
බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් ජයරත්න ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් මේ වන විට හෙළි වී හමාරය. ඝාතනය පිටිපස සිටින්නේ බන්ධනාගරයේම ඉහළ නිලධාරියෙකි. එම නිලධාරියා සහ ජේලර් රත්නායක අතර කාලයක් තිස්සේ පැවැති විරසකය පුපුරා යමින් පාතාලය යොදා ඔහු ඝාතනය කළ බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. ජේලර් ජයරත්නගේ ඝාතනය මේ තරම් ඉක්මන් වන්නේ සහකාර අධිකාරීවරයෙකු ලෙස මෑතකදීම ඔහු උසස් වීමක් ලබා ගාල්ල බන්ධනාගරයට ස්ථාන මාරුවක් ලැබීමට නියමිතව සිටි බැවිනි. ඔහු සමඟ වෛර බැඳගෙන සිටි ඉහළ නිලධාරියා ජේලර් ජයරත්න ඝාතනය කරවන්නේ ගාල්ලට ඔහුගේ පැමිණිම වළක්වන්නටය.
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලයේ අපරාධකරුවන් පෝෂණය කරමින් අතමිට සරුකරගන්නා එම දූෂිත නිලධාරියා ගැන ජේලර් ජයරත්න කාලයක් තිස්සේම සිටියේ විවිධ හෙළිදරව් කෙළේය. අවසානයේදී දෙදෙනා අතර ගැටුම පුපුරා යන්නේ ජේලර් ජයරත්නගේ ජීවිතය පවා අහිමි කරවමිනි.
![]() |
ජේලර් රුවන් ජයරත්න |
ජයරත්නගේ ඝාතන විමර්ශන සිදු වන්නේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ඇල්පිටිය පොලිස් අධිකාරී ඩී.යූ. උඩුගමසූරිය, ඇල්පිටිය පොලිස් මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා සහ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ඉන්දික ගමගේ යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් එම විශේෂ පොලිස් කණ්ඩායම විසින් ජේලර් ජයරත්නගේ ඝාතකයා පමණක් නොව, ඝාතනයේ කොන්ත්රාත්කරුවන්වද මේ වන විට හඳුනාගෙන හමාරය. ඊට අනුව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇතැයි පෙනී යන්නේ දකුණේ පාතාල කල්ලි නායක පොඩි ලැසීගේ සමීපතම සගයකු වන කරන්දෙණියේ සුද්දාය.
යුද හමුදා කොමාන්ඩෝ බළකායේ වසර 12ක් සේවයේ නිරතව සිටියේ යැයි කියන ජයලත්ද සිල්වා හෙවත් සුද්දා මත්කුඩු ජාවාරමේ නිරතව සිටින දකුණ් පාතාලයේ ප්‍රබලයන් අතර ඉහළින්ම නම කියැවෙන අයෙකි. හිතහොඳ දොස්තර නමින් කරන්දෙණියේ ජනතාව අතර ප්‍රචලිතව සිටි වෛද්‍ය ප්‍රියංක ජයසිංහට 2011 වසරේ සැත්තැම්බර් 25 වැනිදා වෛද්‍ය මධ්‍යස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කරන්නේ සුද්දාය. ඒ ඔහුට ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. දකුණේ පාතාල අපරාධකරුවන්ගේ ලේඛනයේ සුද්දාගේ නම ලියැවෙන්නේ ඒත් එක්කමය.
සුද්දා සහ පොඩි ලැසී
දකුණේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන සුද්දා සහ පොඩි ලැසී අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. පොඩි ලැසීගේ ලොක්කාද වන්නේ කොස්ගොඩ සුජීය. පොඩි ලැසියාත් සුද්දාත් දෙදෙනාම සිටින්නේ බන්ධනාගාර ගතවය. පොඩි ලැසි බන්ධනාගාරගතව සිටින්නේ ත්‍රිත්ව මිනිස් ඝාතනයකට සැකපිටය. සුද්දා බන්ධනාගාරගතව සිටින්නේ මත්කුඩු ජාවාරමකටය. ඉකුත් වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා ජේලර් ජයරත්න මීටියාගොඩ පොලිසියට කොටු වන්නේද සුදාගේ මත්කුඩු තිප්පොළක සිටියදීය.
එදා මත්කුඩු සමඟ මීටියාගොඩ පොලිසිය අත්අඩංගුවට ගන්නා අය අතර ජේලර්ජයරත්න හිතවත්කම් පෑ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පාතාල ප්‍රබල සාමාජිකයෙක්ද සිටියේය. ඔහු දේමුණිගේ විජිත් ආනන්ද සොයිසා හෙවත් රංජිය. යුද හමුදාවේ හිටපු කපිතාන් වරයෙකු වූ ඔහුද හිතහොඳ දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකි.
