාටය. මෛත්‍රී ඒ කාර්යභාරය සඳහා නිසි පිවිතුරු චරිතයකින් මෙන්ම දේශපාලන විඥානයකින්ද සපිරි නායකයෙක්ද විය.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු සාධාරණ සමාජයක් උදෙසා පෙළ ගැසෙමු’ යන තේමාවෙන් යුතුව ජනතාවට ආමන්ත්‍රණය කළ දිවංගත මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආශීර්වාදයද සමඟ ඒ අභියෝගය මෛත්‍රීට භාර වූයේ කිසියම් දෛවෝපගත හාස්කමක්ද සමඟයැයි මම අදත් කල්පනා කරමි. ඉහත සඳහන් කළ ආකාරයටම එය උඩුගම්බලා පිහිනීමක් වැන්න. එහෙත් ජනතාවගේ ඒ අපේක්ෂාව බොඳ වී ගියේ ඉහත සඳහන් කළ දේශපාලන ප්‍රභූ පන්තියත්, ඒ සටන් පාඨ අතට ගත් කපටි හා බටහිර ගැති අනුකාරක පිරිසකුත් නිසා බව අද රටම දන්නා රහසකි. මෛත්‍රී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් සහ ක්‍රියාකාරකම් ඵලදායි වී නම් මෙරට විධායක ජනාධිපතිධුරයද එතනින් අවසන් වීමට තිබිණි. එසේ නම් මෛත්‍රී ජනාධිපතිවරයා විධායක අසුනින් බැස යන්නේ අද මෙන් තවත් විධායක ජනාධිපතිවරයකුට සිය අසුන හිමි කර දී නොවේ. මේ ලියන මොහොත වන විට මෛත්‍රී බැස යන ඒ අසුනට එන්නේ කවරකුදැයි ප්‍රකාශයට පත්ව නොතිබිණි.
මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ජනතාව ඉදිරියේ තබන ලද ප්‍රතිඥාව ඉටු කරගත නොහැකි වුවද ඔහුගේ දේශපාලන මැදිහත්වීම් අපතේ ගිය බව කිව නොහැකිය. 19 වැනි සංශෝධනය එහි ප්‍රබල හා සාධනීය ප්රතිඵලයයි. 19 වැනි සංශෝධනය මඟින් මේ රටට අවශ්‍ය දේශපාලන ප්රජාතන්ත්රවාදී වෙනස්කම් ගණනාවක් අත් කරගත හැකි විය. ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය බාර වූයේ වංක, සටකපට හා පටු අරමුණු සහිත කල්ලියකට නොවී නම් එමඟින්ද මෙයට වඩා දේශපාලන ප්රතිලාභ රටට හිමි වීමට ඉඩ තිබිණි. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමාජ දේශපාලන අවුල් සමනය කිරීමට වඩා ඒවා උත්සන්න කිරීමට හේතු වූ බවද කාටත් පැහැදිලි වනු ඇත. කුමක් වුවත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ භූමිකාව ඔහුට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයකුට වඩා වෙනස් හා වඩාත් ප්රජාතන්ත්රවාදි ස්වරූපයක් ගත් බවද සඳහන් කළ යුතු ය. සවැනි විධායක ජනාධිපතිවරයාගේ භූමිකාව විමර්ශනය කිරීමද වෙනම කළ යුත්තකි. එහෙත් මෙහිලා ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් මට උපුටා දැක්විය හැකිය:
“මම මේ රටේ ප්රජාතන්ත්රවාදය සහතික කළා. ජනතාවගේ නිදහස සහතික කළා. ආණ්ඩුවේ කිසිම වෙඩිල්ලක්, දේශපාලන හේතුවක් හෝ පෞද්ගලික හේතුවක් මත රටේ පුරවැසියකුට පත්තු නොවූ එකම යුගය මගේ යුගය කියලා මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා. ගෙවල් ගිනි තිබ්බෙ නැහැ; මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ; ජනාධිපති ආරක්ෂක අංශය, හමුදාව මිනී මරන්න, වැරදි වැඩවලට යෙදෙව්වේ නැහැ. ඒ කිසිම චෝදනාවක් මගේ කාලයේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වාර්තාව පිහිටුවන්න මට පුළුවන්කම ලැබුණා.” (-ශ්‍රීලනිප 68 වන සංවත්සරයේදී කළ කථාවෙන්)
මේ ප්‍රකාශයේ එකම වැකියක් තබා අකුරක්, ඇලපිල්ලක්, කොමාවක් හෝ තිතක්වත් වැඩියැයි වැරදියැයි කිසිවෙකුට කිව නොහැකිය. සත්තකින්ම මෛත්‍රී ජනාධිපතිවරයාගේ හෘදයසාක්ෂිය එයයි. මෙරටේ ප්රජාතන්ත්රවාදය නිදහස, මනුෂ්‍යත්වය උදෙසා විශිෂ්ටතම කැපවීම කළ දේශපාලන නායකත්වයක අභිමානය ඔහුට හිමි විය යුතුය. විධායක ක්‍රමය බහුබූතයකැයි සමහරු කීහ. එය රටේ සියලු සාරධර්ම ගසාගෙන යන සැඬපහරකැයි තවත් සමහරු කීහ. එහෙත් එය මුළුමනින්ම අහෝසි කළ නොහැකි වුවද එයට සැබෑ මානුෂික හා ප්රජාතන්ත්රවාදි මුහුණුවරක් අත කර දීමට මෛත්‍රී ජනාධිපතිවරයාට හැකි විය.
