අගමැති නොවුණා නම් මම කවුරු වෙයිද කියලා හිතාගන්න බෑ | සිළුමිණ

අගමැති නොවුණා නම් මම කවුරු වෙයිද කියලා හිතාගන්න බෑ

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති. අක්ෂේ කුමාර් කියන්නේ බොලිවුඩයේ වීරයෙක්. මේ දෙන්නා එකිනෙකා මුණ ගැහිලා කරන කතාබහක් කෙනකුට අහන්න දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. මොකද මේ දෙදෙනා ම ඉන්දියාවේ විශේෂ චරිත දෙකක් නිසා. ඒත් මේ ලියැවෙන්නෙ එවැනි කතාබහක්. මේ කතාබහ වඩා විශේෂ වෙන්නේ මේ කතාබහ දේශපානයෙන් සහ සිනමාවෙන් තොර එකක් වන නිසයි.

අක්ෂේ මට අද අවස්ථාව ලැබුණා අපේ අගමැතිතුමාගේ නිවෙසට ඇවිල්ලා අගමැතිතුමා එක්ක කතා කරන්න. හැබැයි අගමැතිතුමාගෙන් අහන්න එක ම එක දේශපාලනික ප්‍රශ්නයක් වත් මගේ ළඟ නැහැ. මට දැනගන්න වුවමනා වෙලා තියෙන්නේ අපේ අගමැතිතුමා පුද්ගලයෙක් විදියට, මනුස්සයෙක් විදියට කොයිවගේ ද කියලා දැන ගන්න. අනෙක් පැත්තෙන් අගමැතිතුමා කන බොන දේවල් ගැන වගේම දේශපාලනය හැරුණාම අගමැතිතුමා දවස ගෙවන්නෙ කොහොමද කියන එක දැන ගන්නත් කැමතියි. මුලින් ම මේ විදියට කතා කරන්න මට අවස්ථාව දුන්න එක ගැන මම අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා.

මෝදි පැය විසිහතරම දේශපාලනය එක්කම ඉන්න කෙනෙක් විදියට මටත් හිතෙනවා දේශපාලනයෙන් තොරව කතා කරන්න අවස්ථාවක් ලැබුණු එක ගැන. මේ කතාබහ දේශපාලනයෙන් තොරව කරන්න ඔබේ තියෙන කැමැත්ත ඇත්තට ම මම අගය කරනවා. මම දන්නේ නැහැ මේ කතා බහ අහන බලන අය ඒකට කැමැති වේවිද කියලා. ඒත් මම කැමැතියි මේ කතාබහේදි විවෘත, අවංක කෙනෙක් වෙන්න. මම නියතවම එහෙම කරනවා.

අක්ෂේ මිනිස්සු කැමතියි ඔබ ගැන සහ ඔබේ පුද්ගලික ජීවිතය ගැන දැන ගන්න. මම ම උදාහරණයක් කියන්නම්කො. මම මගේ රියදුරාගෙ දුවගෙන් ඇහුවා අගමැතිතුමාගෙන් මොනවහරි දෙයක් අහන්න ලැබුණොත් මොනවද දැන ගන්න කැමති කියලා. ඇය මගෙන් ඇහුවෙ හරි අපූරු ප්‍රශ්නයක්. ඇය මගෙන් ඇහුවා අපේ අගමැතිතුමා අඹ කනවද කියලා. එච්චර විතරක් නෙමෙයි, ඇය මගෙන් අහනවා අගමැතිතුමා අඹ කනවා නම් ඔහු අඹ කන්නේ පෙති කපලද; පෙති කපන්නේ නැතුවද කියලා. අඹ පල්ප් එකක් විදියට හදලා කන එකත් හොඳයි කියලත් කියවෙනවනෙ. ඇත්තටම අගමැතිතුමනි ඔබතුමා අඹ කනවාද?

