ශ්‍රී ලංකාව පරාජය වී ලෝක වාර්තාව රැක ගනියි | සිළුමිණ

ශ්‍රී ලංකාව පරාජය වී ලෝක වාර්තාව රැක ගනියි

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා විසඳුමක් පෙනෙන මානයකවත් නොතිබූ බව බොහෝ දෙනා විශ්වාස කරන්නට වූහ. එහෙත් පී. සරා ඕවල් පිටියේ කාර්යය මණ්ඩලයේ වර්ෂාවට එරෙහිව කළ සටන ජයගත් බැවින් විසඳුමක් නොතිබූ තරගයක් විසඳුමකින් කෙළවර විය.


ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ළහිරු තිරිමාන්න, කුසල් ජනිත් (0), කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (7) සහ ධනංජය ද සිල්වා (1) යන පෙර පෙළ පිතිකරුවන් පස්දෙනා ම ලකුණු 28ක් පී. සරා ඕවල් පිටියේ ලකුණු පුවරුවලට එක් කර ගන්නා විට නවසීලන්තයට මේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක පහසු ජයක් හිමි විය. මේ අනුව ශ්‍රී ලංකාවට සිදු වූයේ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනපේක්ෂිත පරාජයක් වැලඳ ගන්නටය. ඒ අනුව ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 60ක් හිමි කර ගනිමින් සිංහ - කිවි ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් කර ගැනීමට සමත් විය.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත් වුවද පී.සරා පිටියේදි ශ්‍රී ලංකාව පරාජය විය. 2012 පැවැති දෙරට අතර ටෙස්ට් තරගාවලිය ද 1 - 0ක් ලෙස ගාල්ලේදි පෙරමුණගත් ශ්‍රී ලංකාව පී:සරාහිදි පරාජය විය.

මේ අනුව 2010න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පී:සරා ඕවල් පිටියේ තරග කළ තරග අටෙන් 6ක් පරාජය වී ඇති අතර ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි. ශ්‍රී ලංකාව 2015 දී පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති තරග දෙක ජයගෙන තිබේ. 2010 - 15දී ඉන්දියාවට, 2012 දී එංගලන්තයට, 2012 - 19 දී නවසීලන්තයට සහ 2017 දී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලත් පරාජයත් සමඟ 2014 සිට ශ්‍රී ලංකාවේ තරග කළ අවසන් ටෙස්ට් තරග 26 ම අඛණ්ඩව විසඳුමක් සහිතව අවසන් කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනුව ලොව එක් රටක් වැඩි ම තරග සංඛ්‍යාවක් අඛණ්ඩව තීරණයක් සහිතව අවසන් කර ගැනීමට සමත් වූ රට ලෙස ද ශ්‍රී ලංකාව අසාමාන්‍ය වාර්තාවකට හිමිකම් කියයි.
20 - 20 පළමු තරගය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20 - 20 ජගත් තරගමාලාවේ පළමු තරගය අද (01) පැවැත්වේ. ඉතිරි තරග සැප්තැම්බර් 03 සහ 06 වැනි දිනවලදී පැවැත්වීමට නියමිතය. මෙම සියලුම තරග පැවැත්වෙන්නේ මහනුවර, පල්ලෙකැ‍ලේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Comments