දේශපාලනය යනු බලය කේන්ද්‍ර කරගත් මෙහෙයුමකට වඩා නිදහස හා ප්රජාතන්ත්රවාදි අවකාශය පුළුල් කිරීමක් බව මෛත්‍රී ජනාධිපතිවරයා නිවැරදිව තේරුම් ගෙන සිටියෙකි. එහෙත් මෙරටේ කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලන පන්තියට ගම්දොරින් පැමිණි මේ ගැමි ප්‍රභවයක් සහිත ජන නායකයා හිසරදයක් විය. මෛත්‍රී විසින් ශ්‍රීලනිපයේ කණ්ඩායමක්ද සමඟ ගොඩනඟන ලද යහපාලන ආණ්ඩුවට ඉදිරි ගමනක් නොවූයේද ඒ අභ්‍යන්තර ගැටුම් නිසාමය.
ප්‍රංස විප්ලවයෙන් ඇරඹී ඇමෙරිකාව ඇතුළු යුරෝපය පුරා පැතිර ගිය ප්රජාතන්ත්රවාදී විප්ලවයේ මූලික අංග මෙරටේ සංස්කෘතිය හා සමාජ සාරධර්ම සමග මුසු කළ යුතුය යන ස්වදේශීය චින්තනයක් මෛත්‍රී ජනාධිපතිවරයා සතු විය. බටහිරට ළැදි වටිනාකම් ප්‍රතික්ෂේප කිරීමට මෛත්‍රී නායකත්වය දුන් ආණ්ඩුව එකඟ නොවීය. බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය නොරිසි ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද මෛත්‍රී ජනාධිපතිවරයා දෙස බැලුවේ වපරැසිනි. මිනිස් අයිතිවාසිකම්, සමානත්වය ආදි සංකල්ප මත නීතිය හා අධිකරණය ශක්තිමත් කිරීම සමගම බෞද්ධ සංස්කෘතික බැඳීම් ඉවත ලීම ඒ ආණ්ඩුව තුළම සිටි සමහරුන්ගේ අභිලාෂය විය. අපේ ව්‍යවස්ථාමය අර්බුදය ළිහාගැනීම ප්රජාතන්ත්රවාදි සංකල්ප මෙන්ම බෞද්ධ සංස්කෘතික වටිනාකම්ද ඔස්සේ සිදු විය යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා තේරුම්ගෙන සිටියේය. මේ රටේ නීතියේ කඩාවැටීම පාලකයන්ගේ වගකීම් පැහැරහැරීමක් ලෙස අර්ථකථනය කෙරේ. ඉබාගාතේ යන පාලනයක් ගෙන යෑමට විධායක ක්‍රමයෙන් ලැබුණු අනුබලයද බොහෝ විය. මෛත්‍රී සමඟ සිටි එජාපයේ වූයේ මෙරටේ අනාදිමත් කාලයක් ගෞරවයට පාත්‍ර වූ වටිනාකම් ඉවත දැමිය යුතුය යන ආකල්පයකි. අපගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් ගැන හෝ සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් ගැන හෝ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් බැරෑරුම් ලෙස තැකීමක් නොකළහ.
