
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග මේ එළැඹෙන සතියෙන් ආරම්භ වෙයි. මෙවර තරගාවලියේ මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැරෙන්නටවත් ඉඩ නොතැබූ ප්‍රතිවාදිහු ඔවුන්ව ඇෆ්ගනිස්තානය මෙන්ම කලින් ම තරගාවලියෙන් ඉවත් කිරීමට සමත් වූහ. එතරම්ම බලාපොරොත්තු අතර නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අංක එකේ කණ්ඩායම වූ එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් හිමි කර ගත් අතර, තියුණු සටන් දෙකක් අවසානයේ ඉන්දියාව ලකුණු 11කින් ඇෆ්ගනිස්තානය පරාජය කළ අතර නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයෙන්ද ලකුණු පහක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත්විය.
මේ සටහන තබන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තයට හිමි වන අතර, ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවිය. ඇෆ්ගනිස්තානය මේ වන විටත් සහභාගී වූ තරග සියල්ලම පරාජය වී තිබේ. බ.ඉ. කොදෙව් සහ දකුණු අප්‍රිකාව තරගය බැගින් ජයගෙන තිබේ. හය වැනි සහ හත්වැනි ස්ථානයන්හි පසු වූ බංග්ලාදේශය මෙන්ම පාකිස්තානය තරග දෙක බැගින් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබේ.
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කතාබහක් පවතින සත්කාරකයන් සහ 2023 මීළඟ තරගාවලියේ සත්කාරකයන් වන ඉන්දියාව අතර තරගය අද එජ්බැස්ටන්හිදී පැවැත්වෙයි. ඉන්දියාව අවසන් වරට බංග්ලාදේශය සමඟ 2017 දී මෙහි තරග කළ අතර, එහිදී කඩුලු 9කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. එංගලන්තය මේ ක්‍රීඩාංගණයේ තරග කරන්නේ වසර දෙකකට පසුව වීමද විශේෂත්වයකි. ඔස්ට්‍රේලියාව සමඟ තරග කළ එංගලන්තය ලකුණු 40කින් ජය ගැනීමට සමත් විය. ඉන්දියාව සහ එංගලන්තය මේ ක්‍රීඩාංගණයේ අවසන් වරට තරග කළේ 2014දීය. එම තරගයෙන් එංගලන්තය කඩුලු 9කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.
අවසන් වරට දෙපිල 2011 දී තරග කළ අතර එකී තරගය සම විය. ඉන්දියාව 338 යි. එංගලන්තය කඩුලු 8ක් දැවි 338යි. 2003 දි එංගලන්තය ලකුණු 82කින් පරාජය කිරීමට ඉන්දියාව සමත්විය. 1999දී ලකුණු 63ක ජයක් හිමිකර ගත් ඉන්දියාව 1992දි ලකුණු 9කින් එංගලන්තයට පරාජයට වී තිබේ. ඒ අනුව ඉන්දියාව 1992න් පසු එංගලන්තයට පරාජය නොවීමද විශේෂත්වයකි.
1975 -2011 දි දෙපිල අතර තරග 7ක් පවත්වා ඇති අතර එහිදී දෙපිලම තරග තුන බැගින් ජය ගෙන තිබේ. සම වූ තරගයකි.
