තරගයෙන් තරගය යමු | සිළුමිණ

තරගයෙන් තරගය යමු

එංගලන්ත තරගයේදි ඇන්ජි පන්දුවට පහර දෙන විට හැම වෙලාවේ ම අපට පණිවිඩයක් තිබ්බා, මේ තණතීරුවේ පන්දුවට පහර දෙන්න අමාරුයි කියලා. ඇන්ජි හොඳ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒ නිසා එයා දන්නවා තණතීරුව හැසිරෙන විදිය ගැන.

ඇන්ජි කිව්වේ අපට ලකුණු 250ට යන්න පුළුවන් නම් හොඳයි. අපට ඒ ගණනට යන්න බැරි වුණාට 230 අපට ප්‍රමාණවත් කියලා හිතුවා. පළමු පන්දු වාර කිහිපය තමයි අපේ පැත්තෙන් හොඳට කර ගන්න ඕනෑ වුණේ. පන්දුව හිතපු තරම් එන්නේ නෑ කියලා අපි දැන හිටියා.

ඒ අයට මේ තත්ත්වය හුඟක් අසීරු වෙයි කියලා අපි දන්නවා. අපට ඕනෑ වුණේ හැම වෙලාවේ ම තරගයේ එල්ලිලා ඉන්න තමයි. ඒක තමයි මේ තරගයේ වැදගත් දේ විදියට සැලකුවේ.

විශ්වාසයක් තිබුණා

ඒ වගේ ම එංගලන්තයේ මුල් විකට් 2 - 3 ඉක්මනින් ගත්තොත් අපට තරගයක් දෙන්න පුළුවන්කියන විශ්වාසය හැම වෙලාවේ ම තිබුණා. අපට හැම වෙලාවේ ම අදහසක් තිබුණා තරගය දිනන්න පුළුවන් කියලා.

තරගයක වඩා වැදගත් වන්නේ අපි අංක එකේ ද, අන්තිමයාට ද ඉන්නේ කියන එක නෙවෙයි. ප්‍රතිවාදියා අංක එකේ හිටියත්, අපි අන්තිමේ හිටියත් තරගයක් ඇතුළේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අප මේ දේවල් පාලනය කරන විදිය තමයි වැදගත්. එංගලන්තය අපේ තරගයට ආවේ ඊට කලින් ඇෆ්ගන් තරගයේදි දැවැන්ත ලකුණු සටහනක් එක් කරපු කණ්ඩායම විදියට. අපි ඒ ගැන එච්චර හිතුවේ නෑ. අපි හිතුවේ අපේ තරගය ගැන විතරයි.

අඩුපාඩු නැතුව නොවෙයි

තරගයක් විදියට ගත්තොත් අපි හොඳට කරපු තරගයක් තමයි මේ තරගය. පන්දුවට පහරදීම, පන්දු යැවීම, රැකීම මේ අංශ තුන ම හොඳට කළොත් අපට තරගයක් ජය ගන්න අසීරු නෑ. අපේ අඩුපාඩු නැතුව නෙවෙයි. ඒවා අකා මකා දමමින් තමයි තරගයෙන් තරගය ඉදිරියට යන්න ඕනෑ. ඔස්ට්‍රේලියානු තරගය වුණත් අපි තව ටිකක් උනන්දු වුණා නම්, පිතිකරුවන් එංගලන්ත තරගයේදි වගේ වගකීම් හරියට කරට ගත්තා නම් දිනා ගන්න තිබුණා.

සම්පත් තියෙනවා

අපට වෙනසක් කරන්න පුළුවන් තරම් සම්පත් තියෙනවා. ඒ ටික ඉදිරි තරග තුනේදි හරියට ප්‍රයෝජනයට අරගෙන හරියට ම ක්‍රීඩා කරන්න බලනවා. අපි හුඟක් ම ඉදිරිය ගැන බලන්න ගියොත් හරි සැලසුම් කරන්න ගියොත් හරි අමාරුවේ වැටෙනවා. ඒ නිසා එකිනෙක තරගයෙන් තරගය ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ.

අවිශ්ක දක්ෂයි

අවිශ්ක හොඳ පිතිකරුවෙක්. දැළ තුළ පුහුණුවීම්වල ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරනවා. අවිශ්කට කණ්ඩායමේ හොඳ තැනක් දෙන්න තමයි හැම වෙලාවෙම හිතාගෙන හිටියේ. හැබැයි කණ්ඩායමේ සංයුතිය ගැන අවධානය යොමු කරනකොට තමයි ඔහු පහුගිය තරගවල එළියට ගියේ. එංගලන්තය වගේ රටවල් එක්ක තරග කරනකොට ඉක්මනින් ලකුණු රැස් කරන පිතිකරුවන් ඕනෑ කියලා හිතුවා.

