
තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. “මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා අවසන් තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාවක් දෙන්න කියලා.ඒත් මගේ නමින් අවසන් තරගය නම් කරලා තියෙනවා. මම හිතන්නේ නෑ අවසන් තරගය ලැබෙයි කියලා. බංග්ලාදේශය සමඟ තියෙන එක්දින තරග තුනට නම් කරලා තියෙන සංචිතයේ මගේ නම නෑ. ඒ හින්දා මම හිතන්නේ නෑ අවසන් තරගයක් ලැබෙයි කියලා.”
“විශේෂයෙන් මාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මොකද එයාගේ ඉල්ලීමට තමයි මම ගැන ආයෙත් සමාජයේ කතාබහක් ඇති වුණේ. දුකක් නෑ. ක්‍රිකට් ක්‍රීඩා කළෙත් සතුටින්, යන්නෙත් සතුටින් නිසා” මේ නුවන් කුලසේකර සිය ක්‍රිකට් දිවියට තිත තබමින් පැවැසු සමස්ත කතාවේ සාරංශයයි.
අසන්ත ද මැල් මොන තරම් පම්පොරි ගසා ගෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා යැවුවත් මූලික වටයේ තරග අවසන් වීමටත් පෙර ම ශ්‍රී ලංකාවට වසර 20කට පසු මූලික වටයෙන් ම ඉවතට විසිවීමට සිදු විය. ඒ මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරමය!. තේරීම් කමිටු සභාපති අසන්ත මැල් ළඟ තබා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේ ලෝක කුසලාන තරගාවලියට නම් කළ කණ්ඩායම තනිකරම නම් ගොඩක් පමණකි යන්නයි.
අද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සුළුතරයකගේ රුචි අරුචිකම් මත ලෑල්ලේ ඉත්තන් එහාට මෙහාට කරන ගුබ්බෑයමක් බවට පත්ව තිබේ. මෙකි ගුබ්බෑයම්කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ වැටී ඇති වළෙන් ගොඩ ඒමට නොව ඒ තුළම ලැග ගෙන සිටීම බව ඔවුන්ගේ කියුම් - කෙරුම්වලින් පැහැදිලිය. අන්තර්ජාතික වශයෙන් පවත්වන ක්‍රිකට් තරගාවලි සඳහා පවා ඇහින්දාස් කණ්ඩායමක් නම් කර එකී තරගාවලිය නියෝජනය කිරීමට පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් යොමු වීම අද මෝස්තරයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ඉදිරිපත්වන සෑම තරගාවලියක්ම ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බව පැහැදිලිය. එහෙත් දක්ෂයන් කපා දමා ගෙන යන ගමන්වලට නම් හැකි ඉක්මනින්ම නැවතීමේ තිත තැබිය යුතුය. එය එසේ නොවන තාක්කල් අපට ඉදිරි ගමනක් නැති බව පැහැදිලිය.
බංග්ලාදේශය එක්දින තරග තුනකට සහභාගී වීම සඳහා මෙරට සංචාරයකට එක්ව තිබෙන අතර, ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙයි. වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ 2020 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන ක්‍රීඩකයන් තෝරා ගැනීමේ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ කොළඹ කණ්ඩායමට ජය හිමි කර දෙමින්ය. අනු ශූරතාව දඹුල්ලට හිමි වූ අතර, තෙවැනි ස්ථානය ගාල්ලට සහ සිවුවැනි ස්ථානය මහනුවරට හිමි විය. මෙවර සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ, දඹුල්ල, මහනුවර, සහ ගාල්ල කණ්ඩායම් සහභාගී විය.
මේ තරගාවලිය අපට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට දකිනවා. විශේෂයෙන් එළැඹෙන ආසියානු සහ ක්‍රිකට් ලෝක කුසලාන දෙක ඉලක්ක කර ගෙන අපට සංචිතය තෝරා ගන්න ක්‍රීඩකයන් දක්වන දස්කම් වැදගත් වෙයි. මේ තරගාවලියට කණ්ඩායම් තෝරා ගන්න කොට, මේ කණ්ඩායම්වල සංයුතිය හදන්න ඕනෑ ක්‍රමය මොකක්ද කියලා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න පැවසීය.
