අමෙරිකාවට අභියෝග කළ යුරෝපයේ බලවතා | සිළුමිණ

අමෙරිකාවට අභියෝග කළ යුරෝපයේ බලවතා

කිසිදු දේශ­පා­ල­න­යක් හෝ කිසිදු ව්‍යාපා­ර­යක් සිය­යට සීයක් සාධා­රණ නැතැයි කතා­වක් තිබේ. එමෙන්ම අධ්‍ය­තන ලෝකය දෙස බලන විට තම අත්වල ලේ තැවරී නොමැති හෝ මහ­ජන දේපළ අයථා ලෙස භාවිත කර නොමැති රාජ්‍ය පාල­ක­යන්ද ඉතා දුර්ල­භය.

ප්‍රංසයේ හිටපු ජනා­ධි­පති ජාක්ස් ශිරාක් පසු­ගි­යදා මිය­ගියේ ඔහුගේ දේශ­පා­ලන ඉති­හා­සය මෙන්ම සම­කා­ලීන ලෝක ඉති­හා­සය කෙරෙහි අව­ධා­නය යොමු කිරී­මට අව­ස්ථා­වක් සල­ස­මිනි. ජාක්ස් ශිරාක් යන නම ප්‍රංස දේශ­පා­ලන ඉති­හා­සය සමග බැඳී පව­තින්නේ ප්‍රංසය ලෝක බල­ව­තකු කිරී­මට කිසි­යම් වැද­ගත් භූමි­කා­වක් රඟ දැක්වූ රාජ්‍ය නාය­ක­යකු ලෙසිනි. ජර්ම­නිය මෙන් නොව ප්‍රංසයේ බොහෝ රාජ්‍ය නාය­ක­යන් බ්‍රිතාන්‍ය සමග සමීප දේශ­පා­ලන සබ­ඳතා පවත්වා ගත් අතර ලෝක මට්ටමේ දේශ­පා­ල­නික තීන්දු තීර­ණ­ව­ලදී බ්‍රිතාන්‍ය අනු­ග­ම­නය කිරීම නිතර සිදු විය.

ජාක්ස් ශිරාක් ගේ දේශ­පා­ල­නය විශේෂ වන්නේ ඔහු මේ රටාව සම­බ­රව පව­ත්වා­ගෙන යෑමට සම­ත්වීම හේතු­වෙනි. මේ හිටපු ජනා­ධි­ප­ති­ව­රා­යගේ නම වන ජාක්ස් යන්න ප්‍රංස විප්ල­ව­යේදී නාය­ක­ත්වය ගත් රදළ නොවන ජන­තාව අතර සුලබ නමක් විය. එම නම සුලබ වීම විප්ල­ව­යට වාසි­දා­යක වූයේ අති බහු­ත­ර­යක් එකම නමින් හැඳි­න්වීම හේතු­වෙනි. එහෙත් අප මේ සිහි­පත් කරන ජාක්ස් ශිරාක් නම් විප්ල­ව­වා­දි­යකු වූයේ නැත.

1932 උපත ලද ජාක්ස් රෙනේ ශිරාක් හාවර්ඩ් විශ්ව විද්‍යා­ල­යීය අධ්‍යා­ප­න­යෙන් පසු එරට සිවිල් සේව­යට එක් වන්නේය. පසුව දේශ­පා­ල­න­යට පිවි­සෙන ඔහු එරට අග­මැති ධූරය දක්වා ගමන් කරන්නේ පහ­සු­වෙනි. එහෙත් ඔහු ලොවට බල­පෑම් කළ දේශ­පා­ල­නික චරි­ත­යක් ලෙස ඉස්මතු වන්නේ ප්‍රංස ජනා­ධි­පති ධූර­යට පත්වී­මත් සම­ගිනි.

ඔහු මුහුණ දුන් 1995 ප්‍රථම ජන­ප­ති­ව­ර­ණ­යේදී ඔහු සිය­යට 52.2ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගන්නේ ඉතා අසී­රු­වෙනි. එහෙත් බල­යට පැමිණි පසු ඔහු දක්ෂ පාල­ක­යකු බව ඔප්පු කර සිටියේ ප්‍රති­සං­ස්ක­රණ රැසක්ද ප්‍රංස සමා­ජ­යට හඳුන්වා දෙමිනි. ඔහුගේ අර­මුණ වූයේ සමා­ජ­යට වග­කි­යන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ඇති කිරී­මය. දේශීය ආයෝ­ජ­න­ව­ලට මුල්තැන දීම­ටද ඔහුට අවශ්‍ය විය. එහෙත් ප්‍රංසය කව­දත් ගමන් ගත් ප්‍රධාන ධන­වාදී ධාර­වෙන් ඉවත් කිරී­මට කිසිදු අද­හ­සක් ඔහු තුළ පැව­තියේ නැත.

බ්‍රිතා­න්‍යයේ මාග්‍රට් තැචර් සහ ජෝන් මේජර් සමග සමීප දේශ­පා­ල­නික හිත­ව­ත්කම් පව­ත්වා­ගෙන ගියද ඔහු අමෙ­රි­කාවේ දේශ­පා­ලන තීන්දු තීරණ සම්බ­න්ධව ප්‍රසිද්ධ විවේ­චන එල්ල කළේය. ඒ සඳහා හොඳම නිද­සුන වන්නේ අමෙ­රි­කාව සිදු කළ ඉරාක ආක්‍ර­ම­ණය ඔහුගේ නිර්දය විවේ­ච­න­යට ලක් වීමයි.

වසර හතක් දක්වා පැවති ප්‍රංස ජනා­ධි­පති ධූර කාලය වසර පහක් දක්වා අඩු කිරී­මට ජන­මත විචා­ර­ණ­යක් පැවැ­ත්වී­මට සහ එම­ගින් තම ධූර කාල­යද අඩු කර ගැනී­මට තරම් ඔහු නිර්ලෝභී විය. එහි අතුරු ප්‍රති­ඵ­ල­යක් වූයේ ඔහුගේ දෙවැනි ධූර­කා­ලය සඳහා ඔහු එරට ජන­තා­ව­ගෙන් බලය ඉල්ලූ අව­ස්ථා­වේදී සිය­යට 82.2ක අති විශාල ජනතා කැමැ­ත්තක් ඔහුට හිමි­වී­මය.

එහෙත් බොහෝ දේශ­පා­ලන නාය­ක­යන් තමන් බල­යෙන් ඉවත් විය යුතු නිශ්චිත අව­ස්ථාව හරි­ය­ටම නිශ්චය කර නොගන්නා බැවින් අව­සා­නයේ ජනතා අප්‍ර­සා­දය මැද බල­යෙන් ඉවත් වීමට සිදු වනු සුල­බය. ජාක්ස් ශිරාක් ද මේ අව­සන් ප්‍රති­ඵ­ලය අත් විඳි නාය­ක­යකු වූයේ අව­සා­නයේ ඔහුට මහ­ජන දේපළ අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් වසර දෙකක අත්හි­ටවූ සිර දඬු­ව­ම­ක­ටද මුහුණ දීමට සිදු වීමෙනි.

පසු­ගි­යද ඔහු මිය­යන විට 86වැනි වියේ පසු­විය. ලෝක ඉති­හා­සය ලියන විට ලෝකය සුන්දර තැනක් කිරී­මට උර­දුන් නාය­ක­යන් වැඩි වැඩි­යෙන් හමු­වන්නේ නම් කොත­රම් අග­නේද?

Comments