ශ්‍රී ලංකාවේ ඉරණම විස‍ඳෙන තරග දෙක | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ඉරණම විස‍ඳෙන තරග දෙක

ඇෆ්ගනිස්තානය ඉන්දියාව මෙල්ල කළ ආකාරය පිළිබඳ මනා අවබෝධයකින් සහ අධ්‍යයනයකින් කටයුතු කිරීම එකී තරගයට වඩා වැදගත්ය. එංගලන්තය පවා පරාජය කළ නොහැකි බවට පැවැති මතවාද ක්‍රීඩා පිටිය තුළදී හොඳින් තරගයක් සියතට ගැනීම මඟින් පාලනය කර ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවන් වික්‍රමයන් කළහැකි කණ්ඩායම බවට ප්‍රචලිතව තිබෙන්නේ ද ශ්‍රී ලංකාව බව අමතක කළ යුතු නොවේ.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි තුනකදී ශ්‍රී ලංකාව අඛණ්ඩව එංගලන්තය (2007 දී සුපිරි අටවටයේදී ශ්‍රී ලංකාව 235 - එංගලන්තය 233, 2011 දී අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය 229/6 - ශ්‍රී ලංකාව 231/0, සහ 2015 දී එංගලන්තය 309/06 - ශ්‍රී ලංකාව 312/01) පරාජය කරමින් පැමිණි අපරාජිත භාවය තවත් සිවු වසරකට ආරක්ෂා කර ගැනීමට මෙවර ද සමත්වීම විශේෂත්වයකි. එමෙන් ම මෙවර ශ්‍රී ලංකා - එංගලන්ත තරගය පැවැති ලීඩ්ස් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව එංගලන්තය පරාජය කල තෙවැනි වතාව ද මෙය වෙයි. 2006 දී කඩුලු හයකින්, 2011 දී ලකුණු 69කින් සහ මෙවර (ශ්‍රී ලංකාව 232/9 - එංගලන්තය 212/10) ලකුණු 20කින් එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තානය හැර වෙනත් කිසිම ප්‍රධාන පෙළේ කණ්ඩායමක් තරග දහයකදී පරාජය කිරීමට නොහැකිවීම ද කැපී පෙනෙයි. මෙවර එංගලන්තය පරාජය කිරීමට පෙර 2018 දී ශ්‍රී ලංකාව අවසන් වරට ජය හිමි කර ගෙන තිබුණේ ද එංගලන්තයට එරෙහිවය.

එංගලන්තය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ලද දෙවැනි පරාජය මෙය විය. ඊට පෙර එංගලන්තය පාකිස්තානය අතින් පරාජය විය. ජයග්‍රහණයක් සොයමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන් ම ක්‍රීඩා ලෝලයන්ට ද මෙකී ජය සැනසුමක් ගෙන දුන් බව නොරහසකි. මෙකී තරගයේදි සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසි ලසිත් මාලිංග පිළිබඳ මෙවර තරගාවලියට සන්නාම තානාපතිවරයකු ලෙස එක්ව සිටින මහේල ජයවර්ධන ප්‍රශංසා මුඛයෙන් කතාකර තිබීම කාගෙත් අවධානයට යොමු විය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදි මාලි ඉදිරියට ඇවිත් දස්කම් දක්වලා තියෙනවා. පසුගිය කාලය පුරාම මාලි දක්ෂතා අතර සිටීම සතුටට කරුණක්. අලුත් පන්දුව මාලිට අලුත් දෙයක් නෙවෙයි. පරිණත ක්‍රීඩකයන් මේ වගේ දැවැන්ත තරගවලදි විශේෂ දක්ෂතා දක්වනවා. මාලි ඒ දේ හරියට ම කළා. බට්ලර් සහ රූට් දවා ගැනීම වෙනුවෙන් යොමු කළ පන්දු විශිෂ්ටයි. මෙවර ලෝක කුස‍ලාන තරගාවලියට පැමිණි රටවල් දහයෙන් අඩු ම අවධානයක් දිනා ගත් කණ්ඩායම් අතර ඉදිරියෙන් ම සිටි කණ්ඩායමක් ලෙස ද ශ්‍රී ලංකාව පසුවිය. මහේල මෙහිදී වැඩිදුරටත් පවසන්නේ මේ නොසිතූ (එංගලන්ත) ජය අවසන් පූර්ව වටය සඳහා බලාපොරොත්තු මෙන් ම තරගකාරිත්වය ද ඉහළ නංවන බවයි.

තවමත් ලොව අංක එකේ පසුවන එංගලන්තය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙතින් ලැබූ පරාජයන් සමඟ යම් තිගැස්මකට ලක්ව සිටින බව රහසක් නොවෙයි. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති තරගය දෙපිලට ම වැදගත් විය. මේ තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 64ක ජයක් ලැබීය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර අවසන් පූර්ව වටයේ තරග සඳහා සිහිනය හඹා යාමේ සටනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වීම තුළ ඔස්ට්‍රේලියාවට, ඉන්දියාවට, නවසීලන්තයට, එංගලන්තයට දැන් තමන් හඹා එන ශ්‍රී ලංකාව ගැන සැලකිලිමත් වීමට සිදුවී තිබීම කාගෙත් අවධානය දිනා ගත් කරුණක් වී තිබේ.

ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කිරීමෙන් අනතුරුව මේ මැජික් එක කරන්න පුළුවන් ශ්‍රී ලංකාවට විතරයි. මෙවර විස්තර විචාරකයකු ලෙස එක්ව සිටින සංගා පැවැසීය. මෙවර තරගාවලියට මහත් බලාපොරොත්තු සහිතව එක්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරම්භයේදි ප්‍රබල පසුබෑමකට ලක්විය. මේ දක්වා ජය හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ ඇෆ්ගනිස්තාන තරගය පමණි. ශ්‍රී ලංකාව සමඟ තරගය 28 දා (සිකුරාදා) පැවැත්වීමට නියමිතව තිබුණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මාක්‍රම් පාකිස්තාන් තරගයට පෙර පවසා සිටියේ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව තරග කළ ආකාරය ආදර්ශයට‍ ගෙන තරග කළ යුතු බවය. ශ්‍රී ලංකාව දක්ෂයි, නමුත් පසුබෑමකට ලක්වෙලා ඉඳලා ඔවුන් එංගලන්තය විශිෂ්ට විදියට පරාජය කළා. මාක්‍රම් වැඩිදුරටත් පැවැසුවේ කණ්ඩායමකට එදා දවසේ පිටියේ දස්කම් දක්වන්න පුළුවන් නම් ඕනෑ ම ප්‍රතිවාදියකු පරාජය කළ හැකි බවය.

මෙවර තරගාවලියේ ඕනෑ ම දෙයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඒක ඔප්පු කළා. ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ වීරයා වූ මාලිංග පිළිබඳ බොහෝ දෙනා විවිධ අදහස් පළ කළහ. මාලිංගගේ පන්දු යැවීම ඇදහිය නොහැකි තරම් විශිෂ්ට බව නසාර් හුසේන් ප්‍රකාශ කළේය. හුසේන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවන් පන්දු යැවීමක් කරන්න පුළුවන් මාලිංගට පමණක් බවයි.

අප හා ඔවුන් (ශ්‍රී ලංකාව) අතර තිබුණු එකම වෙනස මාලිංග බව ප්‍රකාශ කළේ එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ය. මාලිංග තරගය හරවා ගත්තා නෙවෙයි අපෙන් උදුර ගත්තා මෝර්ගන් වැඩිදුරටත් පැවැසීය.

මාලිංග අවසන් පන්දුවාර කිහිපයේ ලොව විශිෂ්ටයා බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක්ය. මේ අතර බටහිර ඉන්දීය ‍කොදෙව්වෙන් බිහිවූ විශිෂ්ටයකු වන සර් විවියන් රිචඩ්ස් මාලිංග ගැන ප්‍රකාශ කර තිබුණේ, අරවින්ද ද සිල්වාගෙන් පසු වූ හොඳම දෙය නම් මාලිංග බවයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට යෑමට නම් ක්‍රීඩකයකුගෙන් දෙන්නෙකුගෙන් ඒ ගමන යා නොහැකි බව පැහැදිලිය. සාමූහිකව කණ්ඩායමේ 11 දෙනා හැකිතාක් දස්කම් පෑමෙන් මිස මාලිංග, මැතිව්ස්, දිමුත් හෝ කුසල් ජනිත් දිහා බලාගෙන ඉදිරියට යා නොහැකි බව පැහැදිලිය. මොන තත්ත්වයක් යටතේ වුවද අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි තරග සියල්ල ම ක්‍රීඩා කළ යුතුය. අවිශ්ක ගොඩනඟන කුමන හෝ ඉනිමක් අනෙක් අන්තයේ පිතිකරුවා ඉදිරියට ගෙන යෑමට දිරිදිය යුතුය. අවිශ්ක සිය පළමු ලෝක තරගයේ අර්ධ ශතකය මඟ හැරුණේ මේ අවධානය යොමු නොවීම නිසාය.

ශ්‍රී ලංකාවට මූලික වටයේ ඉතිරිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව සමඟ තරග දෙකයි. තව කවුරුන් හෝ අනෙකා පරාජය කරන තෙක් බලා නොසිට ප්‍රතිවාදින් පරාජය කරමින් ඉදිරියට යාමට අදිටන් කරගත යුතුය. විශේෂයෙන් ඇෆ්ගනිස්තානය ඉන්දියාව මෙල්ල කළ ආකාරය පිළිබඳ මනා අවබෝධයකින් සහ අධ්‍යයනයකින් කටයුතු කිරීම එකී තරගයට වඩා වැදගත්ය. එංගලන්තය පවා පරාජය කළ නොහැකි බවට පැවැති මතවාද ක්‍රීඩා පිටිය තුළදී හොඳින් තරගයක් සියතට ගැනීම තුළින් පාලනය කර ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවන් වික්‍රමයන් කළහැකි කණ්ඩායම බවට ප්‍රචලිතව තිබෙන්නේ ද ශ්‍රී ලංකාව බව අමතක කළ යුතු නොවේ.

Comments