
දේශපාලනය තරම් ගතිකත්වයෙන් යුතු දෙයක් මේ පෘථිවි තලය මත නැති තරම්ය. අඩු තරමේ කාලගුණය වුව දේශපාලනයට වඩා ස්ථාවර බවින් යුක්ත යැයි පැවසිය හැකිය. බලය මත පදනම්ව සබඳතා බිඳ වැටීමට සහ යළි ගොඩනැඟීමට ගත වන්නේ සුළු මොහොතකි.
පසුගියදා රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ චීන ජනාධිපතිවරයා ඒ සඳහා ඉතා හොඳ උදාහරණ සැපයූවේය. චීනය වර්තමාන ලෝකයේ සැලකිය යුතු බලවතෙකු වුවද අතීතයේ එය අධික ජනඝනත්වයකින් යුතු හුදෙකලා යෝධයෙක් පමණක්ම විය. එකල ලෝකයේ ජයකෙහෙළි නැංවූයේ අමෙරිකාව සහ රුසියාවය. මේ දෙරට ලෝකය පාලනය කිරීමට තරග වැදුණාහ. එහිදී සාධාරණ සහ අසාධාරණ ක්‍රියා දෙපාර්ශ්වයෙන්ම සිදු විය. කොටින්ම කියන්නේ නම් සඳ තරණයට පවා මේ දෙරට අතර තරගයක් විය. පසුකාලීනව සමාජවාදී සෝවියට් දේශය බිඳ වැටුණු පසු අමෙරිකාව පාළු ගෙදර වළං බින්දේ වර්තමානය දක්වා දිග්ගැස්සුණු සටන් ලෝකයේ ඇතැම් රටවලට තිළිණ කරමිනි.
චීනය නමැති නිදා සිටි යෝධයා අවදි වූයේ ඒ අතරය. එහෙත් මේ යෝධයා අවදි වේ යැයි ලෝකයේ අංක එකේ බලවන්තයා බවට පත් වේ යැයි අමෙරිකාව ඇතුළු බොහෝ රටවල් සිතුවේ නැත. දැන් අද වන විට ඒ නොසිතූ නොපැතූ භයානක සිහිනය සැබෑවක් වන ලකුණු පැහැදිලිවම පහළ වී ඇති බව ඇමෙරිකාවට පෙනී ගොස් තිබේ. චීනය ලෝකයේ අංක එකේ බලවතා වීම නැවැත්විය නොහැකි බව දැන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරට තහවුරු වී තිබේ. එමෙන්ම ඒ කරුණ තහවුරු වන්නේ අමෙරිකාවට පමණක්ම නොවේය. ඒ හා සමානවම, බොහෝ විට ඊටත් වඩා ප්‍රබලව ලෝක දේශපාලනය ගැන සවිඥානික රුසියාවේ පුටින් පාලනයද චීනයේ අනාගතය ගැන හොඳින් තේරුම් ගෙන සිටින බවට සැක නැත.
අමෙරිකාවේ ට්‍රම්ප් පාලනය චීනයේ ඉදිරි ගමන නැවැත්වීමට වෙළෙඳ යුද්ධ වැනි සෙල්ලම් තුවක්කු ප්‍රහාර එල්ල කරද්දී රුසියාව ලෝක දේශපාලනයේ පිම්මක් පනිමින් චීනය දෙසට මිත්‍රත්වයේ දෑත දිගු කර සිටියේය. චීන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය සිදු වන්නේද එහි දිගුවක් වශයෙනි. එම සංචාරයේදී වූ විශේෂ සිදු වීම් අතර අමෙරිකානු තහංචි පැනවුණු හුවාවෙයි චීන ජංගම දුරකථන සමාගම සමඟ රුසියාව ඇති කරගත් ගිවිසුම් සඳහන් කළ යුතුමය. සැබැවින්ම එය අමෙරිකාවට විරුද්ධව රුසියාව සහ චීනය අත්වැල් බැඳගැනීමක් ක්‍රියාවෙන් ඔප්පු කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හුවාවෙයි ජංගම දුරකතන තහනම් කිරීම එම චීන සමාගමට කෙටි කාලීන බරපතළ පාඩු ලබාදෙන බවට සැකයක් නැත. එහෙත් ඒ සියල්ල හමුවේ කලබල නොවුණු චීනය එම ජංගම දුරකතන සඳහා රුසියානු වෙළෙඳපොළ විවෘත කර ගත්තේ ගෝලීය දේශපාලන අරමුණුද යටිපෙළේ පවත්වා ගනිමිනි. එය හුදෙක් ජංගම දුරකතන අලෙවි කරගැනීමක් පමණක් නොවන බව පැහැදිලිය. එබැවින්ම ජංගම දුරකතන අලෙවිය තහනම් කරමින් ළමා තර්ජන කරමින් නැවැත්විය හැකි සීමාවක චීනය නොසිටින බව අමෙරිකාව තේරුම් ගත යුතුය.
