
* වගා කළේ හිත් හෝදිසියට ඉඩම් වෙන් කරගෙන
* ඉඩම් ඔප්පු ඕනෑ බව දන්නේ ළමයි ඉස්කෝලෙට දාන්න ගියාම
විසි කරන එඬරු දඬුත් පැළ වන රටේ අනුන්ගේ ඉඩමක හෝ මඤ්ඤොක්කා පඳුරක් බතල වැලක් සිටුවන්නට අපේ මිනිස්සු හපන්නුය. ගොවිතැනට උපන් හපන්කම් පෙන්වන දකුණේ වැසියන් තේ වවන්නට පුරුදු වුයේ සුද්දාගෙනි. දැන් සුදු ජාතිකයෝ ලංකාවේ නැති වුවද අපේ මිනිස්සු තවමත් තේ වවති. රබර් වවති. ඒ හැරුණ විට තව තවත් භෝග වගා කරති.
සරුසාරව වගා කළ ද ඒ ඉඩම්වලට අයිතියක් හිම්කම් සහතිකයක් නැත. අනාදිමත් කාලයක් තිස්සේ පරම්පරා දෙක තුනක් තිස්සේ වගා කළ ඉඩම්වලට හිමිකම් ලැබෙන විට ඔවුහු අපමණ සතුටු වන්නාහ. මේ සතුට පිටුපස සැඟවුණ කඳුළුද නැතුවාම නොවේ. වසර ගණනාවක් තිස්සේ තේ වගා කළ, ගොවිතැන් කළ ඉඩම්වලට නීත්‍යනුකූල අයිතිය ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසිනි.
පසුගිය දා හිනිඳුම්පත්තුවේ කළ සංචාරයකදී අප නොදන්නා ඉතිහාස කතා බොහොමයක් දැන ගන්න ලැබිණි. මේ කතාව අපට කියන්නේ එකල ඒ අත්දැකීම්වලට මුහුණ දුන් ඇත්තන්ම වීම මෙහි විශේෂත්වයයි.
සමුපකාර ගම්මානය
“අපි දන්න දා ඉඳලාම අපේ අම්මලා තාත්තලා කළේ වගා කරන එක. අපිත් ඉස්කෝලේ ගිහිල්ලා ආ වෙලාවේ ඉඳලාම කළේ වත්ත පිටිය එක්ක හැප්පෙන එක. මේ කෑල්ල මගේ මේ කෑල්ල උඹේ එහෙම කියාගෙන තමයි ඉඩම බෙදාගෙන තේ හිටෙව්වේ. එත් අපි කවදාවත් මේවාට ඔප්පු හෙව්වේ නැහැ. නමුත් කසාද බැඳලා දරුවන් ලැබිලා උන් ඉස්කෝලේ දාන්න ගියාම තමයි අපේ ඉඩම්වලට ඔප්පු ඕන කියලා දන්නේ. ළඟම ඉස්කෝලෙට දරුවා දාගන්නත් ඉඩමට ඔප්පුවක් ඕනෑ . එහෙව් වේලාවක තමයි ඉඩම් කොමිසමෙන් අපිට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ ඉඩම් මැනලා ඒවාට ගෙවිය යුතු මුදලත් දැනුම් දීලා තියෙන්නේ. මම නම් මගේ කොටසට මුදල් ගෙවලා අවසානයි.”
හිනිඳුම සිට හින්ගල්ගොඩ වත්තට යන අතරමඟදි හමු වූ ගමේ අයෙකු පැවසුවේ එලෙසිනි. ඔවුන්ට දැන් ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබී ඇති සේය. තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හින්ගල්ගොඩ වත්ත අවට ගම්මාන කිහිපයකි. ඒ වේවැල්දෙණිය, මහමෙදේරිය, වංගෙඩිගල, හා නැවතිමුල්ලය. මේ ගම්වලට අපූරු ඉතිහාසයක් ඇත. නමුදු ඒ ඉතිහාසය දන්නා අයගෙන් කිහිප දෙනෙක් පමණක් අදද ජීවතුන් අතර වෙති. හින්ගල්ගොඩ වත්තේ මුරකරු වන හෙන්ද්‍රක් එදා අතීතය සිහිපත් කරයි. එකල රජය හින්ගල්ගොඩ වත්ත පවරා ගත්තා ඔහුට මතකය. රජයට ඉඩම පවරාගැනිමෙන් පසු එම ඉඩම්වල පවුල් පදිංචි කරන ලදි.
කේ. ඊ. නිහාල් උපන්නේ එක්දහස් නවසිය පනස් හයේදීය. හිනිදුම සිටි ඔහු හින්ගල්ගොඩ වත්තට පැමිණෙන්නේ 1975 දීය.
