වලව සුපර්ක්‍රොස් 2019 | Page 2 | සිළුමිණ

වලව සුපර්ක්‍රොස් 2019

වලව තරණය කළ උෂාන් පෙරේරා දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ශූරතා දිනාගත් අතර හා දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස රොමේෂ් බුල්ජන්ස් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජීමේන්තුව විසින්, යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව හා ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව නව වැනි වරටත් සංවිධානය කළ වලව සුපර්ක්‍රොස් තරගාවලිය පසුගිය දා උඩවලව, තණමල්විල සෙවණගල ප්‍රදේශයේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේදී නිමාවට පත් විය. මෙවර තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 12ක් ඇතුළත්ව තිබූ අතර යතුරු පැදි තරග ඉසව් 12 කින් ද තරගාවලිය සමන්විත විය.

එහිදී එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ පළමු තරගයෙන් තෙවැන්නා වී දෙවන තරගයෙන් ප්‍රථමයා වු උෂාන් පෙරේරා දක්ෂතම ධාවකයා ලෙස වලව මෝටර් රථ ශූරතාව දිනාගත් අතර රුමේෂ් බුල්ජන්ස් එම්.එක්ස්. කාණ්ඩයේ 175 - 250 සී.සී.(4ටී.) ශූරතා පළමු තරගයෙන් දෙවැන්නා වී දෙවන තරගයෙන් ප්‍රථමයා වී වලව යතුරුපැදි ශූරතාව දිනාගැනිමට සමත් විය.

ශූරතා මෝටර් රථ තරග ඉසව්ව මෙන්ම ශුරතා යතුරුපැදි තරග ඉසව්වද අවසන් වුයේ කිසිවෙකු කිසිවිට බලාපොරොත්තු නොවු ලෙසය. එම්.එක්ස්. කාණ්ඩයේ 175 - 250 සී.සී.(4ටී.) ශූරතා පළමු තරගය ජාක් ගුණවර්ධන ජයගත් අතර දෙවන තරගයෙන් ජය හිමිවුයේ රුමේෂ් බුල්ජන්ස් හටය. තරග ඉසව්දෙකෙන්ම ශානුක සඳරුවන් තෙවැන්නා විය. දෙවන ශූරතා යතුරුපැදි තරග ඉසව්වෙන් ජාක් හයවන වටයේදී අවාසනාවන්ත ලෙස ධාවන පථය මැද ඇද නොවැටෙන්නට ජාක්ට තෙවන ශූරතා ජයත් හිමිවනවාට කිසිදු සැකයක් නැත. ප්‍රසාද ලකුණු සම වීමෙන් දෙවන තරගයෙන් ජයගත් රොමේෂ් බුල්ජන්ස් හට වලව යතුරුපැදි ශුරතාව හිමිවිය.

තරගාවලියේ දෙවන වේගවත්ම තරග ඉසව්ව වු එස්.එල්./එච්.1600 සී.සී. හොන්ඩා තරග ඉසව්වෙන් ඉර්ෆාන් ෆූවාඩි ජයගත් අතර උපුල්වන් සේරසිංහ හට හිමි වුයේ දෙවන ස්ථානයයි. සකීර් වාහාබ් තෙවැන්නා ලෙස තරගය නිමා කළේය.

අශාන්, උෂාන්, කේෂර, උපුල්වන්, මල්ලික, ශෙනාල්, බුද්ධික, චාමික,රුක්ලන්ත,දිලීප, ඉම්රාස් හා ශාමේල් සහයක මෝටර් රථ තරග ඉසව්වලින් ජයගැනිමට සමත් වු අතර රොමේෂ්, දේශාන්, ළහිරු, ශනුක, දිනෙත් හිරුෂ, සකීඩ්, රවීශ හා කේෂර සහායක යතුරුපැදි තරග ඉසව්වලින් ජයගැනිමට සමත් විය.

සමස්ත තරගාවලියටම අයහපත් කාලගුණය විටින් විට බාධා කළත් තරගාවලිය පැවැත්විය. එහෙත් සංවිධායකයන්ගේ අත්තනෝමතික තීරන තරගාවලියේ විචිත්‍රත්වයට ගෙනාවේ මන්දාලෝකයකි. මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ ආදිපත්‍ය යුද්ධ හමුදාව සතුව පවතින මේ මෙහොතේ ක්‍රීඩාවේ දියුණුවට විශාල වැඩකොටසක් නිර්මාණය කළ හැකිය. නමුත් සිදුවෙමින් පවතින්නේ ක්‍රීඩාවේ සෙවණැල්ලට මුවාවී හුදෙක් තම රෙජිමේන්තුවට මුල්‍ය ප්‍රතිපාදන රැස්කිරීම පමණක් නම් එය කනගාටුවට කරුණකි.

මෙවර වලව සුපර්ක්‍රොස් තරගාවලිය ඇරැඹීමට ප්‍රථම කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රධාන පීඨිකාවේ සිටි පිරිස පවසා සිටියේ රෙජිමේන්තුවට මුල්‍ය ප්‍රතිපාදන රැස්කිරිම හරහා මෝටර් රථ ක්‍රීඩාවේ දියුණුවට විශාල වැඩ කොටසක් වලව සුපර්ක්‍රොස් තරගාවලිය මගින් සිදුකිරීමට නියමිත බවයි.

