
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 – 2019 කාලය තුළ රුපියල් කෝටි 24,000 ක පාඩුවක් ලබා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සහ 2013 හා 2014 වර්ෂවල එළැඹී තිබූ ඒ 350 – 900 ගුවන් යානා 8 ක් අත්පත් කරගැනීමේ ගිවිසුම අවසන් කිරීමේදී පමණක් රුපියල් මිලියන 17,058.1 ක් වැනි අතිවිශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවීමෙන් රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුවී ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කළේ පසුගියදා (21) පාර්ලිමේන්තුවට වාර්තා 2 ක් ඉදිරිපත් කරමිනි.
එම වාර්තා දෙක සකස් කරනු ලැබුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසිනි. මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 11,600 කට ආසන්න මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව ද වාර්තාවේ. කෝප් කමිටුව එම වාර්තා සකස් කර තිබෙන්නේ විගණකාධිපතිවරයා විසින් පොදු ව්‍යාපාර කාරක සභාවට ඉදිරිපත් කළ නිරීක්ෂණ, නිර්දේශ හා නිගමන ආශ්රයෙනි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියන 375 ක් තිබූ අරමුදලින් ඩොලර් මිලියන 355.5 ක් ම ජංගම වගකීම් පියවීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇති බැවින් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් නැතිවීම සම්බන්ධයෙන් කළමනාකරණය වගකිව යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ බැංකු හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවලට රුපියල් බිලියන 146 ක ණය ප්‍රමාණයක් ගෙවීමට තිබී ඇත. එමෙන් ම රජයේ බැංකු හා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ගුවන් සමාගමට රුපියල් බිලියන 102 ක ණය ප්‍රමාණයක් දී තිබේ.
කෝප් කමිටු වාර්තාවෙන් හෙළිදරව් වන එම තොරතුරුවලට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ගුවන් යානා ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී උපදේශන සේවා ලබාගැනීමට, ගුවන් යානා මිලදී ගැනීමට හා කල්බදු ගැනීමට සමාගම තෝරා ගැනීම යන අවස්ථාවලදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයට අනුව කටයුතු කර නැති බව විගණකාධිපති විසින් නිගමනය කර ඇත. විධිමත් පිරිවැය ප්රතිලාභ විශ්ලේෂණයකින් තොරව නවීනතම ගුවන් යානා 14 ක් වර්ෂ 8 ක් තුළ ගුවන් යානා ඇණියට එකතු කිරීමට ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ගත් තීරණය සිය බලය ඉක්මවා ගත් තීරණයක් බව පෙන්වා දෙන එම වාර්තාව එය අසාර්ථකවීම නිසා සිදුවන පාඩුව සඳහා වගකීමට එම නිලධාරීන් බැඳී සිටින බව ද දක්වා තිබේ. එමෙන් ම ශුද්ධ වත්කම් ඍණ මට්ටමේ පවතින අවස්ථාවක එම සාකච්ඡා සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි කරවාගෙන නැත. ඊට සහභාගි වී තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පමණි.
2013 ජූනි 28, 2013 සැප්තැම්බර් 27 සහ 2014 නොවැම්බර් 12 දිනවලදී කල්බදු යටතේ මිලදී ගැනීම සඳහා උපදේශන සේවා ලබා ගැනීමට 2012 ජනවාරි මාසයේ ආයතන 4 ක් සමඟ ගිවිසුම්ගත වී ඇති අතර ඒ වෙනුවෙන් ඩොලර් 612, 345 ක් ගෙවා තිබේ. එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළේ ඒ 350 ගුවන් යානා 4 ක් මිලදී ගැනීමට ය. එහෙත් එය ක්‍රියාත්මක නොවූයේ ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ වත්කම් ඍණ අගයක් ගෙන තිබූ බැවිනි. එහෙත් අදාළ ගිවිසුම නිසා ගුවන් යානා මිලදී නොගෙන පාඩුවේ සිටින්නට ද ශ්‍රී ලංකා රජයට හැකියාවක් නැත.
එම ගිවිසුම අවලංගු කිරීම සඳහා ඩොලර් මිලියන 115.77 ක් හෙවත් රුපියල් මිලියන 17,058.1 ක් වන්දි වශයෙන් ගෙවීමට සිදු වූයේ එබැවිනි. එම ගිවිසුම අවලංගු කිරීම සඳහා නීතිපති මතය විමසීමක් ද සිදුවී නැත. අවසන් කිරීමේ ගිවිසුම සකස් කර තිබෙන්නේ එංගලන්තයේ Aviation Legal Experts යන නීති උපදේශක සමාගමේ මඟ පෙන්වීම යටතේ ය.
මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කඩා වැටීම පසුගිය රජය පැවැති කාලය තුළ සිදුවී ඇති බව සාක්ෂි සහිතව ඇස් පනා පිටම ඔප්පු වේ.
අද වනවිට වළ පල්ලට ගිය ද ශ්‍රී ලංකන් ගුවන් සේවාවට කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ශ්‍රී ලංකාව තුළ පළමු සාර්ථක ගුවන් ගමන සිදුකර ඇත්තේ 1912 වර්ෂයේ ප්‍රංශ ජාතික මාක් පෝප් විසින් කොළඹ තුරඟ තරග පිටියේදීය. නමුත් 1911 දී බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පාවිච්චිය සඳහා ‘රුවන් පැලස්’ නෞකාවෙන් බ්ලැරියම් වර්ගයේ ගුවන් යානාවක් මෙරටට ගෙන්වූ බව ද වාර්තා වේ. ලංකාව අන්තර්ජාතික ගුවන් ගමන්වලට සම්බන්ධ වූ වසර ලෙස සැලකෙන්නේ 1931 මැයි 07 වැනිදා ය. ඒ ගුවන් නැවියකු වූ නෙවිල් වින්සන්ට් ඉන්දියාවේ බොම්බායේ සිට කොළඹ රාජකීය ගෝල්ෆ් පිටියට “ඩී හැව්ලන්ඩ් පස් මොත්” යානාව ගොඩ බැස්සවීමෙනි.
ජාතික ගුවන් සේවාවක් වශයෙන් ප්‍රථම වරට ආරම්භ කෙරුණේ ‘එයාර් සිලෝන්’ ආයතනයයි. ඒ 1947 දී ය. එයාර් සිලෝන් ආයතනය 1979 දී එයාර් ලංකා ආයතනය බවට පත්විය. අධික වැය බර නිසා 1998 දී ආයතනයේ කොටස් එමිරේට්ස් ආයතනයට පවරනු ලැබිණි. එමිරේට්ස් ආයතනය ගුවන් යානා 9 ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගියේය. එමිරේට්ස් ආයතනයට පැවරීමත් සමඟම එයාර් ලංකා ආයතනය ‘ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්’ ලෙස වෙනස් විය. එහෙත් දස වසරකට පසු එම ආයතන දෙක අතර තිබූ ගිවිසුමේ කාලය දීර්ඝ නොකළ බැවින් 2008 මාර්තු 31 වැනි දිනෙන් එමිරේට්ස් අයිතිය අහෝසි වී ගියේ ය. එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටියදී එමිරේට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පීටර් හිල් මහතා සමඟ ඇති කර ගත් ගැටුමක් හේතුවෙන් මෙම ගිවිසුම දීර්ඝ නොකළ බව ද පැවසේ. ඒ වනවිට 51% ක කොටස් රජය සතුව තිබූ අතර එමිරේට්ස් ආයතනයට අයිති වී තිබූ 49% ක කොටස් ශ්‍රී ලංකන් භාරයට ගැනිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ සභාපති වශයෙන් පත් කරන ලදී.
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම එමිරේට්ස් වෙතින් ලබා ගන්නා විට ගුවන් යානා 14 ක් සහ 2008 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 4.9 ක ලාභයක් පැවතිණි. එහෙත් 2011 වර්ෂය අවසාන වනවිට රුපියල් මිලියන 202.3 ක පාඩුවක් ඇති විය. ඊට හේතු වූයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ අයථා ක්‍රියා කලාපයයි. ගුවන් යානා අවභාවිතය, මූල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ වංචා රාශියක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වාර්තා වන්නේ එම කළමනාකාරිත්වය යටතේ ය. ඒ කාලය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුදු අලියකු බවට පත් විය.
2015 පෙබරවාරි මාසයේ එවකට වරාය නාවික හා ගුවන් සේවා ඇමැති ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතා නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කළේ මෙහි දූෂණ වංචා හා සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට ය. එහිදී මතු දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි.
* 2015 පෙබරවාරි මාසයේ පත් කිරීමට පෙර කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය බලය අයුතු ලෙස භාවිත කර ඇති ද යන වග.
