මොහොමඩ් ෂාමිත් හැට්‍රික් ගොන්නට | සිළුමිණ

මොහොමඩ් ෂාමිත් හැට්‍රික් ගොන්නට

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පිට පිට පන්දු 03 කදී කඩුලු 03ක් දවා ගැනීම හැට්‍රිකයක් හෙවත් කඩුලු ත්‍රිත්වයක් ලෙසට සැලකෙයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගයේ දී මෙම දුලබ දස්කම දැක්වීමට ඉන්දියාවේ මොහොමඩ් ෂාමි සමත් විය.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මෙවැනි හැට්‍රික් දස්කමක් වාර්තා වූයේ 10 වැනි වතාවටයි. එහිදී වැඩිම අවස්ථා ගණනකදී එම දස්කම දැක්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. එහිදී ලසිත් මාලිංග අවස්ථා දෙකකදීම මේ දස්කම දැක්වීමට සමත් වීම විශේෂත්වයකි.

ලෝක කුසලානයේ දී ප්‍රථම හැට්‍රිකය වාර්තා වූයේ 1987 තරගාවලියේදීය. එහිදී ඉන්දියාවේ දකුණතින් මද වේග පන්දු යැවූ චේතන් ෂර්මා (උපත 1966 ජනවාරි 03) නවසීලන්තයට එරෙහිව එම දස්කම දැක්වීය. ඔහු දවා ගත්තේ කෙන් රදර්ෆර්ඩ්, ඉයන් ස්මිත් සහ එවන් චැට්ෆීල්ඩ් ය.

දකුණතින් පිට දඟ පන්දු යැවූ පාකිස්තානයේ සක්ලේන් මුස්තාත් (උපත 1976 දෙසැම්බර් 29) සිම්බාබ්වේට එරෙහිව 1999 දී හැට්‍රිකයක් දවා ගැනීමට සමත් විය. හෙන්රි ඔලොන්ගා, ඇඩම් හකල් සහ පොමී ම්බන්ග්වා දැවී ගිය පිතිකරුවෝය.

2003 තරගාවලියේදී හැට්‍රික් දවාලීම් දෙකක් වාර්තා විය. එය සිදු කළේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී විසිනි. වමතින් මද වේග පන්දු යවමින් වාස් (උපත 1974 ජනවාරි 27) බංග්ලාදේශයට එරෙහිව මේ දස්කම දැක්වීය. හනන් සාර්කර්, මොහොමඩ් අශ්රෆුල් සහ එහ්ෂානුල් හක් දැවී ගිය පිතිකරුවන් වෙති.

දකුණතින් වේග පන්දු යැවූ ලී (උපත 1976 නොවැම්බර් 08) කෙන්යාවට එරෙහිව හැට්‍රිකය දවාලීය. දැවී ගියේ කෙනෙඩි ඔටියේනෝ, බ්‍රිජල් පටෙල් සහ ඩේවිඩ් ඔබුයාය.

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (උපත 1983 අගෝස්තු 28) දකුණතින් වේග පන්දු යැවීය. 2007 තරගාවලියේදී හෙතෙම දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 04 කින් කඩුලු සතරක් දවා ගැනීමට සමත් විය. එහිදී දැවී ගියේ ෂෝන් පොලොක්, ඇන්ඩෘ හෝල්, ජාක්ස් කාලිස් සහ මකායා එන්ටිනිය.

2011 තරගාවලියේදීත් හැට්‍රික් දවාලීම් දෙකක් වාර්තා වූයේය. බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දකුණතින් මද වේග පන්දු යැවූ කෙමාර් රෝච් (උපත 1988 ජුනි 30) නෙදර්ලන්තයට එරෙහිව එම දස්කම දැක්වීය. දැවී ගිය පිතිකරුවන් වූයේ පීටර් සීලාර්, බර්නාර්ඩ් ලුට්ස් සහ බෙරෙන්ඩ් වෙස්ට්ඩයික්ය.

මාලිංග කෙන්යාවට එරෙහිව කඩුලු ත්‍රිත්වය දවාලුවේත් 2011 තරගාවලියේදීමයි. ටන්මේ මිෂ්රා, පීටර් ඔන්ගොන්ඩෝ සහ ෂෙම් එන්ගෝචේ දැවී ගියහ.

එංගලන්තයේ ස්ටීවන් ෆින් (උපත 1989 අප්‍රේල් 04) 2015 තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව හැට්‍රිකය දවා ගත්තේ දකුණතින් මද වේග පන්දු යැවීමෙනි. දැවී ගියේ බ්‍රැඩ් හැඩින්, ග්ලෙන් මැක්ස්වෙල් සහ මිචෙල් ජොන්සන්ය.

එම තරගාවලියේදී ම දකුණු අප්‍රිකාවේ දකුණතින් පිට දඟ පන්දු යවමින් ජීන් පෝල් ඩුමිනි (උපත 1984 අප්‍රේල් 14) ශ්‍රී ලංකාවට එරෙහිව හැට්‍රිකයක් දවා ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර සහ තරිඳු කෞශාල් දැවී ගිය පිතිකරුවෝ වෙති.

දකුණතින් මද වේග පන්දු යවන ෂාමි (උපත 1990 සැප්තැම්බර් 03) මෙවර ඇෆ්ගනිස්තානයට එරෙහිව හැට්‍රිකය දවා ගත්තේය. මොහාමඩ් නබි, අෆ්තාබ් අලාම් සහ මුජිබ් රහ්මාන් මෙහිදී ෂාමිගේ අවසන් පන්දු ත්‍රිත්වය හමුවේ දැවී ගියහ.

 

Comments