BOLLYWOOD & HOLLYWOOD | Page 2 | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

සොෆී-ජෝ මංගල්‍යය මහ ඉහළින් ප්‍රංසයේදී

HBO චැනලයෙන් විකාශය වී පසුගිය 19 වැනිදා අවසන් වූ ‘Game of Thrones’ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි.

මෙහි සන්සා ස්ටාක් ගේ චරිතය රඟන සොෆී ටර්නර් රසික පරපුරට අමුත්තියක නොවෙයි. ඇය බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ නෑනා හැටියට හැඳින්වූවොත් නිවැරැදියි. ප්‍රියංකාගේ සැමියා වන නික් ජොනාස් ගේ බාල සොහොයුරු ජෝ ජොනාස්ගේ පෙම්වතිය තමයි, සොෆී ටර්නර්.

සොෆී සහ ජෝ මැයි 01 දා විවාහ වුණා. එය කලින් සැලසුම් කළ විවාහයක් නොවෙයි. ලාස් වේගාස් හිදී පැවැති මේ විවාහ මංගල්‍යයට සහභාගි වී ඇත්තේ දෙපාර්ශ්වයෙහි නෑ හිතවතුන් කිහිප දෙනකු පමණයි. කවුරුත් බලාපො‍රොත්තුව සිටියේ මේ විවාහ මංගල්‍යය උත්කර්ෂවත්ව ප්‍රංසයේදී පැවැත්වෙනු ඇතිය කියලයි. නමුත් ප්‍රංසයේ දී විවාහ වුවහොත් එය, ජෝ ගේ මවුරට වන ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වලංගු වන්නේ නැතිලු. ඒ නිසා ජෝ සහ සොෆී තීරණය කළේ පළමුව එක්සත් ජනපදය තුළ විවාහ වෙන්නයි. නුදුරු දිනයකදී ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය නෑ හිතවතුන් සියලු දෙනාගේම සහභාගිත්වයෙන් ප්‍රංසයේදී පැවැත්වෙන බවයි පැවසෙන්නේ.


ඩොරිස් ඩේ නික්ම යයි

ප්‍රවීණ නිළියක වූ ඩොරිස් ඩේ පසුගියදා මෙලොවින් සදහටම සමුගත්තා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 97 ක්. ඇය රංගන ශිල්පිනියක් පමණක් නොවෙයි. ජනප්‍රිය ගායිකාවක්. ප්‍රවීණ සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිචිකොක් නිර්මාණය කළ ‘The Man who Knew Too Much’ චිත්‍රපටයේ රඟපාමින් ඇය ගැයූ ‘Que sera, Sera’ ගීතය ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවමත් ජනප්‍රියයි. 1939 දී ගීත ගායනයට එක්වූ ඩොරිස් ඩේ, මුලින් ම ගායනා කළේ ‘Sentimental Journey’ නම් වූ ගීතයයි. 1947 – 1967 අතර කාලය තුළ ඇය ගැයූ ගීත සංඛ්‍යාව 650 ක්. ඇය සිනමා නිළියක ලෙස දොරට වඩින්නේ 1948 දී තිරගත වූ ‘Romance on the High seas’ චිත්‍රපටයෙන්. 1960 දී ඇකඩමි සම්මානයක් වෙනුවෙන් ඇගේ නම නිර්දේශ වූ අතර සිනමා රංගනය වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඇය සිසිල් බී‍. ද මෙල් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවා. තමන් මිය ගිය විට කිසිදු අවමංගල උත්සවයක් හෝ සිහි කිරීමක් නොකරන්නැයි ඩොරිස් ඩේ ඉල්ලීමක් කර තිබුණ බව ඇගේ කළමනාකාරිණිය වූ බොබ් බෂාරා පැවසුවා.

“ඩොරිස් හරිම ලජ්ජාශීලී කෙනෙක්. එයා ප්‍රසිද්ධියට කැමැති නෑ. තමන්ගේ ජනප්‍රියත්වය ගැන එයා සැලකුවේ නැහැ” බෂාරා තවදුරටත් පැවසුවා. ඩොරිස්ගේ සියලු දේපළ ඇගේ අවසන් ඉල්ලීමට අනුව සමාජ සත්කාරක කටයුතුවලට පරිත්‍යාග කිරීමට නියමිතයි.


ශිල්පා - කාජල් තාමත් අමනාපයි

තරගකාරිත්වය සහ වෘත්තීය ඊර්ෂ්‍යාව බොලිවුඩ් සිනමාව තුළ වසර ගණනාවක් තිස්සේ පවතින බවයි වරින් වර අහන්න ලැබෙන සමහර පුවත්වලින් හැඟී යන්නේ. බොලිවුඩයේ නළු නිළියන් අතර මේ තත්ත්වය වඩාත්ම දකින්න පුළුවන්. ඔවුන් අතර බොහෝ විට සුහදත්වය නිරතුරු රැඳී පවතින්නෙ නැහැ.

