
ශ්‍රී ලංකාව ඇතුළුව ලොව අතිශය ජනප්‍රියතම ක්‍රීඩාවක් ලෙසට රග්බි යුනියන් (සංගම්) ක්‍රීඩාව හැඳින්විය හැකිය. මෙහිදී කණ්ඩායමකට ක්‍රීඩකයන් 15ක් අයත්ය. රග්බි ක්‍රීඩාවට අදාළව තවත් ක්‍රීඩාවක් වේ. ඒ රග්බි ලීග් ක්‍රීඩාවයි. මෙහිදී කණ්ඩායමකට අයත් ක්‍රීඩකයන් ගණන 13කි.
මෙම රග්බි ක්‍රීඩා දෙඅංශයෙන්ම වැදගත්ම තරගාවලිය ලෙසට සැළකෙන්නේ ලෝක කුසලාන තරගාවලියයි. ප්‍රථම වරට පැවැත්වූයේ රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලියයි. ඒ 1954 වසරේදීය. ප්‍රථම රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලිය 1987 වසරේදී පැවැත්වීය. වර්ල්ඩ් රග්බි හෙවත් ලෝක රග්බි විසින් සුපුරුදු පරිදි මෙවරත් රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලිය මෙහෙයවයි.
09 වැනි රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලිය ඉකුත් සති අන්තයේ එනම් සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ විය. එය නිමාවට පත්වන්නේ ලබන නොවැම්බර් මස 02 වැනිදාය. මෙවර තරගාවලියේ සත්කාරකත්වය ජපානය විසින් දරනු ලබයි. එය ආසියාවටම සුවිශේෂිතය. ඒ රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියක් ආසියාවේදී පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට වන බැවිනි. එමෙන්ම මෙවර තරගාවලියට සහභාගි වන එකම ආසියානු රටත් ජපානය වන නිසාය.
2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තවත් තරග 02 ක් අද (29) පැවැත්වීමට නියමිතය. එහිදී ජෝර්ජියාව - උරුගුවේ සහ ඔස්ට්‍රේලියාව - වේල්සය තරග කරයි. මෙවර තරගාවලියට සහභාගි වන රටවල් 20 ලොව විවිධ කලාපයන් නියෝජනය කරමින් ඊට සුදුසුකම් ලබා ගත්තේය. ඒ ආසියාවෙන් - 01, අප්‍රිකාව - 02, උතුරු ඇමෙරිකාව - 02, යුරෝපය - 08, දකුණු ඇමෙරිකාව - 02 සහ ඔෂේනියාව -05 වශයෙනි. මෙම රටවල් 20 මුල් වටයේ දී කාණ්ඩයන් 04කට වෙන්කර ඇත.
ඒ කාණ්ඩය - අයර්ලන්තය, ජපානය, සැමෝවා, රුසියාව, ස්කොට්ලන්තය.
බී කාණ්ඩය - ඉතාලිය, නවසීලන්තය, කැනඩාව, දකුණු අප්‍රිකාව, නැම්බියාව
සී කාණ්ඩය - එංගලන්තය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව, ටොංගා
ඩී කාණ්ඩය - ඔස්ට්‍රේලියාව, වේල්සය, ජෝර්ජියාව, උරුගුවේ, ෆීජී
මෙම මුල් වටයේ දී ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන 02 හිමි කර ගනු ලබන කණ්ඩායම් 08 අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරග ඔක්තෝබර් 19- 20 දිනවලදී පැවැත්වේ. එහිදී ජය ගනු ලබන කණ්ඩායම් 04 අතර අවසන් පූර්ව තරග පැවැත්වේ. එම තරග ඔක්තෝබර් 26-27 දිනවල දී පැවැත්වෙයි. අවසන් පූර්ව තරගවල පරාජිතයන් නොවැම්බර් 01 වැනි දා තෙවන ස්ථානය (ලෝකඩ) පදක්කම වෙනුවෙන් තරග කරයි. අවසන් මහා තරගය නොවැම්බර් 02 වැනි දා පැවැත්වෙන්නේ යෝකෝහාමා ජගත් ක්‍රීඩාංගණයේ දීය. එහිදී තරග කරන්නේ අවසන් පූර්ව තරග ජයග්‍රාහකයෝය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 08 කදී පැවැත්වේ. මේ අතරින් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ යෝකෝහාමා ජගත් ක්‍රීඩාංගණයේදීය.
