දේශපාලන පවුල්වාදයට එරෙහිව අමෙරිකාවේ පත්තු වූ අලුත්ම ගිනි පුපුර | සිළුමිණ

දේශපාලන පවුල්වාදයට එරෙහිව අමෙරිකාවේ පත්තු වූ අලුත්ම ගිනි පුපුර

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන ක්‍රම­යක් සහිත රට­වල ජන­තාව ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පට­හැනි ක්‍රම යොද­මින් පාල­නය කර­න්නට වෙර දරන්නේ නම් එම පාල­ක­යන්ගේ ඉදි­රිය අපැ­හැ­දිලි බවට ලෝක ඉති­හා­සය පුරා උදා­හ­රණ ඕනෑ­ත­රම්ය. මේ ‘ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පට­හැනි‘ යන්නට ඇතු­ළත් වන ක්‍රම සංඛ්‍යා­වෙන් අසී­මා­න්ති­කය. එහෙත් පැහැ­දි­ලි­වම ඥාති සංග්‍ර­හය අයත් වන්නේ ඒ අත­රට බව කිව­හැ­කිය. ඒ මන්ද­යත් ඥාති සංග්‍ර­හය ස්වකීය පාල­නය අත­රට ගෙන ආ පාල­ක­යන් බොහෝ දෙනෙ­කුට දේශ­පා­ලන වේදි­කා­ව­ලින් බැස යෑමට සිදුවූ බැවිනි. තමන් ඥාති සංග්‍ර­යන්හි නිතර වූ බව මහ­ජ­න­තා­වට හෙළි වූ පසු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන පොර­පි­ටි­ය­කට බැස තව­දු­ර­ටත් සටන් කිරීමේ හැකි­යාව මේ දේශ­පා­ල­න­ඥ­යන්ට අහිමි වූ අතර ජනතා අප්‍ර­සා­දය ඒ වෙනු­වට ඔවුන් වෙත එල්ල විය.

පසු­ගි­යදා මේ සඳහා හොඳම උදා­හ­ර­ණ­යක් අමෙ­රි­කා­වෙන් වාර්තා විය. ඔබා­මාගේ උප ජනා­ධි­පති ධූරය හෙබවූ ජෝ බයි­ඩන් සහ උටාහි සෙනෙට් සභික මිට් රොම්නිගේ ලේලිය වන රොනා මැක්ඩැ­නි­යෙල් මේ ඥාති සංග්‍රහ කතා­බ­හට මැදි වූ ප්‍රධාන චරිත විය. හිටපු උප ජනා­ධි­පති ජෝ බයි­ඩන්ගේ පුත්‍ර­යකු වන හන්ටර්ට යුක්රේන බල­ශක්ති සමා­ගමේ විධා­යක ධූර­යක් ලැබී­මට නිය­මිත බවත් ඒ සඳහා ඔහුට විශාල වැටු­පක්ද හිමි­වී­මට නිය­මිත බවත් ABC පුවත් සේවය ප්‍රකාශ කළ ප්‍රවෘ­ත්ති­යක සඳ­හන් විය. මේ ප්‍රවෘ­ත්තිය ඇසූ පසු මිට් රොම්නිගේ ලේලිය වන රොනා වහාම ට්වීටර් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් මෙවන් තන­තු­රක් දැරීම සඳහා ජෝ බයි­ඩන්ගේ පුත්‍රයා සතු­වන සුදු­සු­කම් මොන­වා­දැයි ප්‍රශ්න කර සිටි­යාය. වෙනත් කිසිම සුදු­සු­ක­මක් නොමැති හන්ටර් වැනි තරු­ණ­යකු මේ ධූරය සඳහා පත්වීම් ලැබීම ඥාති සංග්‍ර­හය මිස අන් කුම­ක්දැයි රොනා තම ට්වීටර් පණි­වි­ඩය මගින් ප්‍රශ්න කර සිටි­යාය.

බැලූ බැල්මට මෙය ප්‍රබල දේශ­පා­ලන විවේ­ච­න­යක් වුවද රොනාට ට්වීටර් පණි­වි­ඩය නිකුත් කිරී­මෙන් සුළු වේලා­වක සිට මුහුණ දෙන්නට සිදු­වූයේ නොසිතූ ප්‍රති­චා­ර­ව­ල­ටය. දස­තින් ජන­තාව ඇයගේ පණි­වි­ඩ­යට ප්‍රති­චාර එල්ල කර­මින් ඇයගේ ප්‍රකා­ශය විවේ­ච­න­යට හා හාස්‍ය­යට ලක් කර­න්නට වූහ.

