
ජනාධිපති ධුර කාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් ගැටලුවලට මුහුණ දුන් ජනාධිපතිවරයෙකු මෑතකාලීන අමෙරිකා ඉතිහාසයේ නැති තරම්ය. අඩු තරමින් වෙනත් ජනාධිපතිවරුන්ට රටේ ජනතාවගේ සහාය නොමදව ලැබුණු අතර අමෙරිකාවට පක්ෂපාතී විදෙස් රටවල්ද අමෙරිකාවේ සියලු ජඩකම් අනුමත කරමින් සහාය දුන් ආකාරය දැකගත හැකි විය.
එහෙත් ට්‍රම්ප්ට මේ දෙකම අහිමි වී ඇති බව සිදු වෙමින් පවතින සිදු වීම්වලින් පැහැදිලි වෙයි. දින තුනක සංචාරයක් සඳහා ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පිවිසියේ අමෙරිකාවට සිටින හොඳම මිත්‍රයා බ්‍රිතාන්‍යයි යන අදහස පෙරදැරිවය. එය හුදු මතයක් නොවන අතර අතීතය පුරා ලෝකයේ තීරණාත්මක සිදු වීම්වලට අමෙරිකාව මැදිහත් වූ සෑම අවස්ථාවකදීම ධනවාදී කඳවුර නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයද සහයෝගය ලබා දුන්නේය. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස ඉරාකයේ සිදු කළ යුද මෙහෙයුම් දැක්විය හැකිය.
ඉරාකයේ න්‍යෂ්ටික අවි පවතින බවට චෝදනා කරමින් ජෝර්ජ් බුෂ් තම හමුදා මෙහෙයවද්දී බ්‍රිතාන්‍යය අගමැති ටෝනි බ්ලෙයාර්ද ඒ සඳහා උපරිම සහයෝගය ලබා දුන්නේය. සැබවින්ම ඉරාකය බිමට සමතලා කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවන්ගේද උපරිම සහාය හිමි විය.
දැන් අමෙරිකාව සිටින්නේ ඉතිහාසයේ අන් කිසිදා මුහුණ නොදුන් අභියෝගයක් අබියසය. ඒ චීනයයි. ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිව එක් පසෙකින් සටන් කරමින්, තවත් පසෙකින් එයටම ආධාර කරමින් සුපුරුදු මාවතේ ගමන් ගනිමින් සිටි අමෙරිකාවට චීනය තම දෙපා අබියසටම පැමිණ තමන්ට අභියෝග කරනු කල් තබා හඳුනාගැනීමට නොහැකි විය.
දැන් ට්‍රම්ප්ට වී ඇත්තේ සෙසු සියලු කරුණු පසෙක තබමින් චීනය මට්ටු කිරීමට උපක්‍රම යෙදීමටය. එසේ නම් එයට තමන්ට හිතවත් සෙසු රටවල සහාය අවශ්‍යය. චීනයට නොයෙකුත් ගැටලු ඇති කිරීමට උත්සාහ දරමින් වෙළෙඳ යුද්ධය ජයටම කරගෙන යන අතර තමන්ට හිතවාදී කඳවුරේ සහාය ලබාගැනීමද ට්‍රම්ප්ගේ අරමුණු අතර ඉදිරියෙන්ම පවතින බව පෙනී යන්නේ ඔහුගේ මේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංස සංචාරයත් සමඟිනි.
මේ සංචාරයේදී බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ සමස්ත ලෝකයේ රටවල් දෙකක් අතර පවතින ශක්තිමත්ම සබැඳියාව පවතින්නේ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ බවයි. මේ වචන පෙළ යට දැවැන්ත මානසික අල්ලසක් පවතින බව තේරුම් ගැනීමට දේශපාලන විචාරකයෙකුම විය යුතු නැත. චීනය සමඟ ඉදිරියේදී සිදු විය හැකි දේශපාලනික සටන්වලදී බ්‍රිතාන්‍යය තම සහායට සිටිනු ඇතැයි අමෙරිකාව තරයේ විශ්වාසයේ තබාගෙන සිටින බව පැවසීමට ට්‍රම්ප් වෙනත් වචන යොදාගත් බව පැහැදිලිය. සැබවින්ම ට්‍රම්ප්ට චීනය සමග ගැටීමේදී යුරෝපා රටවල සහාය අවශ්‍ය වනු ඇත. එහෙත් එක් දෙයක් පැහැදිලිය. මේ දක්වා අමෙරිකාවට මුණ ගැසුණු සාම්ප්‍රදායක සතුරන් මෙන් නොව චීනය අතිශයින් වෙනස් මාවතක ගමන් ගනිමින් සිටින්නෙකි.
අනෙක් අතට ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාලකයන් මොන මුහුණ පෙන්වූවද එරට ජනතාවගෙන් ලැබුණේ කැපී පෙනෙන ප්‍රතික්ෂේප වීමකි. අන් කිසි ජනාධිපතිවරයකුට නොලැබුණු අන්දමේ උද්ඝෝෂණ රැල්ලක් බ්‍රිතාන්‍යය පුරා ට්‍රම්ප් වෙනුවෙන් සංවිධානය වී තිබිණි. මධ්‍යයම ලන්ඩනය, ට්‍රැෆල්ගා චතුරස්‍රය, ග්ලාස්ගෝව්, එඩින්බරෝ ෂෙෆීල්ඩ් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකම පැවති විරෝධතා රැලිවලට විශාල ජනතා සහභාගීත්වයක් විය. මධ්‍යම ලන්ඩනයේ විරෝධතා රැලිය ඇමතීමට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබන් කටයුතු කළේය. එපමණක්ද නොව ඔහු ට්‍රම්ප් සමග පසුගිය සඳුදා දිනයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයද වර්ජනය කළේය.
එයින් නොනැවතුණු ඔහු ට්‍රම්ප්ට චෝදනා කර සිටියේ වඩාත් සාමකාමී ලෝකයක් වෙනුවෙන් ට්‍රම්ප් කටයුතු කළ යුතු බවයි. ඒ සම්බන්ධව කරුණු කිහිපයක් පැවසීමට ඔහු හමුවිය යුතු යැයි කම්කරු පක්ෂ නායකයා පැවසුවද ජනාධිපති ට්‍රම්ප් ඒ සඳහා අවස්ථාවක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
තමන් ජූනි මාසයේදී ධුරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කළාය. එසේ නම් බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයකු හිමි වනු ඇත. බ්‍රෙක්සිට් අවුලේ පැටලී සිටින බ්‍රිතාන්‍යයට සෙසු ආරවුල් ලෙහෙනු තබා තමන් පැටලී ඇති අවුලෙන් ගැලවීමද අපහසු වී තිබේ. 2022 දී මීළඟ මහමැතිවරණය පැවැත්වීමට නියමිත අතර කම්කරු පක්ෂ ආණ්ඩුවක් වුවද එමඟින් බිහි වීමට ඉඩ ඇත.
චීනය සමඟ වන අමෙරිකානු බල අරගලයට බ්‍රිතාන්‍යයටද කිසියම් බලපෑම් කරනු ඇත. එහෙත් රෝඩ් ඇන්ඩ් බෙල්ට් ජාලය සමඟ වාණිජ ලෝකය ජයගැනීමේදී චීනය වඩාත් නම්‍යශීලී වෙමින් මිතුරන් දිනාගැනීමට කටයුතු කරනු නොඅනුමානය. මේ වන විටත් ලෝකයේ විවිධ රටවල නායකයන් චීනය දෙස බලාගෙන ඒ උපදෙස් මත කටයුතු කරනු රහසක් නොවේ. එබැවින්ම බ්‍රිතාන්‍යය වුවද තම පැවැත්ම මත දීර්ඝකාලීන මිතුදමින් බැහැරවීමට වුවද බැරි නැත.
චීනය ලෝකය වෙනස් කරමින් සිටින බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදු වන දිනය වැඩි ඈතක නොවේය.