
ස්ථාවර ආණ්ඩුවක් නොතිබීම යනු රටක් දේශපාලන වශයෙන් අසථාවර වීමට බලපාන කරුණු අතර ප්‍රධාන තැනක් ගන්නා හේතුවකි. රටක ආණ්ඩුවක් ස්ථාවර නොවීමට එයට ශක්තිමත් බහුතරයක් නොවීමද විශාල හේතුවක් වේ. ආණ්ඩුවකට ශක්තිමත් බහුතරයක් නොවීමෙන් සෙසු සුළු පක්ෂ සමග සන්ධාන ගත වීම යනු කොයි මොහොතේ ඇද වැටේදැයි අවිනිශ්චිතව පසුවීමට මුලපිරීමය. අනික් අතට සන්ධාන ගත වීමේදී කිසිදිනක තනිවම ආණ්ඩුවක් පිහිටවීමට හැකියාවක් නොමැති පක්ෂවලට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට සිදුවීම අගමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු මුහුණ දෙන ඉතා අප්‍රසන්න සිදුවීමක් ලෙස දැක්විය හැකිය.
මේ වන විට මේ අප්‍රසන්න සිදුවීමට මුහුණ දෙමින් සිටින්නේ කැනඩාවේ තරුණ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝය. පසුගිය සඳුදා පැවති මහමැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ ටෘෘඩෝ මේ වන විට සුළු පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් සන්ධාන ගත වීම කෙරෙහි අවධානය යොමු කර සිටින්නේය.
![]() |
ජග්මීත් සිං |
ඉතා තරුණ වියේ පසුවන ජස්ටින් ටෘෘඩෝ අතට කැනඩාවේ පාලනය බාර වීමත් සමගම එරට ජනතාව වඩා සුබවාදී බලාපොරොත්තු තබා ගත්හ. ස්වකීය ප්‍රථම ධූර කාලය සඳහා කැනඩා ජනතාව ටෘෘඩෝට කැනඩාව බාර දුන්නේ කිසිඳු සැකයකින් තොර විශාල බහුතර බලයක්ද ලබා දෙමිනි. එහෙත් ස්වකීය පාලන කාලය තුළ ජනතා විශ්වාසය දිනා ගන්නවාට වඩා යම් යම් සිදුවීම් මගින් ජනතා විශ්වාසය පලුදු කර ගැනීමට ටෘෘඩෝ කටයුතු කර ඇති බව පෙනී ගියේය. ඒ සඳහා හොඳම සාක්ෂිය වන්නේ මේ මැතිවරණ ප්රතිඵලයයි. එහෙත් තරුණ සහ ආකර්ෂණීය බව හේතුවෙන්ම සාම්ප්‍රදායික දේශපාලනඥයකුට වඩා වෙනස්කම් දැක්වූ ටෘෘඩෝ සම්පූර්ණයෙන් පිටු දැකීමට කැනඩා ජනතාවට නොහැකි ව තිබුණි.
එහි අතුරු ප්‍රතිඵලය වී ඇත්තේ ටෘෘඩෝට සන්ධාන ගත වීමට සුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සිදුවීමය.
කැනඩා පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 338කි. එහි බහුතරය ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටවීමට නම් ආසන 170කට වැඩියෙන් ජයග්‍රහණය කළ යුතුය. එහෙත් මෙවර ටෘෘඩෝගේ ලිබරල් පක්ෂයට ජය ගැනීමට හැකියාව ලැබුණේ ආසන 157ක් පමණි. ස්වකීය ප්‍රථම ධූරකාලය සඳහා බලය ඉල්ලු අවස්ථාවේදී ටෘෘඩෝට කැනඩා ජනතාව ආසන 177ක් ලබා දී තිබිණ. ඒ අනුව මෙවර ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ කැනඩා ජනතාව ටෘෘඩෝ සමග හිත නොහොඳින් පසුවන බවකි. ඒ ඔවුන් ඔහුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමටද ජනතාව කටයුතු කර නැති බැවිනි.
ටෘෘඩෝ කෙරෙහි කැනඩා ජනතාවගේ ආකර්ෂණය අහිමි වීමට ප්‍රධාන හේතු කිහිපයක් බටහිර මාධ්‍ය පිරික්සා බලන විට හඳුනාගත හැකිය. ඒ අතරින් ප්‍රධාන කරුණ වන්නේ ඔහු ඉන්දියාවේ සංචාරය කරමින් කටයුතු කළ ආකාරයයි. එය තරමක් පුදුම උපදවන හේතුවක් වුවද බොහෝ කැනඩා ජනතාව ටෘෘඩෝ සහ ඔහුගේ දරුපවුල ඉන්දියාවේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ස්වකීය අප්‍රසාදය පළ කර තිබිණි. ටෘෘඩෝ පසුගිය වසරේදී ස්වකීය දරු තිදෙනා සහ බිරිය සමග ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඉන්දීය සම්ප්‍රදායන්ට ගරු කරමින් සම්පූර්ණ ටෘෘඩෝ පවුලම ඉන්දියානු ඇඳුමින් සැරසීමට සහ ඉන්දියානු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටද කටයුතු කළහ. එහෙත් පුදුමයකට මෙන් කැනඩා ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයට පත්ව තිබිණි. තව දුරටත් සෞදි අරාබිය සමග ඉදිරියට ගෙන යෑමට තීරණය වූ තෙල් නල එලීමේ ව්‍යාපෘතියක් මෙන්ම තවත් කරුණු කිහිපයක්ද ටෘෘඩෝට එරෙහිව ජනමතය වෙනස් කිරීමට දායක වූ නමුදු මුල් තැන ගෙන තිබුණේ ටෘෘඩෝගේ ඉන්දියානු ගමනය.