රුසියාව ලෝකයට වාමාංශික දේශපාලනය ප්‍රායෝගික කර ක්‍රියාත්මක කර පෙන්වා දුන්නේය. චීනයටද ඓතිහාසික වාමාංශික ගමන් මඟක් විය. අද මේ දෙරටම ඍජු වාමාංශික ධාරාවේ නොවූවද අමෙරිකානු මාවතට විරුද්ධ මාවතක ගමන් ගනිමින් සිටී. චීනය නිදා සිටි යෝධයා ලෙස පැවති අවදියේ තනිව අමෙරිකානු කඳවුරට මුහුණ දුන් රුසියාවද චීනය කෙරෙහි වැඩි අවධානයක් දැක්වූයේ නැත. එහෙත් දැන් මේ දෙරටේ පොදු එකඟතාව පොදු සතුරා වෙනුවෙන් බව පැහැදිලිය.
චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්ග් රුසියාවේදී පවසා සිටියේ පුටින් යනු තමාගේ ‘හොඳම මිතුරා‘ බවයි. මේ සංචාරයට පෙර චීන රුසියා රාජ්‍ය නායකයන්ගේ නිල සංචාරයන් ඉතා දුලබ වුවද චීන ජනාධිපතිවරයා පවසා සිටියේ මේ සංචාරයට පෙර දෙරටේ නායකයන් ලෙස තමන් දෙදෙනා තිස් වතාවක් පමණ මුණ ගැසුණු බවයි. චීන ජනාධිපතිවරයාගේ කතාවේදී ඔහු ඉතා ගෞරවයෙන් රුසියානු මිත්‍රත්වය අපේක්ෂා කරන බව පැහැදිලි විය. මේ අතර පසුගියදා තමන්ගේ ඉතා දීර්ඝකාලීන මිතුරා ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටි බ්‍රිතාන්‍යයේදී එරට ජනාතාවගේ වීදි විරෝධයන්ට මුහුණ දීමට ඔහුට සිදුවිය. එබැවින් චීන කඳවුර අලුත් මෙන්ම බලසම්පන්න මිතුරන් එක කර ගනිමින් සිටියදී අමෙරිකාවට තමන්ට මෙතෙක් කලක් ළඟින්ම සිටි හොඳම සහ බලසම්පන්නම මිතුරාගේ ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දීමට සිදු වී තිබේ.
එබැවින් තමන් හෙට දිනයේදී දේශපාලනිකව ගන්නා තීරණ අමෙරිකාවේ ලෝක නායකත්වයේ ඉදිරිය තීරණය කරනු ඇති බවට අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට අමෙරිකාවට, විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු වනු ඇත.
චීන-රුසියා නායකයන් දෙදෙනාගේ මේ දැඩි මිත්‍රත්වය ලෝක දේශපාලනය මෙන්ම ලෝක වෙළෙඳාමද අලුත්ම මාවතක් වෙත යොමු කරනු නිසැකය. දැනට වැඩ අවසන් වෙමින් පවතින නළ පද්ධතියක් මඟින් ඉදිරියේදී චීනය සහ රුසියාව එකිනෙක සම්බන්ධ වීමට නියමිතය. ඒ නළ පද්ධතිය චීනයේ සිට රුසියානු සයිබීරියාව හරහා යෙදීමට නියමිත අතර මේ වසරේදී එහි වැඩ අවසන් වනු ඇතැයි පැවසේ. එය ඩොලර් බිලියන 400ක ව්‍යාපෘතියකි.
වෙළෙඳාම අතින් බැලූ කළ රුසියාව චීනයෙන් පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්නා අතර චීනය රුසියාවෙන් අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර මිලදී ගනී. චීනය රුසියාවේ විශාලතම ගනුදෙනුකරුවා වන අතර චීනය පැත්තෙන් සලකා බැලුවහොත් රුසියාව චීනයේ 10වැනි විශාලතම ගනුදෙනුකරුවා වේ. 2017 වසරේදී චීනය රුසියාව වෙනුවෙන් කළ ඍජු ආයෝජන ඩොලර් මිලියන 140 ඉක්මවා ගියේය. ඉදිරි වසරවලදී මේ ආයෝජන වඩාත් වර්ධනය වනු නොඅනුමානය. මේ සියල්ල අමෙරිකාවේ දැඩි අවධානයට ලක් විය යුතුමය. එසේ නැති නම් අනාගතයේ ලෝක නායකත්ව බල සංකේන්ද්‍රණය පෙරදිග මූලික කර ගනිමින් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇත.