
උචිතයා ජය ගැනීම යනු කැලේ නීතියය. ධනවාදය එය පෘථිවි තලයටම පොදු කර දැක්වූයේය. එහිදී පවතින ක්‍රමය මත පැවතිය හැකි අය පමණක් සාර්ථක ජීවිතවලට උරුමකම් කියන්නවුන් ලෙස පිළිගැනීමට ලක් වෙති. පවතින ක්‍රමය සමඟ පැවතෙමින් සාර්ථක වීමට නොහැකි වූවන්ට සිදු වන්නේ සාර්ථක වූවන්ගේ ජයග්‍රහණ දෙස බලමින් ඔවුන් මත ජීවිතය පවත්වාගැනීමටය.
එය හුදෙක් පුද්ගල ජීවිතවලට අනුකූල කොට පැවසුවද පොදුවේ රටින් රටටද මේ කාරණය එලෙසින්ම අදාළය. ධනවාදය සමඟ සාර්ථක ලෙස පෑහුණු රටවල ලොව බලවතුන් වෙද්දී නොපෑහුණු රටවල් සෙසු රටවල ණය මත යැපෙන, ඒ ණය සමග පැනවෙන කොන්දේසිවලින් හෙම්බත් වූ ජීවිත සහිත, දරිද්‍රතාවෙන් නොමැරී ජීවිතය ගැට ගසාගන්නා මිනිසුන් බවට පත් වී සිටී. මෙය රටින් රටට අදාළ කොට බැලීමට හැකි නම් මෙහි අර්ථය ඔබට පැහැදිලි වනු ඇත.
එවන් රටක දිනෙන් දින උග්‍ර වන ගැටලු හමුවේ සාම්ප්‍රදායික දේශපාලනය රටේ ප්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු සැපයීමට අපොහොසත් වන්නේ නම් එවිට ඒ රටවල ජනතාව නොයෙක් විසඳුම් කරා විතැන් වනු පසුගිය කාලයේ උදාහරණ සහිතව දක්නට ලැබිණි. ඒ යටතේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් වෙනුවට වෙනත් විකල්ප කෙරෙහි විශ්වාසය තැබීම බොහෝ රටවලින් දැකගත හැකි විය. මේ විකල්ප බොහෝදුරට නළුවන්, නිළියන්, නිවේදකයන්, පාලකයන්ගේ දරුවන්, වැන්දඹුවන්, ක්‍රීඩකයන් සහ තවත් නොයෙක් මායාමය චරිත විය.
දේශපාලනය හැර ඔවුන්ගේ වෘත්තීන්වලදී ඔවුන් සාර්ථක වූ අතර ඒ හේතුවෙන්ම දිනාගත් ජනතා ආකර්ෂණය සමග ඉදිරියේදී රටේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ හැකියාවක් ඔවුන් සතුව ඇතැයි අසාර්ථක රටවල ඡන්ද දායකයෝ විශ්වාස කළහ.
එම තත්ත්වය සඳහා දකුණු ආසියානු කලාපයේ උදාහරණ සුලබය. මේ අතරට අලුතෙන්ම එක්වූ රට ලෙස යුක්රේනය හඳුන්වා දුන්නාට තවමත් වැරැද්දක් නැත. මෙහිදී ‘තවමත්‘ යැයි පවසන්නේ නව ජනාධිපතිවරයාට තමන්ගේ ධුරයේ කිසිදු වගකිවයුතු හැසිරීමක් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නැති නිසාය. එකී කුලකයෙන් ඉවත් වීමට තම වගකීම් ඉසිලීමෙන් ඔහුට ඉදිරියේදී හැකියාව ලැබේ නම් එය සතුටට කාරණයක් වනු ඇත.
යුක්රේනය යනු අතීත සෝවියට් රුසියාවේ කොටසකි. එහෙත් සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ යුක්රේනයට ස්වාධින රටක් ලෙස වෙන් වීමට හැකියාව ලැබිණි. එහි ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයක් ගොඩනැඟුණු අතර පරිණත දේශපාලනඥයෝ රාජ්‍ය පාලනයට එක් වූහ. එහෙත් මහා රාජ්‍යයෙන් පහසුවෙන් බෙදී ගියද පැවැත්ම තහවුරු කරගැනීම එතරම් පහසු නොවීය. රුසියාවෙන් බෙදී වෙන් වීම සමඟම බටහිර රටවල ව්‍යාජ සහයෝගය යුක්රේනයට නොඅඩුව ලැබිණි. එහෙත් යෝධ රුසියාව හමුවේ ශක්තිමත්ව නැඟී සිටීමේ දී යුක්රේනයට නොයෙක් ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඒ අතරින් ඇතැම් ඒවා සංවර්ධන අරගලයේදී රටකට මුහුණ දීමට සිදු වන අරගල වන අතර ඇතැම් ඒවා අසල්වැසි බලවතා විසින් සිතාමතා ඇති කරනු ලැබූ ඒවා විය.
කෙසේ වුවද වසර ගණනාවක් තිස්සේ යුක්රේනයේ සාම්ප්‍රදායික, පරිණත දේශපාලනඥයෝ ඒවාට පිළිතුරු සැපයීමට අපොහොසත් වූහ. ඒ සමඟ ඇතිවුණු දේශපාලනඥයන් කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම් සහ නොනවතින, පිළිතුරු රහිත ප්‍රශ්න හමුවේ යුක්රේන ජනතාව ඓතිහාසික තීන්දුවකට පැමිණියහ. ඒ වර්තමානයේ එරට ජනාධිපති ව්ලොදොමියර් සෙලින්ස්කි හට බලය දීමය.
සෙලින්ස්කි වෘත්තියෙන් නළුවෙකි. ඔහුගේ පියා මහාචාර්යවරයකු සහ මව ඉංජිනේරුවරියක වුවද සෙලින්ස්කිගේ නමට පසුපසින් අධ්‍යාපන සුදුසුකම් සටහන් වන්නේ නැත. කලක් ඔහු නීතිය හදාරා ඇතැයි පැවසේ.
කෙසේ වුවද ඔහුගේ ජීවිතය වෙනස් මඟකට අවතීර්ණ වන්නේ දේශපාලන ප්‍රහසනයක ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබීමත් සමඟිනි. එම ප්‍රහසනයේදී ඔහු නිරූපනය කරන්නේ ගුරුවරයකුගේ චරිතයකි. මේ ගුරුවරයා යුක්රේනයේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කරන්නෙකි. අවසානයේ අසාර්ථක දේශපාලනඥයන්ට එරෙහිව මේ ගුරුවරයාට ජනාධිපති තනතුර ලබාදීමට එරට ජනතාව කටයුතු කරති. ගුරුවරයා දේශපාලනඥයන්ට අභියෝගයක් වෙමින් තනතුරට සාධාරණයක් ඉෂ්ට කරයි.
එවැනිම චිත්‍රපටයක් වරක් උතුරු ඉන්දියාවේ ප්‍රදර්ශනය වූ අතර එහි ප්‍රධාන චරිතය අනිල් කපූර් විසින් නිරූපනය කරන ලදී. ඔහු චිත්‍රපටයෙන් කියැවෙන ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වන අතර වෙනත් අරමුණු නැති බැවින් මහඇමති ලෙස ධුරය සාර්ථකව හෙබවීමටත් ජනතා ප්‍රශ්නවලට සාධාරණ විසැඳුම් දීමටත් ඔහුට හැකියාව ලැබේ. ඒ අනුව සැබෑ ලෝකයේ අසමත් වන දේශපාලනඥයන් වෙනුවට රිදී තිරය හෝ පුංචි තිරය මත වීරයන් මවා පෙන්වමින් ජනතාවගේ මනස තෘප්තිමත් කරවීමට කටයුතු කිරීම සුලබ බවට අදහසක් ලබාගත හැකිය.
යුක්රේන ජනාධිපතිවරණයේදී සෙලින්ස්කිට අපේක්ෂකත්වය ලැබීමෙන් සිදු වන්නේ මේ මායාව යථාර්ථයක් වන තරමට එරට ජනතාවගේ අවිඥානය සමඟ සෙල්ලම් කිරීමය. සෙලින්ස්කිට පරාජය වන්නේ යුක්රේනයේ ඉතා පරිණත දේශපාලනඥයෝ දෙදෙනකි.
කෙසේ වුවද මැතිවරණය පුරා සෙලින්ස්කිගේ හැසිරීම අධ්‍යයනය කරන විට ඔහුට දේශපාලනයේ කිසියම් පළපුරුද්දක් සහිත පිරිසකගේ උපදෙස් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකි අවස්ථා බොහෝය. ඔහු සිතාමතා මැතිවරණ රැස්වීම් මඟහැරි බවක් පෙනී ගියේ යැයි බීබීසී වාර්තාවක සඳහන් විය. ඒ වෙනුවට මනා සේ ආලෝකකරණය කරන ලද රූපරාමුවල පෙනී සිටිමින් සංස්කරණය කළ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
ජනාධිපතිවරණය අති විශාල බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ පසු ඔහු පවසා සිටියේ යුක්රේනය පාපන්දු ක්‍රීඩාවෙන් අයිස්ලන්තය මෙන්ද, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය මෙන්ද, තාක්ෂණයෙන් ජපානය මෙන්ද, සතුටින් සිටීමෙන් ස්වීඩනය මෙන්ද විය යුතු වන බවයි. එමෙන්ම රටක් ලෙස ජයගත යුතු අභියෝග රැසක්ම ඇති බව සිහිපත් කළ නව ජනාධිපතිවරයා ප්‍රථම කාර්ය ලෙස යුක්රේනයේ බෙදුම්වාදීන් සමඟ සටන් විරාමයකට යා යුතු යැයිද සඳහන් කර සිටියේය.
මේ ආදී වශයෙන් දේශපාලනික අත්දැකීම් විරහිත නළුවකු ජනාධිපති වූයේ යැයි හාස්‍යයට ලක් කළ පුද්ගලයන්ගේ කටවල් පුදුමයෙන් ඇරෙන තරමේ ප්‍රකාශ කිහිපයක්ම කිරීමට සෙලින්ස්කි ජනාධිපතිවරයා සමත් විය. පසුගියදා මුහුණු පොතේ හුවමාරු වූ එක් පොස්ටුවක ‘කිසිදු රජයේ කාර්යාලයක තම ඡායාරූප එල්ලා නොතබන ලෙස‘ ඔහු පැවසූ ප්‍රකාශයක්ද විය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමාගේ හෙවත් ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට අදාළ ආයතනවල බලධාරීන් තමන්ගේ දරුවන්ගේ ඡායාරූප තම කාර්යාලයේ එල්ලා තබාගන්නා ලෙසත්, තීරණ ගැනීමේදී එම ඡායාරූප දෙස බලන ලෙසත්ය.
ඇත්තෙන්ම මේ ප්‍රකාශ ආකර්ෂණීයය. නළුවකු වුවද යුක්රේන ජනාධිපතිවරයා කෙරෙහි යම් ගෞරවයක් ඇති කිරීමට සමත්ය. එහෙත් තවමත් කල් මදිය. ඒ කතාව පැහැදිලිවම පවසා සිටියේ යුක්රේනයේ අසල්වැසි රුසියාවේ ජනාධීපති පුටින්ය. සෙලින්ස්කිගේ දිව්රුම්දීමේ අවස්ථාවේදී බොහෝ රටවල රාජ්‍ය නායකයන් සුබපැතුම් එක් කළද පුටින් ඒ වෙනුවෙන් සුබපැතුම් එක් කර සිටියේ නැත. ඒ වෙනුවට ඔහු මෙසේ පැවසුවේය.
“ ඔබගේ ක්‍රියාකලාපය දෙස මම බලා සිටිමි. ප්‍රථමයෙන් ගිනිකොන යුක්රේනයේ ගැටලුවලට ඔබ විසඳුම් සෙවිය යුතුය. ඉන්පසු යුක්රේනය සහ රුසියාව අතර සබඳතා යහපත් අතකට පත් කරගත යුතුය. එහිදී ඔබ සාර්ථක වන්නේ නම් මම ඔබට සුබ පතමි“
සෙලින්ස්කිට දේශපානයෙන් පරිණත වීමට මේ ප්‍රකාශයම ගැඹුරින් හැදෑරීම ප්‍රමාණවත් යැයි සිතේ. එසේ නම් පාඩම් පොත මායිම් රාජ්‍යයේ තිබේ. හිටපු නළු ජනාධිපතිවරයා ස්වකීය රංගනය ඒ පාඩම් පොත ඔස්සේ සාර්ථක කර ගනීවිදැයි බලා සිටීම වටී.