
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කවුරුත් දන්නා කරුණා අම්මාන් යනු එල්ටීටීඊයේ දෙවැන්නාය. දෙමළ විමුක්ති කොටින් සතුව සිටි ප්‍රධානම සෙන්පතියා ය. 2004 මැයි මාසයේදී කරුණා අම්මාන්, කොටි සංවිධානයෙන් වෙන් වී යෑම යුද විශ්ලේෂකයන් හඳුන්වන්නේ එල්ටීටීයේ පරාජයට බලපෑ ප්‍රධාන ම හේතුවක් ලෙසිනි. එය එල්ටීටීඊයේ පිරිස් බලය දිය කර හැරියා පමණක් නොව ඔවුන්ගේ සටන් උපක්‍රම රජයේ හමුදා අතට පත් වීමටත් බලපෑ බව නොරහසකි.
අනතර්ජාතික සංවිධාන හා සිවිල් ආරක්ෂාව (International Organizations and Civilian Protection) යන කෘතිය ලියූ ශ්‍රීරාම් චෝලියා, තම කෘතියෙන් පෙන්වා දී තිබුණේ එවකට කරුණා අම්මාන් සහ ඔහුගේ ගෝලයා වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් එක්ව පිහිටුවාගෙන තිබුණු ටී.එම්.වී.පී පක්ෂයට යුද ගැටුම් පැවති ප්‍රදේශ තුළ සිවිල් ජනතාවට අඩන්තේට්ටම් කරමින් සිත් සේ කටයුතු කිරීමේ අවස්ථාව එවක රජය සලසා දී තිබූ බවකි.
කෙටි කලෙකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස තනතුරු ලද ඔහු අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු බවට ද පත් වූයේ දෙමළ දේශපාලනයේ අලුත්ම චරිතය බවට පත් වෙමිනි. එහෙත් යහපාලන රජය බලයට පිවිසීමත් සමඟ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් නිසා වරක් රිමාන්ඩ් භාරයට ද පත් වූ ඔහු ඉන් අනතුරුව විවෘත දේශපාලනය තුළ දක්නට ලැබුණේ නැත.
ඉකුත් අගෝස්තුවේදී ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වීමත් සමඟ නැවත කරළියට පැමිණි හෙතෙම මේ දිනවල ගෝඨාභය දිනවීමේ වැඩපිළිවෙළේ පුරෝගාමියෙකි. මේ ඔහු සමඟ සිළුමිණ කළ සංවාදයකි.
• ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. කොහොමද ඡන්දයට තිබෙන සූදානම?
අපි මේ වන විට ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරගෙන යනවා. අපේ රටට අවශ්‍ය වන්නේ ශක්තිමත් නායකත්වයක්. ඒ නිසා තමයි අපේ පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වුණේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළේ. මෙදා පාර ජනාධිපතිවරණයේදී වැඩි දෙමළ ඡන්ද ප්‍රමාණයක් රාජපක්ෂ මහතාට හිමි වේවි.
• ඇයි ගෝඨාභය රාජපක්ෂට ම සහාය දක්වන්න තීරණය කළේ?
වර්තමාන රජය යටතේ රටේ ආර්ථිකය ගොඩක් දුර්වල වුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ආර්ථික සංවර්ධනයක් සිදු වුණේම නැහැ. දෙවැනියට රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා තමයි අප්‍රේල් 21 වැනිදා අයිඑස් අයිඑස් ප්‍රහාරයකට ලංකාව මුහුණ දුන්නෙ.
• ඔබ මහින්ද රාජපක්ෂ රජයේත් සක්‍රීයව සිටි කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ ගෝඨාභය රාජපක්ෂගේ මහතාගේ නායකත්වය අතර, ක්‍රියාකාරීත්වය තුළ ඔබ යම් වෙනසක් දකිනවාද?
නැහැ කිසිම වෙනසක් නැහැ. අනෙක, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව අගමැති ධුරයට පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා කිසි වෙනසක් හෝ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. එදා වගේම සංවර්ධන කටයුතු කරන්න පුළුවන් වේවි. ඒ නිසා තමයි මම කිසිම වේලාවක මහින්ද රාජපක්ෂ මහතා ගාවින් ඉවත් නොවුණෙත්. ඔහු ශක්තිමත් නායකයෙක්. ඒකයි යුද්ධයෙන් පස්සේ ඔහුගේ පාලන කාලයේ කිසිම සිද්ධියක් ඇති නොවුණෙත්.
• ඔබ එල්ටීටීයේ කර්නල්වරයෙකුව සිටියදී කලක් ගෝඨාභය රාජපක්ෂත් යුද හමුදාවේ කර්නල්වරයෙකුව හිටියා. ඔබට කර්නල් ගෝඨාභය ගැන ඇත්තේ කවර මතකයක්ද?
ඒ කාලයේ ඔහු ඉතාම විනයගරුක හමුදා නිලධාරියෙක්. මට මතක හැටියට ඔහු එවකට සන්නිවේදන කටයුතු භාරව හිටියා.
• ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගියදා ඔබට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කළා. ඔබ ඇතුළු පිරිසක් උතුරු නැගෙනහිර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට ඔවුන් කරුණු වාර්තා කරලා තිබුණා?
ඔය වගේ චෝදනා කරන්නේ තමන් පරාද වෙන බව ඔවුන් දන්නා නිසායි. හැබැයි අපිට ඒ විදිහට ප්රචණ්ඩ ක්‍රියා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මුස්ලිම් කොංග්‍රසය සහාය දක්වන අපේක්ෂකයාට ඡන්දය දැමීමට මිනිස්සුන්ට අවශ්‍ය නම් අපිට ඒක නවත්වන්න වුවමනාවක් නැහැ. හැබැයි ජනතාව අවබෝධ කරගත යුතු ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි, සියලුම ජාතිවාදී මුස්ලිම් නායකයන් හිටගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟයි. මේ මුස්ලිම් නායකයන් නිසා අපි නැගෙනහිර පළාතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා.
