
ක්‍රිකට් වසන්ත කාලය ආරම්භ වී තිබේ. දොලොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියත් සමඟමය. ශ්‍රී ලංකාව තරගාවලියට අවතීර්ණ වෙමින් ඊයේ සිය පළමු තරගයට නවසීලන්තයට එරෙහිව තරග කළේය.
දූෂණයට එරෙහිව ICCයෙන් අලුත් වැටක්
දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පාවාදීම් වැළැක්වීම සඳහා එනම් දූෂණයට එරෙහිව අලුත් දැලක් එලීමට ICC මෙවර විශේෂ වැඩ පිළිවෙළක් යොදා තිබේ. එනම් සෑම කණ්ඩායමක් සඳහා ම ICC කලමනාකරුවකු පත් කර තිබේ.
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දහය සඳහා ම ICC විසින් පත් කළ කලමනාකරුවන් ඔවුන් සමඟ නිරන්තරයෙන්ම සමිපයකු ලෙස කටයුතු කරයි. එමගින් තරගයක යම් අකටයුතු හෝ තරග පාවාදීම් සඳහා පෙළඹවීම් කරන පුද්ගලයන් ලෙහෙසියෙන්ම හඳුනා ගැනීමට හැකි වනු ඇත.
මීට අමතරව ලෝක කුසලාන කාලය තුළ සිදුවන තරග පාවාදීම් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ ක්ෂණික දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි අතුරින් දූෂණවලින් අවම තරගාවලිය මෙය බවට පත් කිරීමට ICC කටයුතු යොදා තිබේ.
පසුගිය මාස 18ක කාලය තුළ අපි 15 දෙනකුට චෝදනා ගොනු කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් වර්තමානයේ ක්‍රීඩා කරන්නේ නෑ. ඒ වගේම චෝදනා එල්ල වෙලා තියෙන කිසිම කෙනෙක් මෙවර කණ්ඩායම්වල නෑ.
ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ. කාගෙන්ද කියලා හැමෝම දැන ගන්න ඕනෑ යැයි ICC දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසයි.
------------------------------
මහේල නොයන තැන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරිත්වයට මහේල ජයවර්ධනට එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම දෙයක් ම සිදු වී ඇති බැවින් තමාට කණ්ඩායම තුළ විශේෂ දෙයක් කිරීමට නොමැති බවත් මහේල ප්‍රකාශ කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද මේ ඉල්ලීම ලැබුණු බවත් මහේල පවසයි.
ඔවුන් මට ආරාධනා කලා. ඒත් ඊට වඩා කැපවීම් කරන්න ඕනෑ දේවල් තියෙනවා. මට හිතා ගන්න බැරි වුණා ටීම් එක ඇතුළේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ටීම් එක තෝරාගෙන ඉවර වුණාට පස්සේ මට එකතු කරන්න දේවල් නෑ.
මහේල මෙහි දී අවධාරණය කරන්නේ මම කැමැතියි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණය එක්ක එකතු වෙලා මොනවා හරි දෙයක් කරන්න. හැබැයි ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක එකතු වෙලා නෙමෙයි. මට ඒ තැන ගැළපෙන්නේ නෑ. අපි මාස කිහිපයක් වෙහෙස මහන්සි වෙලා වෘත්තිමය ක්‍රිකට් යන්ත්‍රණයක් සකස් කළා. ඒක ක්‍රියාත්මක කරන්න කිව්වා. ඒත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.
-----------------------
දිමුත් මුනිවත බිඳියි

පුහුණු තරග දෙකම දකුණු අප්‍රිකාවට හා ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජය වුවද, පළමු පන්දුවාර 10 තුළ දී එක් කඩුල්ලක් පමණක් දැවී යාම ධනාත්මක ප්‍රවේශයක් බව දිමුත් කරුණාරත්න දොළොස් වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරැඹීමට පෙර පැවැසීය. ඉන් පසු කඩුලු බිඳ වැටීම නවතා ගත යුතු බව ද පවසයි. සීතල කාලගුණයට ක්‍රීඩකයන් අනුවර්තනය විය යුතු බව ද පෙන්වා දෙන දිමුත්, මාලිංග පුහුණු තරගවල සගවා තබා ගත්තේ ලෝක කුසලාන තරගාවලියේ තරග නවයටම ක්‍රීඩා කිරීමට බව ද පවසයි. ඒක ආරක්ෂක උපක්‍රමයක් දිමුත් වැඩි දුරටත් පවසයි.
--------------------------
අපේ කාලයෙත් එහෙමයි

පුහුණු තරගවල අපි හැමදාම මෙහෙම තමයි, ඒක හැමදාමත් එහෙමයි, වෙනසක් නෑ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානු තරගය අතරතුර විස්තර විචාරයේ දී සංගා පැවැසීය.a
අපි ක්‍රීඩා කරන කාලයෙත් ඒකේ වෙනසක් නෑ. එක පාරක් අපි ඔස්ට්‍රේලියාවේ සංචාරයක ගිය වෙලාවක ඔස්ට්‍රේලියානු ඒ ටීම් එකත් එක්ක තිබුණු තරග දෙකම උඩින්ම පරාජය වුණා. ඒත් තරග පටන් ගත්තට පස්සේ ඔස්ට්‍රේලියාවත් එක්ක තිබුණු පළමු තරගයේදීම අපි මුලින් පන්දුවට පහර දීලා ලකුණු 340ක් රැස් කළා.
----------------------
ඇන්ජි පුදුම වෙයි

මහේල ජයවර්ධන තමන් සම්බන්ධයෙන් මාධ්‍යයකට පල කර තිබූ සමහර අදහස් සම්බන්ධයෙන් තමන් පුදුම වන බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත් වූ බවට මහේල කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. හැම කෙනෙකුටම තමන්ගේ මතයක් තියෙනවා. එය මහේලටත් තියෙනවා. මහේලගේ ඇතැම් ප්‍රකාශ ගැන පුදුම වෙනවා. ඒවා මම ප්‍රතික්ෂේප කරනවා.
දැන් මගේ මූලික අවධානය ලෝක කුසලානය ගැනයි. මම මහේලට කියනවා ඔහුගේ දැනුමෙන් අපට උදව් කරන්න කියලා. මේ වෙලාවේ ඒක අපට ලොකු දෙයක් වේවි.
----------------------------
කුසල්ගේ පොරොන්දුව

පුහුණු තරගවල ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙස පසුබෑම පිළිබඳ කුසල් මෙන්ඩිස් අදහස් දක්වා තිබුණි. අපි ඒ තරගවල හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ලකුණු 300කට යන්න පුළුවන්කම තිබියේදීත් අපි මැද පන්දුවාරවල දී පසුබැස්මකට ලක් වූණා. සැලසුම් කරපු විදියට අපිට ඒ තරග දෙක ක්‍රීඩා කරන්න බැරි වුණා. ඉදිරියේ දී අපට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මැතිව්ස් සහ මාලිංග අපේ පිතිකරන අංශ වගේම පන්දු යැවීමේ අංශයත් ශක්තිමත් කරාවි. අපි ටීම් එකක් විදියට උපරිම කරනවා. මුළු ලංකාවාසීන්ම අපෙත් එක්ක ඉන්නවා. ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම අපේ වගකීමයි.