එහෙත් මේ වන විට ටෘෘඩෝට නව රජය පිහිටුවීමට සහයවීමට ඉදිරිපත්ව සිටින්නේද ඉන්දියානුවෙකි. ඒ එරට නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජග්මීත් සිං ය. මේ ගෙවී යන මොහොත වන විටත් කැනඩාවේ රජුන් තනන්නා ඉන්දීය සම්භවයක් සහිත ජග්මීත් සිං ය.
ටෘෘඩෝගේ ලිබරල් පක්ෂයට පසුව කන්සර්වටිව් පක්ෂය මැතිවරණයෙන් දෙවැනි තැන වාර්තා කරමින් ආසන 121ක් ලබා ගන්නාවිට, බ්ලොක් ක්විබෙකොයිස් පක්ෂයට ආසන 32ක්ද, නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ආසන 24ක්ද කැනඩා හරිත පක්ෂය ආසන 3ක්ද ස්වාධීනව එක් ආසනයක්ද යනුවෙන් මෙවර කැනඩා මහමැතිවරණයේ ජයග්‍රහණ බෙදී ගොස් තිබේ.
![]() |
ටෘෘඩෝ පවුල ඉන්දියාවේදී |
මේ ප්‍රතිඵලයත් සමග පෙර සඳහන් කළ පරිදි ටෘෘඩෝට යළි ආණ්ඩුවක් පිහිටුවීමට සුළු පක්ෂවල සහය ඉල්ලීමට සිදුවූ අතර ඒ සමගින් වැඩිම අවධානය යොමු වූයේ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජග්මීත් සිං වෙතය.
ජග්මීත් සිං යනු ඉන්දියාවෙන් කැනඩාවට පැමිණ පුරවැසිභාවය ලබා ගත් ඉන්දීය යුවළකගේ දරුවෙකි. ඔහුගේ මව වන හර්මිටී කූර් සහ පියා වන ජග්තරාන් සිං යනු ඉන්දියාවේ පන්ජාබයේ සිට කැනඩාවට සංක්‍රමණය වූවන් ය. ජග්මීත් සිං 1979 වසරේදී කැනඩාවේ උපත ලබන අතර ඒ අනුව ඔහු ඉන්දීය සම්භවයක් සහිත කැනඩා ජාතිකයකු වේ. සැබැවින්ම ජග්මිත් සිං යනු කැනඩාවද ප්‍රමුඛ යුරෝපා සහ බටහිර රටවල් මේ වන විට මුහුණ දී සිටින සංකමණික ප්‍රශ්නයේ නවතම මුහුණුවරකි. දශක කිහිපයක් තිස්සේ ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් බටහිරට සංක්‍රමණය වූ ජනතාවගේ දෙවැනි සහ තුන්වැනි පරම්පරා මේ වන විට වර්ධනය වී එම රටවල පාලන තන්ත්රයන්ට බලපෑම් කරන චරිත බවට පත්ව තිබේ. බලයට පත්වීම සඳහා ජනවරමක් ඉල්ලමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන්ගේ අවධානය යොමු කර සිටියේද ස්වදේශිකයන් අතික්‍රමණය කරමින් ගොඩනැගෙන සංක්‍රමණික තර්ජනය කෙරෙහිය. එම මතවාදය ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අසුන වෙත ගෙන ඒමට බෙහෙවින් බලපෑවේය.
දැන් ජස්ටින් ටෘෘඩෝට සිදුවී ඇත්තේද සංක්රමණිකයකුගේ පිහිට ලබමින් අගමැති පුටුවේ ඉඳගැනීමටය. මේ වන විටත් ජග්මීත් සිං කැනඩාවේ ‘රජුන් තනන්නා‘ යන විරුධාවලිය ලබා තිබේ.
ඔහුම පවසන පරිදි බීමත් පියාගේ තාඩන පීඩන මැද අපයෝජනය වූ ළමාවියක් ගෙවමින් වැඩුණු ජග්මීත් සිං වෘත්තීයමය දේශපාලනයට පිවිසෙන්නේ 2011දීය. ඊට පෙර ඔහු නීතීඥයෙකි. 2017 වසරේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත් ඔහු මෙවර තම බලය ආසන 24ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. කැනඩාවේ පළමුවන සුදු ජාතික නොවන දේශපාලනඥයා ලෙසින්ද ජග්මිත් සිං ඉතිහාසගත වී තිබේ.
කෙසේවුවද මේ සංක්‍රමණිකයාට ඉතා කෙටි කලක් තුළ කැනඩා දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට පමණක් නොව එරට රජුන් තැනීමටද දායක වන්නට ලැබීමෙන් සංක්‍රමණිකයන් කැනඩාවට කර ඇති බලපෑම වටහා ගත හැකිය.
ඒ අනුව ඉන්දීය සංචාරය නිසාම ළකුණු අහිමි කරගත් ටෘෘඩෝ ඉන්දීය සම්භවයක් සහිත ජග්මීත් සිං සමග සන්ධාන ගත වී පිහිටුවීමට නියමිත ආණ්ඩුව කෙසේ වනු ඇතිදැයි බලාසිටීම ආශ්වාදජනක වනු ඇත.