ඔවුන් එසේ පවසමින් අනෙකුත් තරගාවලියන්ට සාපේක්ෂව ලබාදුන් ත්‍යාග මුදල්, යතුරුපැදි හා අනෙකුත් ත්‍යාගවල වටිනාකම සැලැකිය යුතු අගය කළ යුතු මට්ටමක පවතී. එය අගය කළයුතුය. හොඳදේ හොඳමය. එහෙත් තරගාවලියක් යනු කුසලාන හා ත්‍යාග මුදල් පමණක්මද?

තරගාවලියක් සංවිධානයේදී තරගාවලියේ සංවිධායකයන් මෙන්ම අනුග්‍රහකයන්ද සිටිය යුතුය. ඒ වගේම තරග තිරකයන්ද සිටිය යුතුය. මේ සියල්ල සම්පූර්ණ වන තරගයක තරගකරුවන් නොසිටී නම් එයින්ද පලක් නැත. අංග සම්පූර්ණ තරගාවලියක් වීමට ක්‍රීඩාලෝලීන්ද සිටීය යුතුය. නමුත් පසුගිය වලව තරගාවලිය නිමවන්නේ නරඹන්නන් හට විශාල අසාධාරණයක් සිදුකරමින්ය. යම් කිසි මුදලක් දී ප්‍රවේශපත්‍රයක් රැගෙන තරගාවලිය නැරැඹීමට එන ක්‍රීඩාලෝලීන්ට තරගාවලිය නැරැඹීමේ අවස්ථාව හිමිව තිබුණේද? වලව තරගාවලිය තුළ තරග කළ තරග කරුවන්ගේ සැබැ දක්ෂතාවයන් තමන් සියැසින් දුටුවේද? ප්‍රශ්නාර්ථයක් සමගින් වලව නිමාවිය.

අසීමිත අනුග්‍රහකයන් පිරිසක් රැස්කරමින් මුදලම පමණක් අරමුණු කරගෙන වලව සුපර්ක්‍රොස් තරණය කිරීමට සංවිධායකයන් කැපවීම කණගාටුවට කරුණකී. මන්දයත් ධාවන පථය සිසාරා අතුරා තිබූ අති මහත් දැන්වීම් පුවරු තරගාවලිය නරඹන්නන්ට ගෙන ආවේ දෘෂ්ටි මායාවකී. තම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට තමන්ට හැකි පමණින් ප්‍රතිචාරය දැක්විටම අවස්ථාවක් නොදුන් ඒ පුවරු අසිමිත ලෙස ධාවන පථය අරක්ගෙන තිබුණී. සාමාන්‍ය ප්‍රමිතියකට යටත් නොවී විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු විශාල ප්‍රමාණයක් ධාවන පථය තුළ ස්ථාන ගත කිරීම මගින් තරගාවලියට ගෙනාවේ ජයග්‍රහණයට වඩා පරාජයකි.

ධාවන පථය වටා අනුග්‍රහක දැන්වීම් ප්‍රදර්ශනය පිළිගත් සම්ප්‍රදායයි. ඒත් එයට එහා ගිය අසාමාන්‍ය පිළිවෙතක් අනුගමනය කරන මෙරට ක්‍රීඩා තරගාවලි අනුග්‍රහකයන්ගේ අසීමිත ඉල්ලීම්ද ඉටුකිරිමට ප්‍රයත්න දරයි. එහෙත් මෙය සිමාව ඉක්මවා යැමක් ලෙස කිසිවෙකුත් කිසිවිටක නොසිතන්නේ මන්ද කියා නොදනී. එසේ සිමාව ඉක්මවා අසිමිත අනුග්‍රහකයන් ප්‍රමාණයක් රැස්කරමින් ඔවුන් සියලු දෙනා හට සාධාරණය ඉටුකිරිමට යෑමෙන් මෙවැනි අවස්ථා නිර්මාණය වෙයි. මෙය තවදුරටත් වර්ධනය වුවහොත් තරගාවලියක් නැරැඹිමට කිසිවෙකු ක්‍රීඩා පිටියකට හෝ ධාවන පථයකට නොඑනු ඇත. අප අපටම ස්වයං වාරණයක් පනවාගැනීමෙන් මේ ගමන වළකා නොදමන්නේනම් අනෙකුත් තරගාවලිවලටද මේ දේ සිදුවෙනු ඇත. නැතිනම් අනුග්‍රහකයන්ගේ වුවමනා සපුරාලීමේන් මෝටර් රථ ක්‍රීඩාව හෝ අනෙකුත් ක්‍රීඩාවේද හෙට දවසට කුමක් වේද? අංග සම්පූර්ණ තරගාවලියක් වීමට ක්‍රීඩාලෝලීන්ද සිටීය යුතුය. නමුත් පසුගිය වලව තරගාවලිය නිමවන්නේ නරඹන්නන් හට විශාල අසාධාරණයක් සිදුකරමින්ය. යම් කිසි මුදලක් දී ප්‍රවේශපත්‍රයක් රැගෙන තරගාවලිය නැරැඹීමට එන ක්‍රීඩාලෝලීන්ට තරගාවලිය නැරැඹීමේ අවස්ථාව හිමිව තිබුණේද? වලව තරගාවලිය තුළ තරග කළ තරගකරුවන්ගේ සැබැ දක්ෂතා තමන් සියැසින් දුටුවේද? ප්‍රශ්නාර්ථයක් සමගින් වලව නිමාවිය.

Comments