ජුලි 01 දා ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් දරම්හිදි මුණ ගැසෙයි. ශ්‍රී ලංකාව 28 දා දකුණු අප්‍රිකාව සමඟ තරග කළ අතර එකි තරගයේ ප්‍රතිඵලය මෙන්ම මේ තරගයද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහන ඉහළ නංවා ගැනීමට වඩා වැදගත් වෙයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර 1975 – 2007 දි තරග 6ක් පවත්වා ඇති අතර, එහිදී කොදෙව්වන් තරග 4ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 2කි. අවසන් වරට දෙපිල 2007 දි කොදෙව්හි පැවැති තරගාවලියේ දී මුණ ගැසුණු අතර එහිදි ලකුණු 113ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ජුලි 02 දා ඉන්දියාව සහ බංග්ලාදේශය තරග කරයි. 2007 – 2015 දි දෙපිල තරග තුනකදී මුණ ගැසී ඇති අතර එහිදී තරග දෙකක් ඉන්දියාව ජය ගෙන එක් තරගයක් පරාජය විය. 2007 බ.ඉ. කොදෙව් හි පැවැති තරගාවලියේ දී ඉන්දියාව මුණ ගැසුණු පළමු වතාවේදීම කඩුලු පහක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය. මෙකි තරගාවලියේ ඉන්දියාව මුලික වටයෙන්ම ඉවතට විසි වීමද විශේෂත්වයකි. එහිදි ඉන්දියාව පරාජය කළේ බර්මියුඩා කණ්ඩායම පමණි.
03 වැනිදා සත්කාරක එංගලන්තය සහ නවසිලන්තය තරග කරයි. දෙපිල අතර මෙතෙක් 1975 – 2015 තරග 8ක් පවත්වා තිබේ. එහිදි නවසීලන්තය තරග 5ක් සහ එංගලන්තය තරග 3ක් ජය ගෙන තිබේ. 2015 දී නවසීලන්තය කඩුලු 8කින් ද, 2007 දි කඩුලු 6කින් ද, 1996 දි ලකුණු 11කින් ද 1992 දී කඩුලු 7කින් ද වශයෙන් අඛණ්ඩව එංගලන්තය පරාජය කර තිබේ.
04 දා ඇෆ්ගනිස්තානය සහ බ.ඉ. කොදෙව් තරග කරයි. දෙපිල අතර ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පැවැත්වෙන පළමු තරගය මෙයයි. තරගය ලෝඩ්ස් පිටියේ පැවැත්වෙයි.
05 දා පාකිස්තානය සහ බංග්ලාදේශය ලෝඩ්ස් පිටියේදී තරග කරයි. පාකිස්තානය සහ බංග්ලාදේශය ලෝක කුසලාන තරග ඉතිහාසයේ හමුවන දෙවන වතාවයි. 1999දී දෙපිල තරග කළ මුල්ම තරගයෙන් බංග්ලාදේශය ජය හිමි කර ගැනීමට සමත් විය.
06 දා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලෝඩ්ස් හිදි තරග කරයි. 1979 – 2011 දි දෙපිල අතර මෙතෙක් තරග 8ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 4කි. ඉන්දියාවට තුනකි. විසඳුමක් රහිත තරගයකි. දෙපිල අතර පැවැති මුල්ම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 47 කින් ඉන්දියාව පරාජය කිරීමට සමත් විය. 1992 පැවැති තරගය විසඳුමක් රහිතව අවසන්ව තිබේ. 1996 මුලික වටයේදි සහ අවසන් පුර්ව තරගයේදී පිට පිට ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 2007 දි ලකුණු 69කින් ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 2003 සුපිරි හය වටයෙන් ශ්‍රී ලංකාව පරාජය විය. 2011 අවසාන මහ තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජය වීම ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසනාවන්ත සිදුවීමකි. මන්ද යත් 2007 දීත් අවසාන මහා තරගයට පිවිස ඔස්ට්‍රෙලියාව අතින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේ තරග කළ අවසන් තරග තුනම ජය ගෙන තිබීම විශේෂත්වයකි.
මූලික වටයේ අවසන් තරගය 06 දා දිවා රාත්‍රි තරගයක් ලෙස ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙයි. දෙපිල 1992 – 2007 දි තරග පහකදි මුණ ගැසී ඇති අතර එහිදී දකුණු අප්‍රිකාව තරගයක් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබේ. විසදුමක් රහිත තරගයකි. 2007 දෙපිල අවසන් වරට මුණ ගැසුණු තරගයේදී ඔස්ට්‍රෙලියාව ලකුණු 83කින් දකුණු අප්‍රිකාව පරාජය කර තිබේ.