හෙළිවෙමින් ඇති ආකාරයට අනුව සුද්දා ජේලර් ඝාතනනයේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ පොඩි ලැසියාගේ කීමටය. පොඩි ලැසියාට එම කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ බන්ධනාගාර ලොක්කාගෙනි. පොඩි ලැසී එම කොන්ත්‍රාත්තුව සිය සගයා වන සුද්දාට භාර දෙන්නේ බන්ධනාගාර ලොක්කා සමඟ ඔහුට ඇති හිතවත්කම බන්ධනාගාරය තුළ ප්‍රසිද්ධ රහසක් වන බැවින් ජේලර් ඝාතනයේ සැකය ඔහු වෙත එල්ල නොවන්නටය. ජේලර් ඝාතනය වන දින ඔහු ගාල්ල බන්ධනාගාරයේ රැදී නොසිටින්නද ඒත් එක්කම වග බලාගත්තේය. ගාල්ල බන්ධනාගාරය තුළ තමන්ට ජීවිත තර්ජන ඇතැයි සඳහන් කරමින් ඝාතනයට දින කිහිපයකට පෙර ලැසී මැගසින් බන්ධනාගාරයට එන්නේ ඒ අනුවය.
![]() |
කරන්දෙණියෙ සුද්දා |
මැගසින් බන්ධනාගාරයේ ලැසියා රඳවා තැබෙන්නේ රත්මලානේ බේකරියා රඳවා සිටි සිර මැදිරියේය. මත්කුඩු ජාවාරමකට බන්ධනාගාරගතව සිටින බේකරියා බන්ධනාගාරයේ අල්ලන්නට හැකි සෑම අත්තකම අල්ලාගෙන සිටින්නෙකි. ඒ නිසාම බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතා කිරීමට ඔහුට තහනමක් නොවීය. ජේලර් ජයරත්න මරා දමන්නට පොඩි ලැසී, ගාල්ල බන්ධනාගාරයේ සිටි සුද්දාව මෙහෙයවන්නට වූයේ බේකරියාගේ ජංගම දුරකතනයක් යොදාගෙනය.
ඝාතන සැලසුම
![]() |
පොඩි ලැසී |
විමර්ශනවලින් හෙළි වෙමින් ඇති ආකාරයට ජේලර් ජයරත්න මරාදැමීමට යොදා ගන්නේ කුලී ඝාතකයෙකි. ඔහු රත්ගම පැත්තේ අයෙකි. ඔහුව හඳුන්වන්නේ වසන්ත කියාය. ඝාතන කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂයකි. එම ලක්ෂය මුදල ඔහු අතට පත් වන්නේ සුද්දාගේ මත්කුඩු ජාවාරමේ පුරුකක් වන මංජු මඟිනි. ඔහු තිරාණගම පැත්තේ සංචාරක නිවාඩු නිකේතනයක් බලාකියා ගන්නා සේවකයෙකු ලෙස පෙනී සිටින්නෙකි. නාවික හමුදාවෙන්ද පලා ඇවිත් සිටින සෙබළෙකි. සුද්දාගේ මත්කුඩු බෙදා හැරීමේ තිප්පොළක් වන්නේ එම සංචාරක නිවාඩු නිකේතනය බව සඳහන්ය. ජේලර් ජයරත්න ඝාතනයට අවශ්‍ය මුදල් බැරවෙන්නට වූයේ මංජුලගේ බැංකු ගිණුමටය. වෙඩික්කරුට රුපියල් ලක්ෂයක් දෙන්නේ එසේ බැරවුණු මුදලිනි. එදා ජේලර් ජයරත්නට වෙඩි තැබූ වසන්ත ගමන්ගත් යතුරු පැදිය රැගෙන එන්නේ ලොක්කාය. එදා එම යතුරු පැදිය පදවන්නේද ලොක්කාය.
ජේලර් ජයරත්නට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු වසන්තට පලා යෑමට මෝටර් රථයක් පවා සූදානම් කර තිබී ඇත. එම මෝටර් රථය පන්නිපිටියේ වාහන කුලී ආයතනයකින් ලබාගන්නේ ජේලර් ඝාතනයට පෙර දිනයේදීය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තිරාණගම සංචාරක නිවාඩු නිකේතනයට රැගෙන පැමිණි එම මෝටර් රථය නැවතත් වාහන කුලී ආයතනයට භාරදෙන්නේ ඝාතනයෙන් පසු දින අධිවේගී මාර්ගයෙන්ම රැගෙන ගොසිනි. එදා ජේලර් ජයරත්නට වෙඩි තබන විට එම මෝටර් රථය නතර කර තිබෙන්නේ අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝ මිටරයක් පමණ ඈතිනි. එහි මංජු මෙන්ම සංචාරක නිවාඩු නිකේතනයේ සේවකයෙක් වන ගනේෂ්ද සිටියේය.
සුද්දාගේ මත්කුඩු ජාවාරමේ ගනේෂ්ද පුරුකකි. ජේලර් ජයරත්නට වෙඩි තැබීමෙන් පසු වසන්ත නිරුපද්‍රිතව රැගෙන එන ලොක්කා මෝටර් රථයට ගොඩ කර අතුරුදන්වන්නේ යතුරු පැදියද සඟවමිනි. වසන්ත මෝටර් රථයෙන් බසින්නේ හික්කඩුවෙනි. ජේලර්ට වෙඩි තැබූ ටී 56 අවියද රැගෙනය.
මේ ආකාරයට ජේලර් ජයරත්නගේ ඝාතනය සැලසුම් ප්‍රකාරව සිදුවූ බව දැනගත් සැණින් සතුටින් පිනා යන්නේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පොඩි ලැසියාය. එම සතුට ඔහු එදා සමරා ඇතැයි පැවසෙන්නේ බේකරියා බදාගෙන කෑමොර දෙමිනි.