අපි අවිශ්කව ආරම්භක පිතිකරුවකු ලෙස ම තමයි යොදා ගන්න සැලසුම් ‍කළේ. හොඳ රිද්මයකින් ලකුණු ලබා ගන්න පිතිකරු විදියට අවිශ්කට අවස්ථාව දෙන්න අපේ අවධානය යොමු වුනා. අවිශ්ක ලැබුණු අවස්ථාවේ හොඳට බයක් - සැකයක් නැතුව පන්දුවට පහර දුන්නා. අත්දැකීම් නැති වුණත් පරිණත ක්‍රීඩකයකු විදියට අවිශ්ක ‍ගොඩනැගූ ඉනිම හරියට වටිනවා. අවිශ්ක අත්දැකීම් නැති ක්‍රීඩකයකු විදියට කඩුල්ලේ හැසිරුණේ නැති එක හරියට වටිනවා. ඔහු ලබා ගන්න මේ ලකුණු ප්‍රමාණය දිගු ඉනිම් කරා ගොඩනඟා ගන්නේ කොහොමද කියලා කතාබහකරලා අවිශ්කගෙන් කණ්ඩායමට ගන්න පුළුවන් උපරිම දේ ගන්න තමයි බලන්නේ.

නිගමනවලට එන්න බෑ

ඉදිරි තරගවල තණතීරු මොන විදියේ ඒවා වෙයිද කියලා අපි හරියට දන්නේ නෑ. ගිහිල්ලම බලන්න වෙනවා. මේ වගේ තියෙයිද වෙනස් වෙයිද කියලා විකට් එක බලන්නෙ නැතුව නිගමනයකට එන්න අමාරුයි. හැබැයි අපට දැන් මූලික සැලසුමක් තියෙනවා.

හැබැයි අපි ඒ තණතීරුවලත් මේ තරගය ක්‍රීඩා කළ විදියට ම ක්‍රීඩා කරනවා කියලා හිතාගෙන යන්න බෑ. එතැනට ගිහින් අවබෝධයක් අරගෙන සැලසුම් හදාගන්න එක තමයි වටින්නේ.

මේ 15 තමයි

මේ පිතිකරුවන් ම තමයි අපට එහාට මෙහාට කරන්න තියෙන්නේ. පහුගිය තරග දිහා බලනකොට ජයග්‍රාහි මානසිකත්වය ටිකක් විතර ගිලිහිලා ගිහින් තියෙනවා. නැවත මේ දේවල් හදාගෙන ගොඩ එන්න තරග ජයග්‍රහණය කරන්න ඕනෑ. පහුගිය තරගවල අපේ මැදපෙළ තමයි දිගින් දිගට ම අසාර්ථක වුණේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සම්පූර්ණයෙන් ම කඩා වැටිලා තිබුණේ. අපි හැමෝට ම කතා කරලා ගොඩ එන්න සැලසුම් හදා ගන්න ඕනෑ. මේ ඉන්න 15 දෙනාගෙන් තමයි ඉදිරියට යන්න බලන්නේ.

වැදගත් ම තරගය

පරණ සිදුවීම් සියල්ල ම අමතක කරලා ඉදිරියට යන්න එංගලන්ත තරගය වඩාත් වැදගත් වුණා. මම මගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කළේ එක්දින ක්‍රීඩකයෙක් විදියට. ටෙස්ට් තරගවල ක්‍රීඩා කරනකොට මම එයට හුඟක් ඇලුම් කළා. ඊට පස්සේ තමයි මම තීරණය කළේ මේ දේ හොඳටෝම කරන්න ඕනෑ කියලා. ඒ වෙනකොට අපේ එක්දින කණ්ඩායමත් හොඳ ම මට්ටමක තිබුණා. හොඳ ක්‍රීඩකයෝ හිටියා. ඒ නිසා මට අවස්ථාව පවා අඩුවෙන් ලැබුණේ. මට ලැබුණු අවස්ථාවලදි මම එක්දින තරග හොඳට කරන්න බැලුවා.

වැඩිපුර හිතුවේ ටෙස්ට් ගැන

අවසන් ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ හැම තරගයක් ම වගේ මම හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. අවස්ථාවක් දෙන නොදෙන එක තේරීම් කමිටුවේ වැඩක්. මම මට ලැබුණු අවස්ථාවල හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. මේ අවස්ථාව පවා ලැබුණට පස්සේ මම හිතුවේ ක්‍රිකට් මඟ හැරිලා නෑ කියලයි. මට ලැබුණු අවස්ථාවේ මම හිතුවේ පුළුවන් තරම් හොඳට මේ දේ කරලා පෙන්වන්නයි. මම හිතුවේ අවස්ථාව ලැබුණාට පස්සේ මට කණ්ඩායම වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන් කියලා බලන්නයි.

අවස්ථාව ලැබුණා. මට තවමත් තරගයක් ජයග්‍රහණය කරා යන්න පුළුවන් විදියට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ජයග්‍රාහි ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණෙත් මට සතුටු වෙන්න පුළුවන්.

Comments