මෛත්‍රී ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර වූ බරපතළ ගැටුමට හේතු වූයේද ඒ ආකල්පමය වෙනසය. මෛත්‍රී ජනාධිපතිවරයා පසුගිය දිනක පොලොන්නරුවේදී ප්‍රකාශ කර තිබුණේ පිබිදෙමු පොලොන්නරුව මඟින් සාර්ථක ජයග්‍රහණ තම ජනතාවට අත කර දිය හැකි වූයේ එහිදී තම ක්‍රියාදාමයට එකාවන්ව සියලු නිලධාරීන්, ආයතන මෙන්ම ජනතාවගේද සහාය හිමි වීම නිසා බවත්, එබඳු අනුග්‍රහයක් ආණ්ඩුවෙනුත් තමාට හිමි වූයේ නම් අද මේ රටට මීට වඩා වෙනස් හා සංවර්ධනාත්මක ප්රතිලාභ අත් කර දීමට තමාට හැකි වන බවත්ය. තමන් නායකත්වය දරන කැබිනට් මණ්ඩලය සමග එකඟතාවකින් තොරව ක්‍රියා කිරීමට සිදු වීමේ අමිහිරි අත්දැකීම් මෛත්‍රී ජනාධිපතිවරයාගේ මුවින්ද බොහෝ විට ප්‍රකාශ වී තිබේ. දසක හතක් මුළුල්ලේ මෙරටේ දිගින් දිගටම ක්‍රියාත්මක වී ඇත්තේ කොල්ලකාරි හා වංචනික වූ ඊනියා සංවර්ධන සැලසුම් බව ඔහු ප්‍රසිද්ධියේම කියයි. නිවැරදි දේශපාලන දෘෂ්ටියක් නැති වල්මත් වූ දේශපාලන ගමනක් යන රටක් ලෙස ඔහු මේ රට හඳුන්වයි. ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන ජාලයම ව්‍යාකුල බව ඔහුගේ අදහස විය.
මෛත්‍රී නිරන්තරයෙන්ම අවධාරණය කළේ අපට අවශ්‍ය හරිත ආර්ථිකයක් බවයි. තාක්ෂණය හා නවීන විද්‍යාව රටට අවශ්‍යය. තිරසර සංවර්ධනය සඳහා අපේ ගම හා ග්‍රාමීය ආර්ථිකයද හඳුනාගත යුතු බව ඔහු පිළිගනී. මෛත්‍රීගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදු වන්නේද පොලොන්නරුව වැනි රජරට ජනතාවගේ ප්‍රාර්ථනා සමඟය. වැවත්, ගමත්, කුඹුරත් සමඟ බැඳුණු ආර්ථිකයකට උඩින් පැන යෑමට ඔහු කිසිවිටෙක රිසි නොවූයේද ඒ පසුබිමේය. අපට හැඟෙන පරිදි වාරි තාක්ෂණය සමඟ නවීන සංවර්ධනය මුසු කිරීමට කැප වූ නූතන රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉදිරියෙන්ම සිටියි. මොරගහකන්ද-කළුගඟ වැනි විස්මිත ජල නිමැවුම් ඒ චින්තනයෙන් දැයට හිමි වූ ජයග්‍රහණ ලෙස හැඳින්විය හැකිය. පිබිදෙන පොලොන්නරුවට අමතරව ග්රාමශක්ති වැනි සාධනීය සැලසුම්ද ඔහු රටට ඉදිරිපත් කර ඇත. සංවර්ධනය යනු අහස පීරන ගොඩනැඟිලි, සුඛෝපභෝගි වාහන ඇතුළු සංචාරක ආකර්ෂණය පමණක් නොවන බව මෛත්‍රීගේ ආර්ථික දැක්ම වේ. මොරගහකන්ද-කළුගඟ ජල ව්‍යාපෘති සමග ඉදි වූ ලග්ගල, අඹන වැනි හරිත නගර අද ජනතාවට ලැබී තිබෙන්නේද එහි ප්‍රතිඵල වශයෙනි. බෞද්ධ හා හින්දු යන ආගම් දෙකම ජලය හා බැඳී පවතී. ජලය සුරැකීම ඒ ආගමික සංස්කෘතියෙන් ඉගැන්වූ ධර්මතාවකි.
