
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහභාගි වූ 08 වැනි තරගය ඊයේ (29) පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණි. මෙවර ඔවුන් තරග කරනු ලබන අවසන් තරගය ජුලි 04 වැනි දා බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිවය.
ඇෆ්ගනිස්තානය එක්දින ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූයේ දෙවන වතාවටයි. මින් පළමුවැන්න 2015 වසරේදීය. මෙවර තරගාවලිය ඔවුනට වැදගත් වූයේය. ඒ ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ඔවුන් සහභාගි වන ප්‍රථම එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙය වූ බැවිනි.
කෙසේ වෙතත් ඔවුනට මෙවර තරගාවලිය අමිහිරි අත්දැකීමක් බවට පත් විය. ඒ ඔවුන් තරග කළ මුල් තරග 07 ම පරාජය වූ නිසාය.
පළමු තරගය - ඔස්ට්‍රේලියාවට කඩුලු 07ක ජයකි.
දෙවන තරගය - ශ්‍රී ලංකාවට ලකුණු 34 ක (ඩක්වර්ත් - ලුවිස්) ජයකි.
තෙවන තරගය - නවසීලන්තයට කඩුලු 07ක ජයකි.
සිවුවැනි තරගය - දකුණු අප්‍රිකාවට කඩුලු 09 ක (ඩක්වර්ත් - ලුවිස්) ජයකි.
පස්වැනි තරගය - එංගලන්තයට ලකුණු 150 ක ජයකි.
හයවැනි තරගය- ඉන්දියාවට ලකුණු 11ක ජයකි.
සත්වැනි තරගය - බංග්ලාදේශයට ලකුණු 62 ක ජයකි.
මේ තරග අතරින් ඇෆ්ගනිස්තානයට පැහැදිලිවම තරග 03ක් ජය ගැනීමට අවස්ථා උදා වූයේය. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයට එරෙහිවයි. එහෙත් එය අහිමි වූයේය. ඊට හේතු වූයේ ඔවුන්ගේ පිතිහරඹය අසාර්ථක වීමයි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට පෙර සෑම කණ්ඩායමක් ම ඔවුනට ජය ගත හැකි බවට අනුමාන කළ තරග තිබුණි. ඇෆ්ගනිස්තානයට අනුව නම් එම තරග පැවැත්වූයේ ආසියානු රටවලට එරෙහිවයි. ඒ සඳහා සාධාරණ හේතු තිබිණි.
ඇෆ්ගනිස්තානය අවසන් වරට ප්‍රධාන එක්දින තරගාවලියකට සහභාගී වූයේ 2018 වසරේදීය. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියයි. එහිදී ඔවුන් විශිෂ්ට දස්කම් දැක්වුහ. ඔවුන් ශ්‍රී ලංකාව ලකුණු 91කින් පරාජය කළහ. එමෙන්ම බංග්ලාදේශය පරාජය කළේ ලකුණු 136කිනි. ප්‍රබල ඉන්දියාව සමඟ පැවැති තරගය ලකුණු සමවීමෙන් නිමාවට පත් විය.
මෙවර ලෝක කුසලානයට ඇෆ්ගනිස්තානය සහභාගි වූයේ මහත් වූ බලාපොරොත්තු රැසක් සමඟින්ය. මෙම කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය. එසේ වුවත් කණ්ඩායම් තුළත් ක්‍රිකට් පරිපාලනය තුළත් ගැටලු කිහිපයක්ම මතු වී තිබුණි. ඔවුන්ගේ නියම දක්ෂතා මතු නොවීමට එය විශාල ලෙස බලපෑවේය.