එහිදී ඔවුන් විමසා සිටි­න්නට වූයේ ජෝ බයි­ඩන්ගේ පුත්‍ර­යාගේ වෘත්ති­මය පත්වීම ප්‍රශ්න කරන රොනා සිටින ස්ථානය කුමක්ද යන්නයි. රොනා දැනට රිප­බ්ලි­කන් පක්ෂයේ ජාතික කමි­ටුවේ සභා­පති ධූරය හොබ­ව­න්නීය. එහෙත් ඊට පෙර ඇය ඌටා ප්‍රාන්තයේ සෙනෙට් සභික මිට් රොම්නිගේ ලේලිය බවද සඳ­හන් කළ යුතුය. මේ ඥාති සම්බ­න්ධය උපුටා දැක්වූ සාමාන්‍ය ජන­තාව ‘බයි­ඩන්ගේ පුත්‍රයා ප්‍රශ්න කිරී­මට පෙර තමන් සිටින ස්ථානය ප්‍රශ්න කරන‘ ලෙස ඇයට ප්‍රකාශ කළහ.

දිගින් දිග­ටම ඇයගේ ප්‍රකා­ශය හාස්‍ය­යට ලක් කෙරෙන ට්විටර් ප්‍රති­චාර පිරී යන්නට වූ අතර රොනා මැක්ඩැ­නි­යෙල්ට නිහ­ඩ­වම පසු­වී­මට සිදු­විය. මේ අතර මිට් රොම්නිට අම­ත­රව රොනාට ඇති තවත් දේශ­පා­ලන ඥාති සබ­ඳ­කම් ට්වීටර් මගින් හෙළි­ද­රවු වන්නට විය. එක් අයෙකු අප­කී­ර්ති­යට ලක් කිරීමේ අර­මු­ණින් චෝදනා නැගී­මට පැමිණි රොනාට අව­සා­නයේ සිදු වූයේ තම දේශ­පා­ලන අනා­ග­තය පවා අවි­නි­ශ්චිත වන මට්ටමේ ප්‍රති­චා­ර­යන්ට මුහුණ පෑම­ටය.

අමෙ­රි­කාව යනු පියා­ගෙන් පුතාට ජනා­ධි­පති ධූරය හිමි­වුණු රටකි. ජෝර්ජ් බුෂ් සහ ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් එයට උදා­හ­ර­ණය. ඒ රිප­බ්ලි­කන් පක්ෂ­යෙනි. මීට අම­ත­රව ඩිමො­ක්‍ර­ටික් පක්ෂ­යෙන් බිල් ක්ලින්ටන්ගේ බිරිය හිලරි ක්ලින්ටන් ජනා­ධි­පති අසුන ආස­න්න­ය­ටම පැමිණි අතර තියුණු තර­ඟ­ය­කින් පසුව වත්මන් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරා­ජය බාර ගත්තාය. එසේ නොවිනි නම් සැමි­යා­ගෙන් බිරි­ය­ටද ජනා­ධි­පති අසුන හිමි වූ රටක් බවට අමෙ­රි­කාව පත් වන්නට බෙහෙ­වින් ඉඩ තිබිණි.

එය එසේ වුවද දේශ­පා­ලන නාය­ක­ත්වයේ සිටින ප්‍රබ­ල­යන්ගේ ආනු­භා­ව­යෙන් ඔහුගේ ඥාතීන්ට වර­ප්‍ර­සාද අමෙ­රි­කා­වේදී නම් හිමි­වන්නේ නැත. රොනා මැක්ඩැ­නි­යෙල් ජෝ බයි­ඩන් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පුත්‍ර­යාට එරෙ­හිව එල්ල කළ චෝද­නාව කොත­රම් සාධා­රණ වුවද ඇයද එම ක්‍රමය තුළම පව­තින බව අම­තක කළ බැවින් ජන­තා­වගේ හාස්‍ය­යට ගොදුරු වූවාය.

Comments