“ ඒ කාලේ ජාතික තරුණ සේවා සමාගමෙන් සමූපකාර ගම්මාන හැදුවා. මේ පැත්තෙන් තෝරාගත්ත කාන්තාවන් 50 කටයි, පිරිමි 50 කටයි ඉඩම් දුන්නා. එක් අයෙකුට අක්කර දෙකහමාරක් ලැබුණා. මමත් මෙහෙට ආවේ එහෙම ඉඩම් ලැබිලා. මට මතක හැටියට මේ ඉඩම් 1981 වන තුරු තිබුණේ රාජ්‍ය වැවිවිලි සංස්ථාව යටතේ. ඉඩම් ලැබිලා ආව අපට පාන් පිටි, සිනී, පරිප්පු, කරවල වර්ග, එළවළු තෙල් ආදිය ලැබුණා. සතිපතා තමයි ආහාර නිකුත් කෙරුවේ. මම මැටි ගහලා පොල් අතුහෙවිල්ලලා ගෙයක් හදාගත්තා. ඒ කාලේ පදිංචි වුණු අය ශ්‍රමදාන ක්‍රමයට තමයි ගෙවල් හදාගත්තේ. කහ, පැෂන්, එළවළු ආදිය වගා කෙරුවා. ප්‍රධාන වගාව වුණේ තේ වගාව. ඒ කාලේ පැෂන් රාත්තල ශත දහයයි. මම මේ වත්තේ පොල් පැළ හිටෙව්වා. නමුත් අලින්ගෙන් බේරගන්න පුළුවන් වුණේ මේන් මේ ගහ විතරයි. ඒ ගහ තමයි මේ වත්තේ නැකතට හිටවපු පොල් ගහ.”
සුනිල් මාමා පවසන්නේ සිය අලුත් නිවෙස ඉදිරිපිට ඇති උස පොල් ගසක් පෙන්වමිනි. සමුපකාර ගම්මානයේ ජීවත් වුවද ඔවුන්ට මේ ඉඩම්වල හිමිකම් ඔප්පුවක් තිබුණේ නැත.
“ඒ කාලේ අලින්ගෙන් කරදරයි. හරිම දුෂ්කරයි මේ පළාත. ඒ ආව සමහර තරුණ පිරිස් මේවා දාලා යන්න ගියා. ඉන් කාලෙකට පස්සේ සමහරු ඇවිල්ලා මේ ඉඩම්වල පදිංචි වුණා. ආයෙම වවන්න පටන් ගත්තා. ගමට එන්න හරි හමන් පාරක් තිබුණේ නැහැ. බුදු මැදුර ළඟ ඉදලා ගමට පාර හැදුණේ ළඟකදී.”
සුනිල් මාමා වැඩිදුරටත් කියයි. කීර්තිසේන මාමා හින්ගල්ගොඩ වත්තේ කුඩා තේවතු සංවර්ධන සමිතියේ ලේකම් ලෙස ද වර්තමානයේ එහි සභාපති ලෙසද කටයුතු කරයි.
“අපි මේවයේ හිටියේ බොහෝම දුෂ්කරතා මැද්දේ. නියං කලවලට ගං වතුරට හැම දේටම මුහුණ දීලා තියෙනවා. දැන් මේ පළාතේ වැඩිපුරම ඉන්නේ තුන්වැනි පරම්පරාව. කිහිපවරක්ම අපිට ඔප්පු දෙනවා කියලා ඉඩම් මැන්නා. අපිත් ඒ ආව මහත්තුරුන්ට අපේ සහාය දුන්නා. අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කෙරුවා. මෙදා පාරවත් අපිට අපේ ඉඩම්වලට සාධාරණයක් ඉටුවෙයි කියන බලා පොරොත්තුව අපට තියෙනවා.
කිර්තිසෙන් මාමා සුනිල් මාමා ඇතුළු ගැමියන් සමඟ කතා කරමින් සිටින විට තවත් බොහෝ අය අපට එක් වූහ.
“ මට ඕන වුණේ දුවව තවලම ඉස්කෝලෙට දාන්න එත් ඉඩමට ඔප්පුවක් නැති නිසා ලකුණු තිහක් මදි වුණා.” තම දුක් ගැනවිල්ල පවසන්නට වුයේ චන්න ය.
මිනිසුන්ගේ ජීවිත දුක්බරය. තේවතු මැදින් දුක් විදින මිනිසුන් සොයා ගිය ගමනේදී අපට හමු වුයේ ප්‍රේමවති අම්මාය. ඇගේ දෑසේ තවමත් කඳුළු දිලිසෙනු මෙය ලියන මොහොතේදී ද මට මැවි පෙනෙයි.
