හුවාවෙයි සමාගම අවතක්සේරු කර අමෙරිකාව කළේ ලොකු වැරැද්දක් | සිළුමිණ

හුවාවෙයි සමාගම අවතක්සේරු කර අමෙරිකාව කළේ ලොකු වැරැද්දක්

චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධයේ අලුත්ම පියවර පසුගියදා ප්‍රකාශයට පත් වූයේ ලෝකයේම අවධානය යොමු කරමිනි. චීනයේ හුවාවෙයි සමාගමේ නිෂ්පාදනය කරන ජංගම දුරකතන වෙනුවෙන් අමෙරිකාවේ ගූගල් සමාගමේ මෘදුකාංග සහාය මින් ඉදිරියට ලබා නොදෙන බවට ප්‍රකාශ විය. මීට අමතරව අමෙරිකාව තුළ ගනුදෙනු කටයුතු සමාගම් කිහිපයකට තහනම් වූ අතර එහිදී නම් ප්‍රකාශ වූ සමාගම් අතර ද හුවාවෙයි සමාගම විය.

මෙය බැලූ බැල්මට වෙළෙඳ යුද්ධයේ අමෙරිකානු පාර්ශ්වයෙන් යුද ප්‍රකාශ කිරීමකට සමාන කළ හැකිය. අනෙක් අතට මේ සිදු වීම වසර කිහිපයක් තිස්සේ අමෙරිකානු පාර්ශ්වයෙන් චීන හුවාවෙයි සමාගමට කරන ලද කෙනෙහිලිකම්වල අලුත්ම පියවර වන අතර මේ සිදුවීම් මාලාවේ ඉතිහාසයක්ද තිබෙන බව සිහිපත් කළ යුතුය.

අමෙරිකානු පාර්ශ්වයෙන් චීන හුවාවෙයි සමාගමට එල්ල වන චෝදනාව වන්නේ චීනය වෙනුවෙන් අමෙරිකාවේ ඔත්තු බැලීමයි. එහෙත් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන හුවාවෙයි සමාගම පවසන්නේ තමන් ඉතා ශීඝ්‍රයෙන් වෙළෙඳපොළ අතික්‍රමණය කරන බැවින් එය තර්ජනයක් කරගත් අමෙරිකාව එලෙස ප්‍රතික්‍රියා දක්වා ඇති බවයි.

මීට පෙරද හුවාවෙයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම සහ ඉන්පසු ඇයව අමෙරිකාවට ගෙන්වා ගැනීම මඟින් අමෙරිකාව හුවාවෙයි සමාගමට කිසියම් තර්ජනයක් එල්ල කිරීමට උත්සාහ ගත්තේය. එහිදී සමාගමට එල්ල වූ චෝදනාව වූයේ අමෙරිකානු සම්බාධක නොසලකමින් ඉරානය සමඟ වෙළෙඳ ගනුදෙනුවල නිරත වීමයි. මෙහිදීද චීන බලධාරීන් කලබල නොවූ අතර ඔවුන් සාකච්ඡා කරමින් ගැටලුව විසඳාගැනීමට උත්සාහ දැරූහ.

දැන් යළිත් වරක් අමෙරිකාව හුවාවෙයි සමාගම සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇත්තේ තමන්ගේ රට සම්බන්ධයෙන් ඔත්තු බැලුවේ යැයි පවසමිනි. මෙහිදී සිහිපත් වන්නේ ඉරාකයේ න්‍යෂ්ටික අවි පවතින්නේ යැයි ඇමෙරිකාව සදාම් හුසේන්ට එල්ල කළ චෝදනාවයි. තමන්ට පාලනය කළ නොහැකි රටක් සම්බන්ධයෙන් කිනම් හෝ චෝදනාවක් එල්ල කරමින් සම්බාධක පැනවීම, තර්ජනය කිරීම හෝ යුද්ධයක් අති කිරීමෙන් අදාළ රට විනාශ කර දැමීම අමෙරිකාවේ පුරුද්දය. එහෙත් මෙවර චීනය සමඟ එය පහසු කරුණක් නොවන්නේ චීනය මේ වන විට අමෙරිකාවේ ආර්ථිකයට පවා තර්ජනයක් එල්ල කළ හැකි තරමේ ශක්තිවන්තයකු වී සිටින බැවිනි.

