රග්බි ලෝක සිවුකොන් සටනින් අවසන් මහා තරගය කා අතර ද? | සිළුමිණ

රග්බි ලෝක සිවුකොන් සටනින් අවසන් මහා තරගය කා අතර ද?

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම සති අන්තයේ දී පැවැත්වේ. ඊට සුදුසුකම් ලැබූ රටවල් වන්නේ නවසීලන්තය, එංගලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව ඊයේ (26) පැවැති ප්‍රථම අවසන් පූර්ව තරගයට සහභාගි ව‍ූයේ එංගලන්තය සහ නවසීලන්තය යි. දෙවන අවසන් පූර්ව තරගය අද (27) වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනු ඇත. මෙම තරග පැවැත්වෙන්නේ යොකෝහාමා ජගත් ක්‍රීඩාංගණයේදීය.

මෙවර අවසන් ප‍ූර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල් අතරින් මීට පෙර ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් නොලැබූ එකම රට වන්නේ වේල්සයයි.

එංගලන්තය මෙවර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ සී කාණ්ඩයෙනි. මුල් වටයේ දී ඔවුන් අපරාජිතව තරග කළහ. එංගලන්ත තරග ප්‍රතිඵල මෙසේ ය.

35 – 03 ටොංගා

45 – 07 ඇමෙරිකාව

39 – 10 ආර්ජන්ටිනාව

00 – 00 ප්‍රංසය (සුළි කුණාටුව නිසා මේ තරගය පැවැත්වූයේ නැත.)

අර්ධ අවසන් තරගය 40 – 16 ඔස්ට්‍රේලියාව

මෙවර එංගලන්ත කණ්ඩායමට ගියවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් රැසක් ම සිටියහ. 2015 තරගාවලියේ සත්කාරක රට වූයේත් ඔවුන්ම ය. එසේ වූවත් එහි දී රග්බි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මුල් වටයෙන් ම ඉවතට යෑමට සිදුවූ ප්‍රථම සත්කාරක රට බවට පත්වීමට එංගලන්තයට සිදු විය.

ලෝක කුසලාන ඉතිහාසයේ දී එංගලන්තයට එක් ශූරතාවක් හිමි ය. ඒ 2003 වසරේදීය. එමෙන් ම 1991 සහ 2007 අනුශූරතා ය. මීට අමතරව 1987, 1999 සහ 2011 වසරවල දී අර්ධ අවසන් වටයට ඔවුන් සුදුසුකම් ලබාගත්හ‍. 1995 තරගාවලියේ දී සිවුවැනි ස්ථානයයි.

ඕල් බ්ලැක්ස් නමින් ප්‍රචලිත නවසීලන්තය මෙවර උත්සාහ කළේ පිට පිට තෙවැනි වරටත් ලෝක කුසලාන ශූරතාව හිමිකර ගැනීමටයි.

මෙවර ‘බී’ කාණ්ඩයෙන් තරග කළ නවසීලන්තයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිතවයි.

23 – 13 දකුණු අප්‍රිකාව

63 – 00 කැනඩාව

71 – 09 නැමීබියාව

00 – 00 ඉතාලිය

මෙම තරගයත් පැවැත්වූයේ නැත.

අර්ධ අවසන් තරගය

46 – 14 අයර්ලන්තය

මීට පෙර ලෝක කුසලාන ශූරතා හිමිකර ගත් ක්‍රීඩකයෝ රැසක් ම මෙවර තරග කළහ.නවසීලන්තයට ලෝක ශූරතා ත්‍රිත්වයකි. ඒ 1987, 2011 සහ 2015 වසරවල දී ය. මීට අමතරව අනුශූරතාවයකි. ඒ 1995 දී ය. එමෙන් ම 1991 සහ 2003 වසරවල දී තෙවැනි ස්ථානයන්ය. 2007 වසරේ දී ඔවුන් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූහ.‍ 1999 දී සිවුවැනි ස්ථානයයි.

මෙවර අවසන් පූර්ව තරගයට පෙර නවසීලන්තය සහ එංගලන්තය අතර තරග 41 ක් පවත්වා තිබේ. එහි දී නවසීලන්තයට ජයග්‍රහණ 33 කි. එංගලන්තයට ජයග්‍රහණ 07 කි. ජය පැරදුමක් නැති තරගයකි.

මේ දෙරට මුල් වරට තරග කළේ 1905 වසරේදීය. අවසන් වරට 2018 වසරේදීය. ඉතා තියුණු තරගයකින් පසුව 16 – 15 ලෙසට ජය ගත්තේ නවසීලන්තයයි.

මීට පෙර මේ දෙරට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී හමුවූයේ 1995 වසරේදීය. එය නවසීලන්තය ජය ගත්තේ ලකුණු 45 – 29 කින් ය.

වේල්සයත් අවසන් පූර්ව තරගයට සහභාගි වූයේ අපරාජිතවමය. ඔවුන් මුල් වටයේ දී තරග කළේ ඩී කාණ්ඩයෙනි.

43 – 14 ජෝර්ජියාව

29 – 25 ඔස්ට්‍රේලියාව

29 – 17 ෆීජි

35 – 13 උරුගුවේ

අර්ධ අවසන් තරගය 20 – 19 ප්‍රංසය

වේල්සයට තවමත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වී නැත. ඔවුන්ගේ ඉහළම දක්ෂතාව 1987 තෙවැනි සහ 2011 සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමය. මීට අමතරව 1999, 2003 සහ 2015 වසරවල දී ඔවුන් අර්ධ අවසන් වටයට තේරුණහ. එමෙන් ම 1991, 95 සහ 2007 වසරවල දී ඔවුන් මුල් වටයෙන් ම ඉවත්වූහ.

දකුණු අප්‍රිකාව මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ සිය ප්‍රථම තරගය නවසීලන්තය හමුවේ පරාජය වීමෙනි.

23 – 13 නවසීලන්තය

57 – 03 නැමිබියාව

49 – 03 ඉතාලිය

66 – 07 කැනඩාව

අර්ධ අවසන් තරගය 26 – 03 ජපානය (පැවැති ක්‍රීඩාංගණය - ටෝකියෝ ක්‍රීඩාංගණය, චෝෆු

2015 ලෝක කුසලානයට සහභාගිවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙවර කණ්ඩායමටත් ක්‍රීඩා කරති. දකුණු අප්‍රිකාව දෙවතාවක් ම ලෝක ශූරයෝ ය. ඒ 1995 සහ 2007 වසරවල දී ය. මීට අමතරව 1999 සහ 2015 දී තෙවැනි ස්ථානයන් ය. එමෙන් ම 2003 සහ 2011 වසරවල දී අර්ධ අවසන් වටයට ඔවුන් සුදුසුකම් ලබා ගත්හ.

වේල්සය සහ දකුණු අප්‍රිකාව 1906 සිට 2018 අතර කාලයේ දී තරග 35 ක් ක්‍රීඩා කර තිබේ. එහි දී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණ 28 කි. වේල්සයට ජය 06 කි. ජය පැරදුමක් නැති තරගයකි. අවසන් වරට පැවැති තරගයෙන් වේල්සය ජයගත්තේ ලකුණු 20 – 11 කින් ය.

Comments