බ්‍රිතාන්‍ය ආණ්ඩුව තෙවැනි වරටත් අගමැති පුටුව මාරු කරයි | සිළුමිණ

බ්‍රිතාන්‍ය ආණ්ඩුව තෙවැනි වරටත් අගමැති පුටුව මාරු කරයි

බ්‍රිතාන්‍ය යළිත් ස්වකීය පාලන තන්ත්‍රය කොතරම් දියුණුද, කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද යැයි උදාහරණ සහිතව පෙන්වා දී තිබේ. ඒ එරට ආණ්ඩු පක්ෂය වන කන්සර්වටිව් පක්ෂය තුන් වැනි වරටත් අගමැති පුටුව මාරු කිරීමෙනි. ඒ අනුව පසුගිය බදාදා සිට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ පනස් පස් හැවිරිදි බොරිස් ජොන්සන්ය.

පසුගිය මැතිවරණයෙන් බලයට පත් වීමෙන් පසු කොන්සර්වටිව් පක්ෂය මුහුණ දුන් අර්බුද බොහෝය. ඒ අතරින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ තීරණය සම්මත කරගැනීම සහ එය ක්‍රියාත්මක කිරීම ඉදිරියෙන්ම විය. ඒ අභියෝගවලට ආණ්ඩුවේ මුල් කාලීන අගමැතිවරුන් සාර්ථකව මුහුණ දුන් නමුදු තවදුරටත් තමන් ධුරයේ කටයුතු කිරීම අසාර්ථක බව ඔවුන්ගේ මතය විය. ඒ අනුව පසුගියදා අගමැතිනි තෙරේසා මේ ස්වකීය ධුරයෙන් ඉවත් වූ අතර පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමෙන් පසු මීළඟ පක්ෂ නායකයා සහ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස බොරිස් ජොන්සන් පත් විය.

විදේශ ප්‍රතිපත්තියේදී කෙසේ වුවද රට අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නියම ලෙසටම ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ දේශපාලනයේ නායකයෝද, නායකත්වය හෙබවීමට සුදුස්සෝද සුලබය. ජනතා ඡන්දයෙන් තේරී පත් වන නායකයන් යම් හෙයකින් තමන් අසාර්ථක යැයි ස්වයං තක්සේරුවට අනුව තීරණය කරන්නේ නම් ධුරයෙන් සමුගැනීමට පසුබට වන්නේ නැත. පසුගිය බදාදා දක්වා බ්‍රිතාන්‍යය පාලනය කළ තෙරේසාමේ අගමැතිනියද, ඇයට පෙර අගමැතිධුරය හෙබවූ ඩේවිඩ් කැමරන්ද අයත් වන්නේ එකී නායකයන් අතරටය.

කැමරන්ගේ ඉවත් වීමෙන් පසු පක්ෂ නායකත්වයට සහ අගමැතිධුරටය පත් වූ තෙරේසා මේ අසාර්ථක නායිකාවක ලෙස කිසිසේත් හැඳින්විය නොහැකිය. ඇයට මුහුණ දීමට තිබූ ප්‍රබලතම අභියෝගය බ්‍රෙක්සිට් වූ අතර ඇය ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකීමෙන් යුතුව මුහුණ දුන්නාය. එහෙත් ඇය තවදුරටත් තමන් ධුරයේ කටයුතු කරනවාට වඩා ධුරයෙන් ඉවත් වීම වඩා සුදුසු යැයි තීරණය කිරීමට තරම් පරිණත මනසක් සහිත නායිකාවක වූවාය. අනෙක් අතට මේ ක්ෂණික ධුරය හැරයෑමේදී නායකත්වය බාරගැනීමට තරම් ශක්තිමත් දෙවන පෙළ නායකත්වයක් බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂවල සිටී.