මින් ප්‍රධානතම ගැටලුව ඇති වූයේ ලෝක කුසලානය ඇරැඹීමට පෙර නායකත්වයේ වෙනසක් සිදු කිරීම සමඟින්. ඒ අනුව වසර කිහිපයක්ම නායකයා වූ අස්ගාර් ඇෆ්ගන් (උපත 1987 දෙසැම්බර් 26) හට නායකත්වය අහිමි වූයේය. ඔහු 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයට පත් වූයේය. එමෙන්ම එරටේ ප්‍රථම ටෙස්ට් නායකයාය. අස්ගාර් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අතර ජනප්‍රිය පුද්ගලයෙකි. ඇෆ්ගන් කණ්ඩායම පසුගිය කාලයේදී ලැබූ ජයග්‍රහණවලට අස්ගාර්ගේ නායකත්වයත් බෙහෙවින්ම බලපෑවේය. සාර්ථක නායකයකු සතු ප්‍රධානතම ගුණාංගයක් වන්නේ, එනම් සිය ක්‍රීඩකයන් ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. අස්ගාර් එවැනි නායකයෙකි.
හෙතෙම කෙතරම් සිය රටට ආදරය කළේ ද යත් තම නමත් වෙනස් කර ගත්තේය. ඒ ගිය වසරේ අගෝස්තු මාසයේ සිටය. ඊට පෙර ඔහුගේ නම වූයේ අස්ගාර් ස්ටැනික්ෂායිය. දැන් ඔහු ස්ටැනික්ෂායි වෙනුවට ඇෆ්ගන් නම භාවිතා කරයි.
ලෝක කුසලානය වැනි ඉතා වැදගත් තරගාවලියක් ඇරඹීමට ආසන්නව තිබියදී කණ්ඩායමක නායකත්වය වෙනස් කිරීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වූහ.
අස්ගාර් වෙනුවට නව එක්දින නායකයා ලෙසට ගුල්බඩින් නායිබ් (උපත 1991 මාර්තු 16) පත් කරන ලදි. මෙසේ නායකත්වය වෙනස් කිරීම පිළිබඳ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ.
ඒ අතර ඔවුන්ගේ සුපිරිතම ක්‍රිකට් තරු යුගලය වන මොහොමඩ් නබි (උපත 1985 ජනවාරි 01) සහ රෂිඩ් ඛාන් (උපත 1998 සැප්තැම්බර් 20) විය.
“මම තේරිම් කමිටුවට ගරු කරනවා. ඒ වුණත් මෙවැනි මොහොතක නායකත්වය වෙනස් කිරීමට ගත් තීරණයට දැඩිව එකග වෙන්නේ නැහැ. එය පක්ෂග්‍රාහියි. ඒ වගේම වගකීම් විරහිතයි.” රෂිඩ් සිය මතය එසේ පැවසීය.
හිටපු නායකයෙක් වන නබි සිය මතය මෙසේ පැවසීය “ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් සහ ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම දුටු පුද්ගලයෙකු වශයෙනුත් මේ වෙලාවේ නායකත්වය වෙනස් කිරීමට ගත් තීරණය නිවැරදි නැහැ. අස්ගාර් යටතේ කණ්ඩායම හොඳින් සිටියා. මට පුද්ගලිකව දැනෙන්නේ ඔහු තමයි නායකත්වයට වඩාත් සුදුසු” 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ගන් කණ්ඩායමේ නායකයා වුයේත් නබිය.
මෙවර මුල් තරගවලදී ඇෆ්ගන් කණ්ඩායම අසාර්ථක වීම ගැන තේරීම් කමිටු ප්‍රධානියා මෙන්ම හිටපු ක්‍රීඩකයෙක් ද වන දව්ලට් අහ්මඩ්ෂායි (උපත 1984 සැප්තැම්බර් 05) චෝදනා කළේ ජාතික කණ්ඩායමේ පුහුණුකාර කාර්ය මණ්ඩලයටයි. “පුහුණුකරුවන් ක්‍රීඩකයන්ව නිසි ආකාරයට සූදානම් කළේ නැහැ”. දව්ලට් පැවසීය.
ඊට ප්‍රධාන පුහුණුකරු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිටපු ක්‍රීඩක ෆිල් සිමන්ස් (උපත 1963 අප්‍රේල් 18) දැඩි පිළිතුරක් දෙනු ලැබීය. “මීට තේරිම් කමිටුවේ ප්‍රධානියා වගකිව යුතුයි. ඒ ලෝක කුසලාන තරගාවලියට දින කිහිපයකට පෙර අස්ගාර්ව නායකත්වයෙන් ඉවත් කිරීම නිසා.”