ඉඩම්වලට හිමිකම් ඔප්පු
“ මම මෙහෙ පදිංචියට ආවේ 1979 දී විතර. ඒ කාලේ අපි ඉඩම් වගා කරන්න නැහුණා. දරුවන් වෙනුවෙන් නැහුණා. තවමත් අපේ දුක නිමා වුණේ නැහැ. මගෙ පුතා අසනීපයෙන් හිටියේ. ලේලි තමයි හැම දේම කළේ. දරුවෝ තුන්දෙනා බලාගත්තේ ලේලි. එයැයි මහන්සි වෙනවා දුක් විදනවා බලා ඉන්න බැහැ කියලා පුතා සිය දිවි හානි කරගත්තා. මේ දරුවන් තාමත් ඉස්කෝලේ යනවා. ඉඩම් වගා කරන්න ලේලිට තනියම බැහැ. ඉඩම මැනලා යම් මුදලක් ගෙවන්න කියලා දැනුම් දීලා තියෙනවා. එත් දුවට දැන් ඒ මුදල් ගෙවා ගන්න අමාරුයි.” මේනකා මානෙල්ගේ නැන්දනිය පවසන්නේ හිතේ දුකෙනි.
කලක් තිස්සේ පරිහරණය කළ ඉඩම්වලට හිමිකම් ලබාදීම සඳහා ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක විසින් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදි . මේ වන විට බොහෝ ඉඩම්වලට ඔප්පු ලබාදී ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඒ සඳහා කටයුතු කරන අතර හින්ගල්ගොඩදී අපට හමු වූ මේ මිනිස්සුන් කියන්නේ තමන්ට එය සතුටක්, සැනසිල්ලක් බවය.
“මට ඔප්පුව ගන්න මේ ඉඩමට දෙලක්ෂ අසූ හත් දහසක් ගෙවන් වෙලා තියෙනවා. එත් මගේ නැති බැරි කම් එක්ක මේක ගෙවා ගන්න අමාරුයි.”
සැමියාගේ හදිසි වියෝවත් සමඟ දරුවන් තිදෙනෙකු හා තනිවූ මානෙල් පවසන්නේ හැඩු කඳුළෙනි.
ඇගේ නිවෙසට ගොස් එන අතරමඟදි අප කවුදැයි විමසමින් කාන්තාවක් ආගිය තොරුතුරු ඇසුවාය.
“අපේ ඉඩම මැනලා තියෙන්නේ . තක්සේරු වටිනාකම අපි ගෙවලා තියෙන්නේ. අපිට නම් දැන් මේ ඔප්පුවලින් වැඩක් නැහැ. ඒත් අපේ දරුවන්ට වටිනවා ඔප්පුව ලැබෙන එක“ ඇය අප හා පැවසුවාය.
මීට දශක හය හතකට පෙර කැලයක්ව පැවති හින්ගල්ගොඩ වත්තේ අද බැලූ බැලූ අත ඇත්තේ තේ යායක්ය. බොහෝ ඉඩම්වල සරු සාර වගාය. වාහනයේ යන ගමන අතහැර අප ඇය සොයා ගියේ මෝටර් සයිකලයකය. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. පාර පටුය. ගල් නිසා මෝටර් සයිකලයකට හෝ යෑමට බැරිය. ඉතිරි හරිය අප ගියේ පා ගමනිනි. ඒ පේමත්තු හේවගේ කුසුමාවති අම්මා සොයාගෙනය. අය දැන් අසූ දෙහැවිරිදි වියේය.
“ ඉස්සර අපි හිටියේ බැද්දේගම. ගිංගඟ යෝජනා ක්‍රමයට චින්නු ඇවිල්ලා වැඩ කළා. අපේ ඉඩම් ගිංගඟ යෝජනා ක්‍රමයට ගියා. අපි එතැනින් මහා බෝධි වත්තට ආවා. ඉන් පස්සේ තමයි දරුවොත් එක්ක මේ මහ කැලේට ආවේ. මේ හරියට තිබුණේ අලි ගිය පාරක්. වේවැල්දෙඵිය හරියේ අපි එනකොට කවුරුත්ම හිටියේ නැහැ. මට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා . පුත්තු දෙන්නයි දුවලා පස්දෙනයි. මැටිවලින් ගේ කෑල්ලක් හදාගෙන මගෙ මනුස්සයයි මමයි දලු කඩන්න යනවා. කන්න තිබුණත් නැතත් දරුවන් ගෙදර දාලා අපි යනවා. හැන්දෑවට එනකොට පාන් ගෙඩියක් දෙකක් ගෙනැල්ලා දරුවන්ට කන්න දෙනවා.
උදේට හවසට කිලෝමීටර දහයක් විතර එහෙට මෙහෙට යනවා. හතර වටේ ගිනිමැල ගහගෙන රෑ එළි කරනවා. අපි මේ ඉඩම්වල වැව්වා. ප්‍රමාණය කොච්චර ද කියලා හෙව්වේ නැහැ. ඕන් දැන් තමයි අපිට ඉඩම් මැනලා ඔප්පු දෙන්න හදන්නේ. ඒක ලොකු පිනක්. මම අවුරුදු පනහකට වැඩියි මේකේ ජීවත් වෙන්න ඇවිල්ලා. තවමත් මගෙ අතපය හයියයි.”