මෛත්‍රී ඒ වාරි සංස්කෘතියට මෙන්ම ජලය හා පරිසර සංරක්ෂණයට ප්‍රමුඛතාව දෙන නායකයෙකි. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය හා සභ්‍යත්වය සමග බැඳුණු වැවත්, නිල් දියවරත්, අපේ උරුමය බව රජරටින් මතු වූ මේ ගැමි නායකයා වටහාගෙන සිටියි. රජරට ගොවි ජනතාව වෙනුවෙන් සිය දේශපාලන න්‍යාය පත්‍රයේද විශාල අවකාශයක් ඔහු වෙන් කර තිබේ. මහාවංශයට අනුව මහා වැව් හා දාගැබ් බැඳි ජනතාවක් මේ බිමෙහි මුල් උරුමක්කාරයෝ වූහ. මෛත්‍රී ඒ උරුමය සමග රාජ්‍ය නායකත්වය වෙත පිය නැඟූ ප්‍රථම පොදු ජන නායකයාය. පිබිදෙන පොලොන්නරුව, ග්රාමශක්ති වැනි සාධනීය සැලසුම් තම ජීවිතයේ කොටසක් බඳු පොලොන්නරුවත්, රජරට ගොවි නෑයනුත්, ගැමි මිතුරනුත් වෙනුවෙන් ඔහු විසින් දෙන ලද තිළිණ ලෙස හැඳින්වීම වටී. සැබැවින්ම ඔහුට අවශ්‍ය වූයේ පොලොන්නරුවට ඒ අතීත සිරිසර කැඳවීමටය.
මෛත්‍රී සිය ධුරයෙන් නික්ම යන්නේ මෙරටේ සමාජ, දේශපාලන, සංස්කෘතික මෙන්ම ආගමික ක්ෂේත්රවලටද අගනා සම්ප්රදානයන් එක් කරමිනි. ඒ සියල්ල මෙහිදී විස්තර කිරීම අසීරුය. එහෙත් ඔහුගේ ප්‍රමුඛ කාර්ය අතර මතින් තොර රටක් බිහි කිරීම, රජරට ප්‍රමුඛ ජන ජීවිතයට ශාපයක් බඳු වූ වකුගඩු රකුසා මර්දනය, පාසල් දරුවන් ඉලක්ක කරගත් විශේෂ ව්‍යාපෘති මඟින් ඒ දරුවන්ගේ ජීවිත සුපුෂ්පිත කිරීම, වසවිසෙන් තොර දේශීය ආහාර ජනප්‍රිය කිරීම දැකගත හැකිය. පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් බක්මහ දිවුරුම මේ වැඩපිළිවෙළෙහි විශිෂ්ට පියවරක් ලෙස දැක්වීම වටී. මෛත්‍රී ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරම්කරුවනට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ විවාදාත්මක නිගමනයටද එළඹිණි. ඒ වෙනුවෙන් ඔහු ලද අවමන් ගැරහුම්ද බොහෝය.
මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ඉටු කරන ලද ආගමික හා සංස්කෘතික මෙහෙවරද සුළුපටු නොවේ. මාතලේ අලුවිහාරයේදී කරන ලද ධර්ම සංගායනාවේ සඳහන් ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කිරීම සඳහා විද්වත් පැවිදි-ගිහි බෞද්ධ වියතුන්ගේ උපදෙස් අනුව ඒවා ග්‍රන්ථාරූඪ කිරීමත්, ඉක්බිති ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ක්‍රියා කිරීමත් විශේෂයෙන් දැක්විය යුතුය. මෙය උතුම් ත්‍රිපිටක ධර්මය සමස්ත ලෝකයේ බොදු හා නොබොදු සියලු ජනතාවගේම ප්‍රසාදයට බුහුමනට පාත්‍ර වන උතුම් සේවාවකි. නිර්මල බුදුදහම ආරක්ෂා වීම ද එයින් සිදුවේ. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ගැසට් නිවේදනයක් මඟින් නම් කරන ලද අපේ ජාතික වීරවරයන්ට රාජ්‍ය ගෞරවය පිරිනමා ඔවුන්ට වීරාභිදානය ලබා දීමද මෛත්‍රී ජනාධිපතිවරයාගේ අගනා ජාතික මෙහෙවරකි.
