ලෝකය හොල්ලන තරුණ නායක රැල්ල | සිළුමිණ

ලෝකය හොල්ලන තරුණ නායක රැල්ල

පසුගිය දශකය දෙස බලන විට ලෝක දේශපාලනයේ විශේෂ ප්‍රගමනයක් ලෙස තරුණ පිරිස වැඩි වශයෙන් රාජ්‍ය නායකයන් ලෙස තේරී පත්වීම හඳුනාගත හැකිය. වියපත් මිනිසුන් පරිණත ලෙස පිළිගැනීමට ලක් වුවද මේ වන විට තරුණ නායකයන්ට බලය ලබා දෙමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට බොහෝ රටවල මහජනතාව පෙළඹී තිබේ.

මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකම නායකයන් වයස අවුරුදු හතළිහට අඩු වන අතර විසි හැවිරිදි වියේ සිට පාර්ලිමේන්තු නියෝජිතයන් රටවල් කිහිපයකින්ම වාර්තා වී තිබේ. මේ තරුණ නායකයන් විශේෂයෙන්ම රාජ්‍ය නායකයන් දේශපාලනයට පොදු හැලහැප්පීම් මැද තම පාලනය ගෙන යන යන අතර ඇතැම් නායකයන් දෙවැනි ධූර කාලයක් සඳහා ද බලය ලබා ගනු දැක ගත හැකි විය.

තරුණ රාජ්‍ය නායකත්වය රැල්ලක් සේ ප්‍රථමයෙන්ම ගෙන ආවේ ප්‍රංසයයි. ඒ එම්මානුවෙල් මැක්‍රෝන්ය‍. 2017 වසරේදී ඔහු ප්‍රංස ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් පත් වන විට ඔහුගේ වයස අවුරුදු 37ක් පමණක් විය. මේ වසරේ මාස කිහිපයක් පුරා ජනතා විරෝධයන්ට මුහුණ පෑමට සිදුවුවද ඔහු මේ වන විටත් බලවත් ප්‍රංසය පාලනය කරමින් සිටින්නේය. ප්‍රංසය යනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේද නිෂේධ බලය හිමි බලවත් රටක් බව අමතක කළ යුතු නැත. එවැනි බලවත් ප්‍රංසයට නිර්භයව නායකත්වය දෙන මේ තරුණයා ලෝකයේ සෙසු බලවත් රටවල නායකයන් සමග කරට කර සිටීමට සමත් වී ඇති බවද කිව යුතුය.එමෙන්ම මේ වන විට ප්‍රංසයේ වගකිව යුතු ධූර සඳහා තරුණ පිරිස් වැඩි වශයෙන් පත්වීම් ලබමින් සිටින බවද වාර්තා වේ.

එහෙත් ලෝකයේ දැනට බලයට පැමිණි ලාබාලතම රාජ්‍ය නායකයා වන්නේ ප්‍රංස ජනාධිපතිවරයා නොවේ. ලෝකයේ ලාබාළතම රාජ්‍ය නායකයාගේ කිරුළ හිමිකරගෙන සිටින්නේ ඕස්ට්‍රියානු චාන්සලර්වරයා වන සෙබස්තියන් කර්ස් ය. ඔහු පසුගිය සැප්තැම්බර් 30වැනිදා දෙවැනි වරටත් එරට චාන්සලර් ධූරයට පැමිණි අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 33කි. එහෙත් 2017 වසරේ ප්‍රථම වරට ඕස්ට්‍රියානු රාජ්‍ය නායකත්වයට පැමිණීමේදී ඔහුගේ වයස අවුරුදු 30ක් විය. මෙවර දෙවැනි ධූර කාලයත් සමග මේ ඉතා තරුණ නායකයා කෙරෙහි එරට ජනතාව ප්‍රබල කැමැත්තක් දක්වන බව තහවුරු වී තිබේ.

සෙබස්තියන් කර්ස් උපත ලබා ඇත්තේ 1986දීය. ඉතා සාර්ථකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපන කටයුතුවල නිරත වන ඔහු වයස 22දී අධ­්‍යාපන කටයුතුවලින් ස්වේච්ඡාවෙන් බැහැර වන්නේ පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීමේ අපේක්ෂාවෙනි. 2009දී ඔස්ට්‍රියානු ජනතා පක්ෂයෙන් දේශපානයට පිවිසෙන මේ තරුණයා 2017 වන විට පක්ෂයේ නායකත්වයට පමණක් නොව රටේ නායකත්වටද පැමිණීමට සමත් වන්නේය.

නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩන්ද සුවිශේෂ රාජ්‍ය නායිකාවක් වන්නේ ඇය ඉතා තරුණ නිසාත්, කාන්තාවක් වීම නිසාත් ය. මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන ඇය මවක් වූයේද අගමැති ධූරය හොබවමින් සිටියදීය.

ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දයෙන් රාජ්‍ය පාලකයා තෝරා පත් කර ගන්නා තවත් ප්‍රධාන පෙළේ රටක් වන ඉතාලියද මෑතකදී තරුණ නායකත්වය කෙරෙහි විශ්වාසය තැබීමට කටයුතු කරමින් සිටින බව පෙනී ගියේ 31 හැවිරිදි ලුයිගි ඩිමායෝ එරට උප අගමැති ධූරයට පත්වීමෙන් පසුවය.

මීට අමතරව සැන් මැරීනෝ ඇතුළු තවත් රටවල් කිහිපයකම තරුණ රාජ්‍ය නායකයන් දැකගත හැකි වුවද ඒ අතරින් ඇතැම් රටවල ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දයක් මගින් රාජ්‍ය නායකයා තොරා පත් කර නොගන්නා බවද කිය යුතුය.

ඒ හැරුණු විට ඉතා අඩු වයසින් ජනතා නියෝජිතයන් ලෙස තේරී පත් වූ විශාල පිරිසක්ද ලොව පුරා රටවල සිටිති. පාර්ලිමේන්තු නියෝජිතයන් වන මොවුන් අතරින් ඇතැම් දෙනා යාන්තම් වයස අවුරුදු 20 ඉක්මවූවන්ය.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයකු වන ජෝර්ඩ්න් ස්ටීල් -ජෝන් 2017 වසරේදී මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වන විට වයස අවුරුදු 22ක් විය. මැලේසියාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සෙයිඩ් සාදික් සැබැවින්ම තරුණයකු වන අතර ඔහුගේ වයස අවුරුදු 25කි. ස්වීඩනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන එබ්බා හර්මෙන්සන් 22 හැවිරිදි වියේ පසුවන්නීය.

මේ සියලු තරුණ රාජ්‍ය නායකයන් අතරින් වඩාත්ම සාර්ථකත්වය අත්කරගෙන සිටින රාජ්‍ය නායකයා ගැන සඳහනක් කරන්නේ නම් එය ප්‍රබල අඩුවකි. මේ වඩාත් සාර්ථක රාජ්‍ය නායකයා වන්නේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ය. 2011දී ඔහු එරට බලයට පත් වන විට 30 හැවිරිදි වියේ පසුවිය. මේ වන විට 38 හැවිරිදි වුවද ඔහු ලෝකයේ බලවතුන් සමග කරටකර සිටිමින් ලෝක දේශපාලනයේද කැපී පෙනෙන චරිතයක් වීමට සමත් ව සිටින්නේය. උතුරු කොරියාව යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් මගින් පාලකයන් තොරා පත් කර නොගන්නා රටක් වුවද කිම් ජොන් අන් එරට ජනතාවගේ ආදරණීය නායකයාය. ඔහු උතුරු කොරියාව වඩාත් ශක්තිමත් රටක් කිරීමට සමත් වූ අතර න්‍යශ්ටික බලවතකු ලෙස අමෙරිකාවේ පවා ගෞරව බහුමානයට පත් වීමට කිම් ජොන් අන් යටතේ උතුරු කොරියාවට හැකි විය. එය කෙතරම්ද කිවහොත් අමෙරිකා ජනාධිපතිවරයා ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් විය. ප්‍රථමයෙන්ම උතුරු කොරියාවේ බලය ලබා ගනිද්දී ඔහු තරුණ ගැටයකු මිස බලවත් රාජ්‍ය නායකයකු ලෙස හඳුනා ගත්තේ නැත. එහෙත් ඔහු මේ වන විට වයස යනු පරිණතකම නොවන්නේ යැයි තහවුරු කර තිබේ.

Comments