කුසුමා අම්මා පවසන්නට වූයේ ගම්මිරිස් මල්ලක් හිස මත තබා ගනිමිනි.
ගමට එන පාර
“අපේ තාත්තා මැරුණේ 1994. ඒකාලෙත් මේ පැත්තට ලයිට් නැහැ. යන්න එන්න ක්‍රමයක් නැහැ. තාත්තාගේ මිනිය ගෙනාවේ තවලම ඉඳලා පෙට්ටිය කරේ තියාගෙන. දැන් නම් ත්‍රීවිල් තියෙනවා. ගේ පේන මානයට එන්නත් රුපියල් 800 ගන්නවා. ඔප්පු ලැබුණාම මේ වා විකුණන්නත් පුළුවන්ලූ. එත් මොන දුකක් වින්දත් මේවා දාලා යන්න අපිට නම් හිතක් නැහැ ”
කුසුමා අම්මාගේ දියණියක පවසන්නේ දැඩි හඬිනි. මේ කිසිවක තේරුම නොදන්නා කුසුමා අම්මාගේ මිනිබිරියෝ දොර උළුවස්සට බර දී බලා සිටි සිටිති.
හූ හඬක් දෙමින් පිළිතුරු හුවක් ද දෙමින් චුටි පැමිණියේ ගාට ගාටාය. ඇය දැන් කලක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳින්නීය.
“මමත් ගොවිතැන් කරලා ජීවත් වුණ කෙනෙක්. කරුම ලෙඩේ හැඳුණට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. දැන් මට කිසිම ආදායමක් නැහැ. මැරෙන්න කලින් ඔප්පුවක් ලැබෙන එක සතුටක්. එත් ඉතිං ඔප්පුව ලියාගන්න සල්ලි නැහැනේ”
කවුරුත් ආදරයට චූටි නමින් අමතන පනස් පස් හැවිරිදි නන්දාවතී බුලත් කහට බැඳි දත් පෙන්නා හිනැහෙයි.
සැන්දෑ අඳුර හෙමින් හින්ගල්ගොඩ ගමට වැටෙන විට අපි ගමට සමුදුනිමු. ගැමියෝ අප පසුපසින්ය.
“පත්තරේකින් අපේ ගමට ඇවිල්ලාම නැහැ.”
ඒ අතර සිටි වැඩිහිටියෙකු කියනු ඇසිණි.
අප ගමට ගියේ අවුරුදු ගානකට පසු තමන් පදිංචි වී සිටින ඉඩම්වලට හිමිකම් ලැබීම පිළිබඳ ගැමියන්ගෙන් අසන්නටය. ඔවුහු එ් ගැන සතුටු වෙති. නමුදු ඒ සතුට යට සැඟ වුණ දුක්බර කතා බොහෝය. ගම්මානය පසු කර හිනිඳුමට යන්නට එන විට දිගු රිටක්ද තුරුලු කරගෙන නිවෙස අසල වාඩි වී සිටින හෙන්ද්‍රික් මාමා හමු විය. ඔහු වසර දහ අටක් පඩි නැතිව හින්ගල්ගොඩ වත්තේ මුරකරු ලෙස කටයුතු කර ඇත.
“ ඒ කාලේ මට කියලා එකම බිම් අඟලක්වත් නැතිව මම ඔය වත්ත ආරක්ෂා කළේ. මම නම් හෙට අනිද්දා මැරෙන්න ඉන්න මිනිහා. මගෙ දරුවන්ටවත් අපි ඉන්න ඉඩම්වල අයිතිය ලැබෙන එක සතුටක්”
අතරින් පතර ඇති දත් කෑලි පෙන්වා හිනැහෙමින් ඔහු පවසයි. හින්ගල්ගොඩ ගමේ කවුරුත් යන්නේ හිනිඳුම ශ්‍රී සාසනෝදයාරාම විහාරයටය. අනගාරික ධර්මපාල තුමා විසින් සාදන ලද එම විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ බටුවන්ගල විජිත හිමිය.
“මේ ඉඩම්වල ඉන්නේ අවුරුදු ගණන් පදිංචි වෙලා වගා කරගෙන ජීවිකාව කරගෙන යන මිනිස්සු . මේ මිනිස්සුන්ට තමන්ගේ අයිතිය පවරා දෙන්න කටයුතු කිරීම බොහෝම වටිනවා.”
උන්වහන්සේ පවසන්නේ ගැමියන් ගැන උපන් කරුණාවෙනි.
ඡායාරූප- විමල් කරුණාතිලක