තෙරේසා මේගෙන් පසු පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය සඳහා කන්සර්වටිව් පක්ෂයේම දෙවැනි පෙළ නායකයකු වන ජෙරමි හන්ට් සමඟ තරග වැදීමට බොරිස් ජොන්සන්ට සිදු විය. මෙය ඉතා විනිවිද පෙනෙන නායකත්වය තේරීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. අවසානයේ බොරිස් ජොන්සන් ජයග්‍රහණය ලැබූ පසු හන්ට් පවසා සිටියේ තමා ඔහුට හොඳ තරගයක් ලබා දුන් බවත් බොරිස් හොඳ අගමැතිවරයකු වනු ඇති බවත්ය. ඒ හැර චෝදනා හෝ දෝෂාරෝපණය කිරීම් එහි දක්නට ලැබුණේ නැත. හන්ට්ට පක්ෂයෙන් ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 34ක් විය.

මේ වන විට හිටපු අග්‍රමාත්‍යවරියගේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කරමින් සිටින ජොන්සන් අග්‍රමාත්‍යවරයා අගමැති වීමට පෙර බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ධූරය හෙබවූයේය. 2008 සිට 2016 දක්වා ලන්ඩන් නගරයේ නගරාධිපති ධුරයද හෙබවූ ඔහු උපතින්ම ධනවතෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටී.

1964 වර්ෂයේදී ඔහුගේ උපත සිදු වන විට ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික මවුපියන් පදිංචි වී සිටියේ අමෙරිකාවේය. පසුව යළිත් බ්‍රිතාන්‍යයට පදිංචියට පැමිණෙන බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ ඊට්න් විද්‍යාලය ඇතුළු යුරෝපයේ විවිධ රටවල පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හදාරා සිටියේය. වැඩිදුර අධ්‍යාපනය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලබාගත් බොරිස් ජොන්සන් විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම්ද ලබා තිබේ. කොටින්ම කිවහොත් ඔහු කලක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයටද සම්බන්ධව කටයුතු කර තිබේ.

රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධව යුරෝපා රටවලට විශේෂයෙන්ම ප්‍රංසයට ගැටලුවක් නොවූවද බ්‍රිතාන්‍යයේදී එය නොසලකා හැරෙන්නේද නැත. මේ දක්වා බ්‍රිතාන්‍ය අගමැතිවරුන් සම්බන්ධයෙන් පෞද්ගලික ජීවිතවල චෝදනා නැති වුවද වර්තමාන අගමැතිවරයාට නම් එය කෙසේ වේ දැයි පැවසිය නොහැකිය.

ඔහු තම දෙවැනි විවාහයේ බිරියගෙන් පසුගිය වසරේදී වෙන් වූ අතර ලෝකයේ ඉතා විශ්වාසදායීම සහ ප්‍රබලම තොරතුරු මාධ්‍යයක් ලෙස සැලකෙන විකිපීඩියා විශ්වකෝෂයේ බොරිස් ජොන්සන්ගේ දරුවන් සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ පහක් හෝ හයක් වශයෙනි. එනම් ඔහුගේ දරුවන් සංඛ්‍යාව නිශ්චිතව පැවසීමට නොහැකි වී තිබේ.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය ජනතාව මේ මොහොතේදී අගමැතිවරයාගේ දරුවන් සංඛ්‍යාවට වඩා ලබන ඔක්තෝබර් මාසයේදී තීරණාත්මක ලෙස සිදුවීමට නියමිත යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු ඔහු කෙසේ සිදු කරනු ඇත්දැයි අවධානය යොමු කරනු ඇත. ධුරයට පත් වී සිදු කළ ප්‍රථම කතාවෙන් ඔහු පවසා සිටියේ ලබන ඔක්තෝබර් 31 වැනිදා වන විට යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුතු නිශ්චිත වශයෙන්ම සිදු කරන බවයි.

ඒ සියල්ල හමුවේ බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂය මැතිවරණයක් ඉල්ලා සිටිමින් විරෝධතා පවත්වමින් සිටී. එහෙත් කොන්සර්වටිව් පක්ෂය කෙසේ හෝ දුෂ්කර මාවතක ගමන් කරමින් ආණ්ඩුවද පවත්වා ගනිමින් බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම කරා සාර්ථකව පිය නගමින් සිටී.

Comments