මෙවරත් ලෝක ශූරයන්වීමට ඉදිරියෙන්ම සිටින්නේ ඕල් බ්ලැක්ස් නමින් ප්‍රචලිත නවසීලන්ත කණ්ඩායමයි. දැනට වැඩිම ලෝක කුසලාන ගණනක් (03) හිමි කරගත්තේ ද ඔවුන්ය. මෙවර ඔවුන්ගේ අරමුණ පිට පිට තෙවැනි වරටත් ජයගෙන එය හැට්ට්‍රික් ලෝක ශුරතා බවට පත් කර ගැනීමයි.
ඒ සඳහා ඔවුනට ප්‍රබලතම අභියෝගය ඉදිරිපත් කරන දෙරට බවට දකුණු අප්‍රිකාව (ස්ප්‍රිංබොක්ස්) සහ ඔස්ට්‍රේලියාව (වොලබීස්) පත් වී සිටියි. එසේ වුවත් ලෝක කුසලාන තරගාවලිය ඇරැඹෙන විට ශ්‍රේණිගත කිරීමට අනුව ලොව අංක 01 හිමිකර ගෙන තිබුණේ ඉහත රටවල් ත්‍රිත්වයම නොවීම විශේෂත්වයකි.
1) අයර්ලන්තය 2) නවසීලන්තය
3) එංගලන්තය 4) දකුණු අප්‍රිකාව
5) වේල්සය 6) ඔස්ට්‍රේලියාව
මෙවර තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක ජපානය ජය ගත්තේ ලකුණු 30 – 10 කින් රුසියාව පරාජය කරමින්ය. එමෙන්ම ඉතා තියුණු තරගයකින් පසුව ප්‍රංය 23- 21 කින් ආර්ජන්ටිනාව පරාජය කරන ලදි. එසේම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තරගයෙන් නවසීලන්තය 23 -13 ක ජයක් ලැබුවේ දකුණු අප්‍රිකාව හමුවේදීය.
මෙවර ප්‍රථම ට්‍රයි (උත්සාහක දිනුම) රැස් කළේ රුසියාවේ කිරිල් ගොලොස්නිට්ස්කි විසිනි. එමෙන්ම ප්‍රථම හැට්ට්‍රික් ට්‍රයි (03) රැස් කළේ ජපානයේ කොටාරෝ මට්ෂුශිමාය. ප්‍රථම ඩ්‍රොප් ගෝලය වාර්තා කළේ ප්‍රංසයේ කැමිල් ලෝපෙස්ය.
කණ්ඩායම් වැඩිම ගණනක එනම් 07 ක ප්‍රධාන පුහුණුකරුවන් වශයෙන් ක්‍රියා කරන්නේ නවසීලන්ත ජාතිකයන්ය. ඒ නවසීලන්තය, වේල්සය, ජෝර්ජියාව, සැමෝවා, ජපානය, ෆීජී සහ අයර්ලන්තයටයි. මේ අතර කණ්ඩායම් 14කම ප්‍රධාන පුහුණුකරුවන් වන්නේ විදෙස් ජාතිකයන්ය.
ඔස්ට්‍රේලියාවේ රෝරි ආර්නෝල්ඩ් මෙවර තරගාවලියට සහභාගි වන උසම ක්‍රීඩකයාය. ඔහුගේ උස අඩි 6 අඟල් 10 කි. දකුණු අප්‍රිකාවේ ආර්. ජී.ස්නයිමන් ගේ උස අඩි 6 අඟල් 9 ½ කි. මීට අමතරව අයර්ලන්තයේ ජීන් ක්ලෙයින්, ජේම්ස් රයන්, රුසියාවේ ඇන්ඩ්‍රෙයි ඔස්ට්‍රියිකොව් සහ සැමෝවාහි ෆිලෝ පවුලෝගේ උස අඩි 6 අඟල් 08 බැගිනි.
මෙවරත් ඉතාලි කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ 36 හැවිරිදි සර්ජියෝ පැරිසිය. හෙතෙම ලෝක කුසලාන තරගාවලි 03 කදීම ඉතාලි නායකයාය. එමෙන්ම මෙවර ඔහු ක්‍රීඩා කරන්නේ සිය 05 වැනි ලෝක කුසලාන තරගාවලියටයි. ඒ 2003, 07, 11,15 සහ 2019 වශයෙනි. ඒ අනුව රග්බි සංගම් වැඩිම ලෝක කුසලාන තරගාවලි ගණනකට (05) සහභාගි වූ තෙවැනියා බවට පැරිසි පත් විය. ඔහුට පෙර මේ දස්කම දැක්වුයේ සැමෝවා හි බ්‍රයන් ලීමා (1991-2007) සහ ඉතාලියේම මවුරෝ බර්ගමැස්කෝ(1999 – 2015) විසිනි.
වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ අතිබහුතරයක්ම මෙවරත් තරගාවලියට සහභාගි වෙති. මේ අතර අර්ධ වෘත්තීය මට්ටමේ එමෙන්ම වෙනත් රැකියාවල නියුතු ක්‍රීඩකයෝ පිරිසකුත් තරග කරති. ඒ සැමෝවාහි ක්‍රිස් වුවියි චිත්‍ර ශිල්පියෙකි. ෆිජී දුපතේ මොසෙසේ වොකා ගිනි නිවන භටයෙකි. එමෙන්ම නැම්බියාවේ පී.ජේ. වැන් ලිල් දන්ත වෛද්‍යවරයෙකි.
මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ සියලුම රටවල් මීට පෙරත් මෙම තරගාවලියට සහභාගී වී තිබේ. ඒ අනුව මෙවර එක් නවක රටක් හෝ නොමැත. මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි 09 දීම අවම වශයෙන් අර්ධ අවසන් වටයට හෝ සුදුසුකම් ලැබූ රටවල් 03 කි. ඒ ප්‍රංසය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. 1995 වසරේ සිට දකුණු අප්‍රිකාවත් එම දස්කම දක්වා ඇත.
අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා තවමත් ශුරතාව හිමිකර නොගත් එකම රට ප්‍රංසයයි. ඔවුන්ට අනුශූරතා 03කි. ඒ 1987, 99 සහ 2011 වසරවලදීය.
මුල් වටයේ දී තරග 03ක් ජයගෙනත් ඊළඟ වටයට සුදුසුකම් නොලැබූ එකම රට වන්නේ ජපානයයි. 2015 වසරේදී ඔවුහු මෙම අමිහිරි අත්දැකීම ලැබූහ. ඉහත ජයග්‍රහණ අතරට දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පෙරළිකාර ජයත් අයත්ය. කෙසේ වෙතත් එවර ජපානය අයත් වූ කාණ්ඩයෙන් ඊළඟ වටයට යෑමේ වරම හිමි වූයේ ස්කොට්ලන්තයට සහ දකුණු අප්‍රිකාවටයි. ඒ ලකුණු අතර වෙනස අනුවය.
මෙවර සහභාගි වන රටවල් අතරින් මුල් වටය උපරිම දක්ෂතාව ලෙස දැක් වූ රටවල් ගණන 08 කි. ඒ නැමීබියාව, ඇමෙරිකාව, ජපානය, ජෝර්ජියාව, ඉතාලිය, රුසියාව, ටොංගා සහ උරුගුවේය.
අර්ධ අවසන් වටය සිය උපරිම දක්ෂතාව ලෙස දැක් වූ රටවල් 04කි. ඒ කැනඩාව (1991), අයර්ලන්තය (1987,91,95,03,11,15), ෆීජි (1987,2007) සහ සැමෝවා (1991,95) වේ.
ස්කොට්ලන්තය 1991 වසරේදී සිවුවැනියා වුයේය. වේල්සයට 1987 වසරේදී තෙවැනි ස්ථානයයි. ආර්ජන්ටිනාවටත් 2007 තරගාවලියේදී තෙවැනි ස්ථානයයි. ප්‍රංසයට අනුශූරතාම 03කි. එංගලන්තයට 2003 ශුරතාවයයි. 2007 අනුශුරතාවයයි. දකුණු අප්‍රිකාවට 1995 සහ 2007 ශුරතාවයයි. ඔස්ට්‍රේලියාව 1991 සහ 1999 ලෝක ශුරයෝය. එමෙන්ම 2003 සහ 2015 අනුශුරයෝය. නවසීලන්තයට ලෝක ශුරතා 03කි. ඒ 1987, 2011 සහ 2015 වසරවලදීය. ඔවුන් අනුශුරයෝ වූයේ 1995 වසරේදීය.
ලෝක කුසලාන වාර්තා
මෙවර තරගාවලිය ඇරඹීමට පෙර රග්බි සංගම් ලෝක කුසලානයට අදාළව වාර්තා රැසකි. මතු දැක්වෙන්නේ කිහිපයකි. තරගයක කණ්ඩායමක් වැඩිම ලකුණු රැස් කළ අවස්ථා 02කි. නවසීලන්තය 145-17 ජපානය 1995 වසරේදීය. ඔස්ට්‍රේලියාව 142-0 නැමීබියාව 2003 වසරේදීය. වැඩිම ලකුණු පරතරයක් සහිතව තරග ජයගත් අවස්ථා ලෙසටත් ඉහත තරග දැක්වීය හැකිය.