ඇෆ්ගන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය විදෙස් හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විතය. එරටේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා වන්නේ හිටපු ඔස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රීඩක පීටර් ඇන්ඩර්සන් (උපත 1961 මැයි 22) ය. පිතිකරණ පුහුණුකරු ඉන්දියාවේ උමේෂ් පට්වාල්ය. පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ චාර්ල් ලැන්ගවෙල්ඩ්ට්ය. හෙතෙම (උපත 1974 දෙසැම්බර් 17) අන්තර්ජාතිකව දකුණු අප්‍රිකාව නියෝජනය කළේය. පන්දු රැකීමේ පුහුණුකරු වන්නේ අයර්ලන්තයේ ජෝන් මුනි (උපත 1982 පෙබරවාරි 10) ය. ශාරීරික යෝග්‍යතා අභ්‍යාසක ලෙසට පාකිස්තාන් හිටපු ක්‍රීඩක උමාර් ගුල් (උපත 1984 අප්‍රේල් 14) කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා වන්නේ ඇමෙරිකන් ජාතික ජේස් නෝර්මන්ය.
නායකත්වයෙන් ඉවත් කළත් අස්ගාර්ව ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගත්තේය. එසේ වුවත් මුල් තරගවලට ඔහු ක්‍රීඩා නොකළේය. පසුව ඉතිරි තරගවලට ඔහුව කණ්ඩායමට ඇතුළත් කරනු ලැබීය.
මේ අතර ඇෆ්ගන් කණ්ඩායමේ ප්‍රබලතම ප්‍රහාරකයා මෙන්ම ආරම්භක පිතිකරුවා වන මොහොමඩ් ශේෂාඩ් (උපත 1988 ජනවාරි 31) නිසි ශාරීරික යෝග්‍යතාවක් නැති බව පවසමින් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරනු ලැබීය. ශේෂාඩ් කණ්ඩායමේ කඩුලු රකින්නාත් වේ. එමෙන්ම එක්දින ජගත් තරගවලදී වැඩිම ලකුණුලාභි ඇෆ්ගන් පිතිකරුවාය. ශේෂාඩ්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණය ගැන බොහෝ දෙනා පුදුමයට පත් වූහ.
“ඔවුන්ට ක්‍රීඩා කරන්න එපා නම් මම ක්‍රිකට්වලින් ඉවත් වෙනවා. මගේ ශාරීරික යෝග්‍යතාව නැති බව ඔවුන් පැවසීම වැරදියි.” ශේෂාඩ් සිය රටට ගිය විට පැවසීය.
මෙවර ලෝක කුසලාන පුහුණු තරගයකදී ශේෂාඩ් ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් විය. එසේ වුවත් ප්‍රථම තරගවලට ක්‍රීඩා කළේය. ඉකුත් කාලයේදී ඇෆ්ගන් ක්‍රිකට් බලධාරින් සහ ශේෂාඩ් අතර විවිධ ගැටලු ඇති වූයේය.
මේ අතර මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගන් පරාජයන්ට ඔවුනගේ සුපිරිතම පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දස්කම් අතර නොසිටීමත් බලපෑවේය. ඒ ගැනත් විවිධ මත වාර්තා විය.
“මම ගුල්බඩින් හෝ ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. මා ක්‍රීඩා කරන්නේ ඇෆ්ගනිස්තානයටයි. ගුල්බඩින් සමඟ මගේ ගැටලුවක් නැහැ. අස්ගාර් නායකයා වූ විටත් ගුල්බඩින් නායකයා වූ විටත් මගේ උපරිමය ලබා දෙනවා.” රෂිඩ් ඛාන් පවසයි.