හෂාන් වැඩි දුරටත් පැවැසුවේ. දැනට ජාතික සංචිතයේ ඉන්න ක්‍රීඩකයන්ට මේ අලුත් ක්‍රීඩකයන් හොඳ අභියෝගයක් වෙයි කියලා හිතනවා. මේ පළාත් තරගාවලියට තෝරා ගැනිමේ තරගවලින් තමයි ක්‍රීඩකයන් තෝරා ගන්නේ. උතුරු පළාතින් දස්කම් දක්වපු ක්‍රීඩකයන් හතර දෙනෙක් මේ පළාත් තරගාවලියට එකතු වුණා. ඒ වගේම දැනට වයස අවුරුදු 19න් පහළ සංචිතයේ ඉන්න ක්‍රීඩකයකුත් මේ තරගාවලියට එකතු වුණා. යැයි හෂාන් තිලකරත්න වැඩිදුරටත් පැවැසීය.
එළැඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු සහ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙක ඉලක්ක කරගෙන පවත්වන ලද ක්‍රිකට් තරගාවලිය පිළිබඳ පවා බලධාරීන්ට සතුටු විය හැකි දැයි නොදනිමු. දක්ෂතාවලට මුල් තැන දෙමින් මෙකී තරගාවලියට කණ්ඩායම් හතර නම් කළ බව බලධාරීන් පැවසුව ද මේ තරගාවලිය හරහා ඔවුන් බලාපොරොත්තු වූ ඉලක්කවලට හෝ යාමට හැකි වුවාද යන්න නොදනිමු.
එළැඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය සහ ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා තරග අටකින් සමන්විත පළාත් ක්‍රිකට් තරගාවලිය පමණක් උපයෝගි කර ගන්නේ නම් ලාංකේය යොවුන් ක්‍රිකට් ක්ෂේත්‍රයට දෙයියන්ගේම පිහිට පමණි.
ඒ වෙෙනකක් නිසා නොව, නිමා වූ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට (ශ්‍රී ලංකා ක්‍රිකට්/ තේරීම් කමිටුව) උපයෝගී කර ගත්තේද මෙවැනිම තරගාවලියක් බවත් ප්‍රකාශ කිරීමයි. එහිදී එකී තරගාවලියේ දස්කම් දැක්වූවන්ට වැඩි ඉඩක් ලබා දුන් බවත්. වැඩිදුරටත් පැවැසීය. මෙවැනි තරගාවලි හරහා කරන තෝරා ගැනීම් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට නොව, දියකර හැරීමට නම් ඉවහල් වන බව සක්සුදක් සේ පැහැදිලිය. මේ තරගාවලිය පුරාම ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩකයන් හැටකටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒ අතර මුළු ලකුණු 50 ට අඩුවෙන් රැස් කළ පිතිකරුවන් සංඛ්‍යාව 24කි. එක් කඩුල්ලක් දවා ගත් පන්දු යවන්නන් සංඛ්‍යාව 9කි. එක කඩුල්ලක් හෝ දවා නොගත් පන්දු යවන්නන් සංඛ්‍යාව 9කි.
මෙරට ක්‍රිකට් තේරීම් කමිටු ජාතික, ඒ කණ්ඩායම, යොවුන් හෝ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් තේරීමේ මෑත කාලයේ ගත් ඇතැම් තීරණයන් කැකිල්ලේ තීරණයන්ට පවා දෙවැනි නැත. මෙවැනි රට රවටන - හිනස්සන ගැලවිජ්ජා මගින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට වන හානිය අවම කර ගැනීමටවත් හැකිවේදැයි නොදනිමු. තේරීම් කමිටුවල තේරීම් ගැන අවබෝධයක් ලබා ගැනීමට ක්‍රිකට් විචාරකයන්ම විය යුතු නොවන බව මෙරට බලධාරීන් කටයුතු කරන ආකාරය අනුව පැහැදිලිය.