වැඩිම සමස්ත ලකුණුලාභියා වන්නේ එංගලන්තයේ ජොනී විල්කින්සන්ය. ඔහු 1999 – 2011 අතර කාලයේදී තරග 19කදී ලකුණු 277 ක් රැස් කර ගත්තේය. එහි දෙවන ස්ථානය ලකුණු 227 ක් රැස් කළ ස්කොට්ලන්තයේ ගැවින් හේස්ටිංග්ස්ටය. ඒ දස්කම ඔහු දැක්වූයේ 1987 – 95 අතර කාලයේදී තරග 13කදීය. ගැවින්ගේ පුත් ඇඩම් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වේ.
ජොනී විල්කින්සන් ලෝකප්‍රකට වූයේ 2003 අවසන් තරගයේ අවසන් මොහොතේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩ්‍රොප් ගෝලයක් රැස් කරමින් එංගලන්තයට ප්‍රථම වරට රග්බි ලෝක ශුරතාව අත්කර දීමට දායක වූ බැවිනි. ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ග්‍රාන්ට් ෆොක්ස්ය. 1987 තරගාවලියේදී හෙතෙම ලකුණු 126ක් රැස් කර ගත්තේය. 2003 වසරේදී ජොනී විල්කින්සන්ට ලකුණු 113කි.
තරගයක වැඩිම ලකුණුලාභියා වන්නේ නවසීලන්තයේ සයිමන් කල්හේන්ය. ඒ 1995 වසරේදී ජපානයට එරෙහිව ලකුණු 45 ක් රැස් කිරීමයි. එම තරගාවලියේදීම අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව ගැවින් හේස්ටිංග්ස් ලකුණු 44ක් රැස් කර ගත්තේය.
වැඩිම මුළු උත්සාහක දිනුම් හෙවත් ට්‍රයි රැස්කළ ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ නවසීලන්තයේ ජෝනා ලෝමු සහ දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානාය. ඔවුන්ට ට්‍රයි 15 බැගිනි. අද ජීවතුන් අතර නැති ලෝමු 1995 – 99 සහ හබානා 2007 – 15 අතර කාලයේදී මේ දස්කම් දැක්වූහ. තරගාවලියකදී වැඩිම ට්‍රයිලාභින් තිදෙනෙක් සම මට්ටමක සිටිති. ඒ ලෝමු (1999), හබානා (2007) සහ නවසීලන්තයේ ජුලියන් සාවියා (2015) වසරවලදීය. ඔවුනට ට්‍රයි 08 බැගිනි. තරගයක වැඩිම ට්‍රයිලාභියා නවසීලන්තයේ මාර්ක් එලිස්ය. 1995 වසරේදී ඔහු ජපානයට එරෙහිව ට්‍රයි 06 ක්ම රැස් කිරීමට සමත් විය.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ගණනකට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ද්විත්වයකි. ඒ එංගලන්තයේ ජේසන් ලෙනාර්ඩ් (1991-2003) සහ නවසීලන්තයේ රිචී මැකෝව් (2003 – 15) ය. ඔවුනට තරග 22 බැගිනි. රිචී 2011 සහ 2015 ලෝක ශුර නායකයාය. ලෝක කුසලාන තරගයකට සහභාගී වූ ළාබාලතමයා වන්නේ ජෝර්ජියාවේ වැසිල් ලොබ්ෂ්හානිඩ්ෂේය. ඔහු 2015 තරගාවලියේ ටොන්ගාට එරෙහිව තරගයට සහභාගි වන විට වයස අවුරුදු 18 දින 340කි.
ලෝක කුසලාන තරගයකට සහභාගී වූ වයස්ගතම ක්‍රීඩකයා උරුගුවේ හි දියාගෝ ඔර්මාචේයා වේ. 1999 තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කරන විට ඔහුගේ වයස අවුරුදු 40 දින 26කි. ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකදීම ලකුණු රැස් කළ එකම ක්‍රීඩකයා වන්නේත් ජොනී විල්කින්සන්මය. හෙතෙම 2003 දී ලකුණු 15ක් සහ 2007 දී ලකුණ් 06 ක් රැස් කිරීමට සමත් විය.
තරගයක් නැරඹු වැඩිම පිරිස වාර්තා වූයේ 2015 තරගාවලියේදීය. එහිදී අයර්ලන්තය සහ රුමේනියාව තරග කළහ. එය එංගලන්තයේ ලන්ඩන් නුවර සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී නැරඹූ පිරිස 89,867කි.