අපිට නැගෙනහිර පළාතට දෙමළ ආණ්ඩුකාරවරයෙක් අවශ්‍යයි. දෙමළ මහ ඇමැතිවරයෙක් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ගෝඨාභයට සහාය දැක්විය යුත්තේ. සියලුම මුස්ලිම් නායකයන් සජිත් ප්‍රේමදාස සමඟ ඉන්න එක අපිට අනතුරුදායකයි.
• හැබැයි ඒ.එම්.එල්.ඒ. හිස්බුල්ලා සහාය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂට නේද? ඔහු තමන්ට ඡන්ද දෙන ජනතාවගෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය ගෝඨාභයට දෙන ලෙස ප්‍රකාශ කරනවා නේද?
ඒක බොරු කතාවක්. එයා වෙනම තරග කරන කෙනෙක්. එයත් නැගෙනහිර මිනිස්සුන්ට ගොඩක් වැරැදි කරපු කෙනෙක්.
• සිංහල සමාජය තුළ ඔබ කෙරෙහි බරපතළ විරෝධයක් පවතිනවා. අරන්තලාවේ භික්ෂු ඝාතනයත් අම්පාරේදී පොලිස් නිලධාරීන් 600ක් වධදී මරා දැමීම ගැනත් ඔබට චෝදනා එල්ල වෙනවා...
මුලින්ම කියන්න අවශ්‍යයි මම කවදාවත් ඒ වගේ දේවල්වල නිරත වුණේ නැහැ. ඒ දේවල් යුද්ධය අතරතුර ඇති වුණු සිදුවීම්. හැබැයි මම ඒවට සම්බන්ධ නැහැ. අතීතය අයිති අතීතයටයි. ගොඩක් දෙමළ මිනිස්සු, සිංහල මිනිස්සු, එල්ටීටීඊයේ අය, හමුදාවේ අය මරණයට පත් වුණා. ඒ විදිහට ගොඩක් සිදු වීම් ඒ කාලෙ සිද්ධ වුණා. අපි දැන් ඒවා ගැන කතා කරන්නේ නැහැ.
• කොටි ත්රස්තවාදීන් නැවතත් ඉස්මතු වෙන බවට විවිධ කටකතා පවතිනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
ගෝඨාභයවත් මාවත් මරන්න සූදානමින් හිටි මිනිස්සු දෙන්නෙක් සීඅයිඩීය අල්ලලා තිබුණා. හැබැයි මේ මැතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ රට තුළ හොඳ ආරක්ෂාවක් නිර්මාණය කරන්න අපිට පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන්නේ හමුදා පසුබිමක්. මේජර් ජනරල් කමල් ගුණරත්න, අද්මිරාල් සරත් වීරසේකර වගේම හිටපු එල්ටීටීඊ සෙන්පතියෙක් වන ඔබ වැනි අයත් ගෝඨාභය රාජපක්ෂ වටා සිටිනවා. මේ විදිහට හමුදා පසුබිමක් තියෙන පිරිස් ගෝඨාභය වටා එක් වීම විශේෂත්වයක් නොවෙයිද?
ඒක කාටවත් වද වෙන්න හේතුවක් නොවෙයි. උදාහරණයකට ට්‍රම්ප් ජනාධිපතිවරණය දිනද්දි අමෙරිකාවේ ගොඩක් හමුදා ප්‍රධානීන් ඔහුට සහාය දැක්වූවා. ඔහුගේ උප ජනාධිපති පවා හිටපු හමුදා ප්‍රධානියෙක්. ඒ වගේම ලංකාවේත් හමුදා නිලධාරීන් ගෝඨාභයට සහාය දක්වනවා. එහෙම වුණා කියලා ඒකාධිපති පාලනයක් ඒවි කියලා බයවෙන්න ඕනෙ නෑ.
• දෙමළ දේශපාලනඥයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ ඔබ දකින ආකර්ෂණීයම ප්‍රතිපත්තිය කුමක්ද?
අපිට මුලින්ම අවශ්‍ය වන්නේ ඉඩම් බලය ලබාගැනීමයි. ඊට සමගාමීව යම් පොලිස් බලතල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පළාත්වලට අවශ්‍යයි.
මොකද දෙමළ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශවලට පත් කළ යුතුයි. ඊළඟට දේශපාලන සිරකරුන් නිදහස් කරගත යුතුයි.
දැනට ඒ විදිහේ දේශපාලන සිරකරුවක් 124ක් ඉන්නවා. ගෝඨාභයගේ ජයග්රහණයෙන් පසුව මේ පිරිස් නිදහස් කරගත යුතුයි. මම ඒ පිළිබඳව පෞද්ගලිකවම ඔහුට ඉල්ලීමක් කරලා තියෙනවා.
• යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වුණු අවස්ථාවේදී විමල් වීරවංශ ඇතුළු ඔබ නියෝජනය කරන පිලේම දේශපාලනඥයන් ගුවන් තොටුපොළ් නාම පුවරුවේ සිංහල නමට ඉහළින් දෙමළ නම සඳහන් වීම ගැන විරෝධය පළ කළා. ඒ වගේ දේශපාලන කඳවුරකින් දෙමළ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
අපි ගෝඨාභයට සහාය දැක්වූවාට සෑම විටම දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා.
මේ වෙලාවේ දෙමළ ජනතාවත් ගෝඨාට සහාය දක්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ වේලාවක මේ වගේ අන්තවාදී කතාබහෙන් සියලු දේශපාලනඥයන් වැළකී සිටිය යුතුයි.