ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50 මාලිගෙන් | සිළුමිණ

ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50 මාලිගෙන්

ලෝක ක්‍රිකට් ඉතිහාසයට නවතම වාර්තා රැසක් බිහිකරමින් මේ වන විට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග බිම උණුසුම් වෙමින් පවතී. ශීතල එංගලන්තය උණුසුම් කරමින් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරග මිලියන ගණනක් වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයකට පත්කර තිබේ.

1996 ලෝක කුසලානයට හිමිකම් කීමට හැකියාව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් 2019 තරගාවලියේ එම කුසලානය අසලටවත් නොයන බවට ඇතැම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ ප්‍රකාශ කළහ.

ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අවිනිශ්චිත භාවය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම වේලාවක ජයග්‍රාහි මාවතට පිවිසීමේ කණ්ඩායමක් බවට සනාථ කරමින් ප්‍රබල එංගලන්ත පිල ඉකුත් සතියේදී පරාජයට පත් විය.

එහිදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙම තරගාවලියේ කණ්ඩායමක් ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වූ අතර ප්‍රබල එංගලන්ත කණ්ඩායමට ලැබුණු පහසුම ඉලක්කය ද විය.ලකුණු 232 පමණක් එංගලන්තයට ලබා ගැනීමට තිබූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්තයට ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 212 පමණි.

මෙහිදී ලසිත් මාලිංග යළිත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු හතරක් ලකුණු 43කට දවාගනිමින්ය.

එතෙක් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ලබා ගැනීමට සමත් වූ වසීම් අක්රම්ගේ වාර්තාව බිඳ දැමීමට ලසිත් මාලිංග මෙම තරගයේදී සමත් විය. ඒ අනුව ලෝක කුසලාන තරග 26 කට සහභාගි වී ඉනිම් 25කදී කඩුලු 50 බිඳ දැමීමට ලසිත් මාලිංගට හැකි වී තිබේ.

ලසිත් මෙතෙක් ලෝක කුසලාන තරග 26 කට සහභාගි වී ඉනිම 25 කදී පන්දුවාර 202 ක් යවා ලකුණු 1097 කට කඩුලු 51 දවා ගෙන ඇති අතර එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 25ට කඩුලු 5කි.

1983 අ‍ගෝස්තු මස 28 වැනි දා මෙලොව එළිය දුටු ලසිත් මාලිංග මේ වන විට 35 වන වියේ පසු වෙයි.

ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ලබා ගැනීමට සමත් වී ඇති ලසිත් එක්දින තරග 222කට සිය දායකත්වය ලබා දෙමින් කඩුලු 330 ක් ද විස්සයි විස්ස තරග 73 කදී කඩුලු 97 ක් ලබා ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටිය ජයගෙන තිබේ.

ලසිත් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දිය‍ාවේද ඉමහත් ජනප්‍රිය ක්‍රීඩකයෙකි. ඔහුට මුම්බායි නගරයේ වැසියන් ‘පන්දුවේ දෙවියා’ යන නාමයද එක්කර තිබේ.

2019 වසරේ අයි. පී. එල්. එසේත් නැත්නම් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහා තරගය කණපිට පෙරළුෑ ක්‍රීඩකයා ලසිත් මාලිංග බව ඉන්දීය සියලු ක්‍රීඩකයෝ පිළිගනි.

එහි අවසන් තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර පැවැත්විණි. එහිදී අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු දෙකක් පමණක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවශ්‍ය වූ අතර ලකුණු නොලබා එම පන්දුවෙන් කඩුල්ලක් ලබා ගැනීමට ලසිත් තමන් සතු යෝකර් පන්දුව භාවිත කළේය.

මේ සමගම කෝටි දෙක හමාරක් පමණ වන මුම්බායි නගර වැසියෝ මාලිංග වීරයෙකු ලෙස සැලකුහ. මේ අතර අයි. පී. එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලසිත් මාලිංග එක්ව සිටිති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභි පන්දු යවන්නන් අතර මාලිංගට සිවුවැනි ස්ථානය හිමි වී තිබේ. එහිදී වැඩිම කඩුලුලාභින් 05 අතරට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් තිදෙනෙක්ම අයත්ව සිටීම විශේෂත්වයකි. මෙහිදී මුල් ස්ථානය ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැග්‍රාටය. දකුණතින් මද වේග පන්දු යැවු ඔහු තරග 39 ඉනිම් 39 කදී කඩුලු 71 ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තරග 40 ඉනිම් 39 කදී දවා ගත් කඩුලු ගණන 68 කි. පාකිස්තානයේ වසිම් අක්රම්ට ඉනිම් 36 කදී කඩුලු 55කි. මාලිංගට ඉනිම් 25කදී කඩුලු 51 කි. චමින්ද වාස්ට ඉනිම් 31කදී කඩුලු 49 කි.

මේ අතර ලසිත් මෙවර ලෝක කුසලානය සම්බන්ධව සිය අදහස් පළ කර සිටියේ මේ අයුරිනි.

“මම හිතන්නේ එංගලන්තය සමඟ පැවැති තරගය ජයග්‍රහණය කිරීම අපිට හොඳ මානසිකත්වයක් ලැබීමක් කියලයි. අපි මේ ලැබුණු මානසික ශක්තිය ඉදිරි තරග කිහිපය සඳහා යොදාගත යුතුයි. කණ්ඩායමක් හැටියට මේ තරගයේදී අපි ඉතා හොඳින් ක්‍රීඩා කළා. මම වගේම අනිකුත් පන්දු යවන්නන් සිය දායකත්වය උපරිම ලබා දුන්නා. නමුත් පිතිකරණයේ දුර්වල තැන් කිහිපයක් තිබෙනවා. ඉදිරි තරගවලදී එම දුර්වලතා මග හැර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

ඇත්තටම මම මට හිතෙන හොඳම දේ කරනවා. අවසන් තරගයේදී සිදු කළෙත් ඒකමයි. නායකත්වය සමඟ මා නිතරම සාකච්ඡා කරන්නේ අපි ක්‍රීඩාපිටියේදී කුමක් කළ යුතුද යන්න සහ එම අවස්ථාවට අපි කුමක් කරමුද යන්නයි.

මා හිතන්නේ අපි තවත් උනන්දුවෙන් ක්‍රීඩා කළහොත් අපිට අවසන් පූර්ව වටයට යා හැකියි.“

Comments