ගූගල් යනු අමෙරිකානු සමාගමක් වන අතර අමෙරිකානු රජයේ ඉල්ලීමට පිටුපෑමට එම සමාගමට හැකියාවක් නැත. අනෙක් අතට හුවාවෙයි යනු දැනට සමස්ත ලෝකයේ ජංගම දුරකතන වෙළෙඳපොළේ දෙවැනි ස්ථානයේ පසුවන ජංගම දුරකතන නිෂ්පාදක සමාගමයි. ප්‍රථම ස්ථානය දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම සතු වන අතර හුවාවෙයි සමාගම දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ අමෙරිකාවේ ඇපල් සමාගම තුන්වැනි ස්ථානය පත් කරමිනි. ඒ අනුව හුවාවෙයි ජංගම දුරකතන සඳහා මෘදුකාංග පහසුකම් සැපයීමෙන් වැළකීම යනු අමෙරිකාවේ ගූගල් සමාගමටද පාඩු ලබා දෙන තීරණයකි. එසේ වුවද රජයට එරෙහිව යෑමට වඩා පාඩු විඳ ගැනීම තෝරා ගැනීමට ඔවුන්ට සිදු වී ඇති බව නිසැකය. ඒ අනුව බලන විට චීනයට රිදවීමට අමෙරිකාව සිදු කර ඇති මේ ක්‍රියාවෙන් ඔවුන්ටම යම් පහරක් වැදීම නොවැළැක්විය හැකිව තිබේ.

අනික් අතට අමෙරිකාවේ මේ වාණිජ චණ්ඩිකම හමුවේ චීනය දක්වා ඇති ප්‍රතිචාරයද ලොව මවිත කරනවන සුලුය.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථීක සමුළුවේදී ජනමාධ්‍යවේදීන් සමස්ත සමළුවට වඩා වැඩි අවධානයක් යොමු කර සිටියේ මේ හුවාවෙයි තහනම සම්බන්ධයෙනි. එම සමුළුවට සහභාගී වූ හුවාවෙයි නිර්මාතෘ රෙන් ඩෙන්ග්ෆෙයි ජනමාධ්‍යවේදීන් අමතා සිදු කළ ප්‍රකාශයටද ලොව පුරා මාධ්‍යවල විශේෂ ඉඩක් හිමි විය.

එහිදී හුවාවෙයි නිර්මාතෘවරයා පවසා සිටියේ තමන් අමෙරිකාවෙන් මෙවැනි තර්ජනයක් බලාපොරොත්තුව සිටියේ බොහෝ කලකට පෙර සිට බවයි. ඒ අනුව 2012 සිට තම සමාගම ඇන්ඩ්‍රොයිඩ් හා සමාන මෘදුකාංගයක් නිර්මාණය කරමින් සිටි බවත් ඒ අනුව ඉදිරියේදී හුවාවෙයි ජංගම දුරකතන සඳහා එම මෘදුකාංගය භාවිත කිරීමට කටයුතු කරන බවත්ය. හුවාවෙයි සමාගම මේ වන විට 5G තාක්ෂණය අත්පත් කරගෙන ඇති බවත් ලෝකයේ වෙනත් කිසිම සමාගමක් මේ වන තෙක් එම තාක්ෂණය අත්පත් කරගෙන නැති බවත් ඩෙන්ග්ෆෙයි සඳහන් කර සිටියේය.

අවසානයේදී හුවාවෙයි නිර්මාතෘවරයා පවසා සිටියේ තම සමාගම අවතක්සේරු කිරීමෙන් අමෙරිකාව ‘වැරැද්දක් ‘ කර ගත් බවයි.

මීට පෙර අමෙරිකාව ලොව පුරා රටවල් රැසකටම තම බලාධිකාරය දක්වමින් නොයෙක් අන්දමින් ඔවුන් පාලනය කළද මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදියා වන චීනය පාලනය කිරීම එතරම් පහසු වන්නේ නැත. චීනය හමුවේ මේ වන විට ඇවිළ යන වෙළෙඳ යුද්ධය බොහෝවිට අමෙරිකාවේ නායකත්වය වෙනස් කිරීමට වුවද පාදක විය හැකි වනු ඇත.

Comments