එවැනි අමනාපයකින් පසුවන ශිල්පා ශෙට්ටි සහ කාජල්, ’90 දශකයේ මුල් භාගයේ සිට තවමත් එකිනෙකාගේ මුහුණ බලන්නේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපෑ 1993 දී තිරගත වූ ‘බාසිගර්’ චිත්‍රපටයෙන් පසුවයි මේ අමනාපය මතුවුණේ.

එදා සිට තමන් සහ කාජල් අතර පවතින විරසකයට හේතු විමසන බොහෝ දෙනකුට පසුගියදා ප්‍රකාශයක් කළ ශිල්පා ඒ රහස මෙලෙස හෙළි කළා...

“බාසිගර් චිත්‍රපටයේ එන ‘යේ කාලි කාල අන්ක්හේන්’ කියන සින්දුව නිසයි, මාත් කාජල් අතරත් අමනාපයක් ඇති වුණේ. ඒ දර්ශනයේ රඟපෑවෙ ශාරුක් ඛාන් එක්ක කාජල්. චිත්‍රපටයේ දෙවැනි උප ප්‍රධාන චරිතය තමයි කාජල් රඟපෑවේ‍. ඒත් එයා ‘බාසිගර් ඕ බාසිගර්’ කියන ගීතමය ජවනිකාවෙත් රඟපෑවා. මේ ගීත දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසා ම ‘බාසිගර්’ චිත්‍රපටයත් ජනප්‍රිය වුණා. කාජල්ට වගේ ජනප්‍රියත්වයක් මට නොලැබුණු නිසා එදා මම අසතුටෙනුයි හිටියේ. එහෙම හිතපු ඒක ගැන අද මම පසු‍තැවෙනවා.”

‘බාසිගර්’ චිත්‍රපටයෙන් පසුව ශිල්පා සහ කාජල් එකට රඟපෑවේ නැහැ. දෙදෙනා අතර මිත්‍රත්වයක් තිබුණේත් නැහැ.


රුහි වෙරි වී අනතුරු ‍රැසක්

රුහි සිං, බොලිවුඩ් ටෙලිනාට්‍ය රසික පිරිස අතර ජනප්‍රිය නිළියක්. 30 වැනි වියෙහි පසු වන ඇය, පසුගියදා සිදු කළ අනතුරු මාලාවක් නිසා අත්අඩංගුවට පත්වුණා‍. මේ අනතුරු මාලාවට යතුරු පැදි 4ක් සහ මෝටර් රථ 3ක් ඇතුළත් වෙනවා. වාහන 7කට අලාභ හානි සිදුකර ඇත්තේ රුහී ඒ මොහොතේ මත්පැන් පානය කර තිබූ නිසා යැයි පොලිස් නිලධාරීන් පවසනවා.

රුහී සහ මිතුරන් කිහිප දෙනකු බන්ද්‍රා ප්‍රදේශයේ අවන් හලකට ගොඩවැදී මත්පැන් පානය කර ආපසු පැමිණෙද්දීයි මෙය සිදුවී ඇත්තේ. අවන් හලෙන් පිටතට පැමිණි රුහී ඇතුළු පිරිස එහි සේවකයන් කිහිප දෙනකු සමඟ ද දබර කරගෙනත් තිබෙනවා.

ඉන්පසුව තම වාහනයට මිතුරන් සමඟ ගොඩ වූ රුහී, වාහනය පණ ගන්වා අවන්හල් පරිශ්‍රයෙන් පිටතට ගැනීමේදීයි එහි නවතා තිබූ යතුරු පැදි සහ මෝටර් රථවල ගැටී ඇත්තේ. මේ සිදුවීමත් සමඟ ම එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකු සමඟ ද ඇය ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා. එයින් පසුව අත්අඩංගුවට ගත් රුහී ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලීසිය, ඔවුන්ව නිදහස් කර තිබෙනවා. නමුත්, ඔවුනට විරුද්ධව නීති මඟින් කටයුතු කරමින් පවතිනවා.

2011 දී නිරූපණ ක්ෂේත්‍රයට එක්වූ රුහී, එම වසරේ පැවැති ‘ෆෙමිනා මිස් ඉන්ඩියා’ තරගයෙන් දෙවැනි තැන ලබා ගත්තා. එම වසරේදීම චීනයේ පැවැති අවිවාහක ජගත් නිරූපණ ශිල්පිනිය තරගයට ඇය සහභාගි වූයේ ඉන්දියාව නියෝජනය කරමින්. රුහී බොලිවුඩ් චිත්‍රපට කිහිපයක ද රඟපා තිබෙනවා.

 

Comments