මෛත්‍රී රාජ්‍ය නායකයා ලෙස අන්තර්ජාතික තලයේ සිදු කළ ප්‍රබල මෙහෙවර ලෙස හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් දේශපාලන සමාජ අවකාශයේ රැඳවූ විකෘති හා අවලස්සන චිත්‍රය වෙනස් කිරීමය. යුද අපරාධ අවලාද, මානව හිමිකම් නොතැකීම වැනි චෝදනා අපට එල්ල ව තිබිණි. ඒවා විනිශ්චය කිරීම සඳහා විදේශීය යන්ත්‍රණයක් අවශ්‍ය බවට තිබුණු මතවාදය ප්‍රතික්ෂේප කිරීමටද මෛත්‍රී ජනාධිපතිවරයා සමත් වීම විශේෂ ජයග්‍රහණයකි. මන්ද යත්: මේ ආණ්ඩුවේම එකඟතාව මත අපට මානව හිමිකම් චෝදනා පිළිගැනීමට සිදුව තිබිණි. එහෙත් මෛත්‍රී තිරසරවම කියා සිටියේ යුද අපරාධ, මානව හිමිකම් කඩවීම මේ රට තුළ විනිසුරුවන් විසින්ම විභාග කළ යුතු බවය; අපට විදේශ මැදිහත්වීම් අනවශ්‍ය බවය. රාජ්‍ය නායකයකු ලෙස රටේ ස්වාධීනත්වය පාවාදීමට ඔහු කිසි සේත් එකඟ නොවීය. මේ අතර ආණ්ඩුව විසින් සම්මත කිරීමට අපේක්ෂා කළ විදේශ ගිවිසුම් සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකයා ලෙස ඔහු විවිධ මැදිහත්වීම් කළ බවද සඳහන් කළ යුතුය. තමන් නායකත්වය දරන ආණ්ඩුවේ දූෂිත හා නාස්තිකාර ක්‍රියාකාරකම් ඇතුළු මතභේදාත්මක සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට තරම් ඔහු නිර්භය විය. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ චෞර කුලකය ඔහුට සතුරු වී සිටිති.
මෛත්‍රී ජනාධිපති ධුරයෙන් නික්ම ගියත් සිය සමාජ දේශපාලන ක්‍රියාන්විතයේ දිගටම රැඳී සිටිනු ඇත. ශ්‍රීලනිපයේ සභාපති ලෙස ඔහුට හිමිව තිබෙන වගකීම් හා දේශපාලන පැවරුම්ද බොහෝය. නිවැරදි දේශපාලන දැක්මක් ඔස්සේ මේ රට මෙහෙයවීමේ අභියෝගය ඔහු උර මත දරා සිටියි. ජාතික හා ප්රගතිශීලි දේශපාලන කඳවුරේ ඔහුගේ සාධනීය මැදිහත් වීම් හෙට දවසේ සිදු වනු ඇත. අපට, රටට අවශ්‍ය වූ ප්රජාතන්ත්රවාදි ප්‍රතිසංස්කරණ නිම වී නැත. යහපත් උතුම් සාරධර්ම මත පදනම් වූ සමාජයක් අපට උදා කරදීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද කැප වීම් අප අගය කළ යුතුය. දේශපාලනය යනු ගඟක් මෙන් ගලා බසින ගමනකි. ඒ ගමන අතරමඟ නවාතැන්පොළක නතර වන්නක් නොවේ. උත්තර සමජයක් සඳහා කැප විය හැකි යහපත් දේශපාලනඥයන් රටට අවශ්‍යය. එය ඒකපුද්ගල හිමිකාරිත්වයක්ද නොවේ. අපට මහාත්ම ගාන්ධි තුමන්, නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ටයන් මුණ නොගැසෙනු ඇත. එහෙත් අපට අපේ කලාපය තුළ ඒ විශිෂ්ට මිනිසුන්ගේ ආකර්ෂණය ලද මිනිසුන් ස්වල්ප දෙනෙක් හෝ සිටිති. මෛත්‍රී ජනාධිපතිවරයාත් ඒ ස්වල්ප දෙනා අතර සිටින බව සඳහන් කළ යුතුය.