මේ අතර තරගාවලිය අතරතුරදී ඇතැම් ඇෆ්ගන් ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ ගැටලු මතු විය. එංගලන්තය සමඟ පැවැති තරගයට පෙර දිනයේදී ඇෆ්ගන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අවන්හලකදී ගැටුමක් ඇති කර ගෙන තිබුණි. එහිදී පොලිසිය කැඳවීමටත් සිදු විය.
සමස්තයක් ලෙස ගත් විට මෙවර ලෝක කුසලානයේ මුල් තරගවලදී ඇෆ්ගන් කණ්ඩායම දැඩි පසුබැසීමකට ලක් විය. එසේ වුවත් නව නායක ගුල්බඩින් නායිබ් ඒ ගැන දරනු ලබන්නේ වෙනස් මතයකි. “ සෑම දෙනාම දන්නවා ඇෆ්ගන් ලෝක ක්‍රිකට්වල ඉදිරියට එන කණ්ඩායමක් බව. මට ආඩම්බරයි අපි දැන් ටොප් 10 අතර ඉන්නවා. මෙය අපිට හොඳ අත්දැකීමක්. එංගලන්තයේදී විවිධාකාර කණ්ඩායම්වලට එරෙහිව විවිධ තණතිලි වලදී අපි තරග කළා.”
ඇෆ්ගනිස්තානය හැකි ඉක්මනින්ම ඉහත ගැටලුවලට විසඳුම් සොයා ගත යුතුයි. මන්ද යත් දශක ගණනාවක් පුරා යුද ගිනිදැල් නිසා පීඩාවට පත්ව සිටින ඇෆ්ගන් ජනතාවට කිසියම් වූ සහනයක් පසුගිය කාලයේදී ලැබුණේ නම් ඒ එරටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නිසා බැවිනි.
සෙසු බොහෝ රටවලට මෙන්ම ඇෆ්ගනිස්තානයටත් ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසිනුයි. වාර්තා වන ආකාරයට එරටේ ප්‍රථම ක්‍රිකට් තරගය පවත්වා තිබෙන්නේ 1839 වසරේදීය. එය පැවැත්වූයේ එරටේ අගනුවර සහ විශාලතම නගරයත් වන කාබුල්හීදීය. එම තරගයට සහභාගි වූයේ බ්‍රිතාන්‍ය භට පිරිසකි.
කෙසේ වෙතත් ඇතැම් දකුණු ආසියානු රටවල මෙන්ම ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවර වූයේ නැත. එමෙන්ම ජනප්‍රිය වූයේත් නැත. තවත් දශක ගණනාවක් ගත වූයේය. 90 දශකයේදී ක්‍රිකට් ක්‍රීඩාව එරටේ විශාල ලෙස ජනප්‍රිය වූයේය. එක්තරා ආකාරයකින් එවකට පැවැති සිවිල් යුද්ධයත් ඊට බලපෑවේය. මේ සිවිල් යුද්ධය නිසා විශාල පිරිසකට සිය මවුබිම අත්හැර යාමට සිදු වූහ.
මින් පිරිසකට පාකිස්තානයේ පිහිටුවා තිබූ සරණාගත කඳවුරුවල ජීවත් වීමට සිදු වුහ. ඔවුන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වූයේය. එසේ වුවත් පසුකලෙක එරටේ බලයට පත් තලේබාන්වරුන් විසින් බොහෝ ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවත් තහනම් කළේය. නමුත් පසුව එම තහනම ඉවත් කළේය. ඒ අනුව තලේබාන් විසින් අනුමත කළ එකම ක්‍රීඩාව බවට ක්‍රිකට් පත් විය.
ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට විශාලතම දායකත්වය ලබා දෙනු ලැබුවේ පාකිස්තානයයි. එම මුල් යුගයේදී ඇෆ්ගන් ජාතික කණ්ඩායමට පාකිස්තාන් දෙවන පෙළ තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබුණි. එම කාලය තුළදී පාකිස්තාන් සාම සාධක හමුදාවත් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ක්‍රියා කළේය.
ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටුවනු ලැබුවේ 1995 වසරේදීය. 2001 වසර වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී.සී.) අනුබද්ධිත සාමාජිකත්වය එරටට ලැබිණි. එමෙන්ම 2003 වසරේදී ආසියානු ක්‍රිකට් සභාවේ (ඒ.සී.සී.) සාමාජිකත්වයත් ඔවුනට හිමිවුණි.
එරට ප්‍රථම ක්‍රිකට් තරගමාලා ජය හිමිකර ගත්තේ 2007 වසරේදීය. එය ඒ. සී.සී. 20-20 කුසලාන සම ශුරතාවයයි. ඕමානය අනෙක් සම ශුරයෝය.
2008 වසරේදී අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීගයේ 05 වැනි කොටසේ ශුරයෝ වූයේ ඇෆ්ගනිස්තානයයි. ඉන් අනතුරුව තෙවැනි සහ සිවුවැනි කොටස් ශූරතාත් ඔවුන් හිමිකර ගත්හ. මීට අමතරව පළමු කොටසේ අනුශුරයෝ බවටත් ඔවුන් පත් වුහ.
2011 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියට ඔවුන් සහභාගි වුහ. නමුත් එහිදී හිමි වූයේ 05 වැනි ස්ථානයයි. එසේ වුවත් අන්තර්ජාතික එක්දින වරම සිවු වසරක කාලයකට ලැබිණි.
ඇෆ්ගනිස්තානය සිය මංගල එක්දින ජගත් තරගයට සහභාගි වූයේ 2009 වසරේදීය. මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන එක්දින ජගත් තරග වාර්තාව මෙසේය. මුළු තරග 121 කි. ජය 59කි. පරාජ 58කි. සම වූ තරගයකි. ජය පරාජයක් නැති තරග 03කි.
2018 වසරේදී ඇෆ්ගනිස්තානයට ටෙස්ට් වරම් හිමිවිය. ඒ අනුව ටෙස්ට් වරම් ලැබු 12 වැනි රට ඔවුන්ය. මෙහි 11 වැනියා වන්නේ අයර්ලන්තයයි. ඔවුන්ටත් එම වසරේදීම ටෙස්ට් වරම හිමි වුණි.
මේ වන විට ඇෆ්ගනිස්තානය තුළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ සතරක් ඉදිකර ඇත. ඒ කාබුල් නුවර ආලොකෝෂේ කාබුල්, ජලාලාභාද් නුවර ගාෂි අමනුල්ලාහ්, කන්දහාර් නුවර කන්දහාර් සහ ක්හෝස්ට් නුවර ක්හෝස්ට් ජගත් ක්‍රිකට් ක්‍රීඩාංගණ වේ.
එසේ වුවත් වත්මනදී පවතින අනාරක්ෂිත බව නිසාම එරටේ ජගත් ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ නැත. ඒ නිසාම ඉන්දියාවේ ක්‍රීඩාංගණ දෙකකදී ඇෆ්ගන් ජාතික පිල විදෙස් කණ්ඩායම් සමඟ දේශීයව පැවැත්විය යුතු තරග පවත්වනු ලබයි. ඒ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ දෙහ්රාදුන් නුවර රාජිව් ගාන්ධි ජගත් සහ උත්තර් ප්‍රදේශයේ ෂාහිඩ් විජේ සිං පාතික් ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණවලදීය.
මෙසේ විවිධාකාර වූ ගැටලු රැසක් තිබුණත් ක්‍රිකට් මේ වන විට එරටේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත් වී තිබේ. දක්ෂ ක්‍රීඩකයින් පිරිසක්ද ඔවුන් සතුය. 2010 වසරේ සිට එරටේ කාන්තා ජාතික කණ්ඩායමද පවතියි. මේ නිසාම දැන් ඇති වී තිබෙන ගැටලුවලට වහාම විසඳුම් සොයා ගත යුතුව තිබේ. ඇෆ්ගන් ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සුන්දර සිහිනයක් දකිති. එය යථාර්ථයක් බවට පත් කිරීමට ඇෆ්ගන් ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ යුතුය.