* ගුවන් යානා මිලදී ගැනීමේදී කල්බදු පදනම යටතේ ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති ද යන වග
* රුපියල් මිලියන 25 ට වඩා වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ හා සේවා සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතුවලදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඇති ද යන වග
* ගුවන් සේවයේ නිසි ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බාහිර මැදිහත්වීම් සිදුවී ඇති ද යන වග
සිවු පුද්ගල කමිටුවකින් සැදුම්ලත් එම වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ දූෂණ වංචා බොහෝ ය. ඒ වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර ඇත. ‘ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්’ නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවකට එම තනතුර ලබාදී තිබූ බවත් ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ තැනැත්තා අධ්‍යාපන සුදුසුකම් කිසිවක් සම්පූර්ණ කර නැතත් රුපියල් මිලියන 1 ½ ක මුදලක් මාස් පතා වැටුප් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලබා ඇති බවත් මෙහිදී අනාවරණය විය.
හිටපු ප්රබලයකුගේ පුතකුගේ කටයුතු සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර, ඈ වෙනුවෙන් නියමිත වැටුපට අමතරව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් ගෙවා තිබීම එකල ආන්දෝලනාත්මක පුවතක් වී තිබිණි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, නිලධාරීන්, දේශපාලනඥයන් හා විශේෂිත වූ සේවක සේවිකාවන් නිතර නිතර විදෙස් සංචාරවල නිරත වීමෙන් ද ආයතනයේ පාඩුව තවත් උග්‍ර අතට හැරී ඇති බව එහිදී හෙළි විය. වරක් දේශපාලනඥයෙකු ඇතුළු කීප දෙනෙකු එතෙර ගුවන් කරනම් සංදර්ශනයක් නැරඹීමට යෑම සඳහා රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් වැයකර තිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ වංචා පිළිබඳ තොරතුරු රාශියක් වැලිඅමුණ වාර්තාවෙන් පෙන්වා දුන් අතර එම වාර්තාව නීතිඥ ජේ.සී. වැලිඅමුණ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ව්‍යුහය තුළ පවතින ගැටලු කීපයක් ද පෙන්වා දෙමිනි. ඒ අතරවාරයේදී කෝප් කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතළ වංචා හා දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබීය. මේ වනවිට කෝප් කමිටුවේ පරීක්ෂණ අවසන් වී තිබේ.
“2013 දී ගුවන් යානා 7 ක් ගත්තා. ගුවන් යානා කල්බදු ගෙවීම යටතේ ලබාගැනීම නිසා ඩොලර් මිලියන 18 – 20 දක්වා මුදලක් ලීසිං ගෙවනවා. ඒ අනුව 15% - 20% අතර ප්‍රමාණයක් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා” යනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක කෝප් කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදෙන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 1234 ක් ලැබීමට තිබෙන බව ද දැනුම් දුන්නේ ය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණය බරින් මිරිකුණු ආයතනයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර ඩොලර් මිලියන 900 කට ආසන්න ප්‍රමාණයක් බවත් එම ණය ගෙවා දැමීමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතු බවත්, මුදල් අමාත්‍යාංශයට එම ණය බර භාර ගත නොහැකි බවත් ඒ පිළිබඳ රජය තීරණය කළ යුතු බවත් කෝප් කමිටුව හමුවේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ය. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරත්ව ඒජන්සියේ සභාපති තිලාන් විජේසිංහගේ අදහස වූයේ 49% ක කොටස් ආයෝජකයන්ට මුදා හැරීම සුදුසු බව ය. ඒ කෙසේ වුව ද 2020/21 දී ලැබීමට නියමිත ඒ 350 – 900 වර්ගයේ ගුවන් යානා හතර පිළිබඳ ගිවිසුම් වෙනස් කිරීමේදී ගෙවීමට සිදුවිය හැකි වන්දි මුදල් ද ඇතුළුව සමස්ත අලාභ ක්‍රියාවලියට කළමනාකාරිත්වය වගකිවයුතු බව කෝප් කමිටුවේ සභාපති ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිමිනි.
කමිටු වාර්තා පාර්ලිමේන්තු විවාද ජනතාවට හොඳින් හුරුපුරුදු ය. එහෙත් ජනතාව මුනිවත රකිමින් සිටින්නේ අවසානයේදී ‘බෙරේ පළුවකුත් නැත - නටපු තොවිලෙකුත් නැත’ යන්න හොඳින් දන්නා නිසා ය.