මෝදි ඇත්තට ම මම අඹ කනවා. ඒ වගේම මම අඹ වලට ගොඩක් කැමතියි. ඒ වගේම ගුජරාට් වල තියෙනවා, අඹ යුෂ සංස්කෘතියක්. මම පුංචි කාලෙ සල්ලි දීලා අරගෙන අඹ කන්න තරම් වත්කම් තිබුණු ජීවිතයක් නෙමෙයි ගත කළේ. ඒත් අපි පුරුදු වෙලා හිටියා අඹ වතුවලට යන්න. අපේ ගොවියො හරිම කරුණාවන්තයි. අපි ඒ අයගෙ අඹ වතු වලට ගියාම අපිට අඹ ගෙඩියක් දෙකක් දෙන්න ඒ අය අදි මදි කළේ නැහැ. අපි අඹ හොරකම් කරන්න හැදුවොත් තමයි ඒ අය අපිව නතර කරන්න හැදුවෙ. මම ගොඩක් ම කැමති ගහේ ම ඉදුණු අඹ වලට, අමුවෙන් කඩලා ඉදවන අඹ වලට මම ඒ තරම් කැමති නැහැ. ඒ කාලෙ අඹ හෝදලා කන්න ඕන කියලා වත් මම නම් දැනගෙන හිටියෙ නැහැ. කාලය ගෙවෙද්දි මම එක එක අඹ වර්ග ගැන දැනගත්තා. මම පුරුද්දක් විදියට අඹ යුෂ බොන්නත් පටන් ගත්තා. ඒ වුණාට දැන් ඒ කාලෙ වගේ නෙමෙයි; දැන් නම් අඹ වුණත් කන්න කලින් හිතන්න වෙලා මම අඹ කීයක් කනවද කියලා.

අක්ෂේ මම දැන ගන්න කැමතියි ඔබට කවදා හරි හිතිලා තිබුණා ද, ඔබ මේ රටේ අගමැති වේවි කියලා. ඔබ ට එහෙම හිතිලා තිබුණා නම් මේ රට පාලනය කරන්න ඕන කියලා; ඒ මොන වගේ වයසකදි ද?

මෝදි මට කවදාවත් එහෙම දෙයක් හිතිලා තිබුණෙ නැහැ. සාමාන්‍ය මනුස්සයකුට ඒ වගේ සිතිවිල්ලක් වත් දරාගන්න අමාරුයි. සමහරවිට ලොකු තනතුරු වලට එන හැම කෙනෙක්ම වගේ ඒ තත්ත්වයට මුහුණ දෙනවා ඇති. ඒ වුණාට මම හිතන්නේ නැහැ කෙනෙකුගේ පවුල් පසුබිම; කෙනෙක් අවසානයේ ගිහින් නතර වෙන තැනට කිසිම බලපෑමක් කරනවා කියලා. ඒ ගමන යෑම සිදුවෙන්නේ ස්වභාවිකවමයි. මගේ පවුල් පසුබිම ගැනම හිතුවොත් මට පුංචි රස්සාවක් හම්බවුණා වුණත් මගේ අම්මා ගිහින් මුළු ගමට ම රස කැවිලි බෙදාවි. මොකද අපි ජීවත් වුණු ගමෙන් එහා ලෝකයක් ගැන අපි කවදාවත් හිතලම තිබුණෙ නැහැ. ඒ දේ නිකම් ම සිදු වුණා. මේ පාර මම වෙනුවෙන් ම වෙන්වෙලා තියෙන්න ඇති. රට විසින් ම මාව ඉදිරියට අරගෙන ආව. වගකීම් මගේ පැත්තට එන්න පටන් ගත්තා.

අක්ෂේ ඒ කියන්නේ ඒක හරිම ස්වභාවිකව වුණු දෙයක්?

මෝදි අද මම මෙතන ඉන්නෙ ඒ හැම දෙයක් ම ස්වභාවික ව සිදු වුණු නිසා කියලා මම හිතනවා. ඒත් මගේ පුද්ගලික ජීවිතය එක්ක බැලු‍වම, මගේ පසුබිම එක්ක බැලු‍වම මේ වෙච්ච දේ අස්වාභාවිකයි කියලත් හිතෙනවා. මොකද මම අද අත්විඳින දේශපාලන යථාර්ථය මගේ ලෝකයත් එක්ක නොගැළපෙන ගතියක් තියෙනවා. වෙලාවකට මට ම පුදුමත් හිතෙනවා; ඇයි මේ රටේ මිනිස්සු මට මේ තරම් ආදරය කරන්නේ කියලා සහ ඇයි මේ රට මට මේ තරම් දේවල් දුන්නේ කියලා.

අක්ෂේ මම ඔබ ගැන කියවපු දේකින් මට දැනගන්න ලැබුණා, කාලයක් ඔබට උවමනා වෙලා තිබුණෙ සන්නාසියෙක් වෙන්න. එහෙම නැත්නම් හමුදාවට බැඳිලා රටට සේවය කරන්න.

මෝදි ඒ කතාව ඇත්ත. පොඩි වයසේ ඉදලා මට පුරුද්දක් තිබුණා, පුස්තකාලෙට ගිහින් පොත් කියවන්න. මම ගොඩක් ම කැමැත්තෙන් හිටියෙ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ අපදාන කියවන්න. නිල ඇඳුමක් ඇඳගත්ත සෙබළෙක් පාරේ ඇවිදගෙන යනවා දැක්කත් බොහොම ගෞරවයෙන් ඔවුන්ට ආචාර කිරීමේ පුරුද්දකුත් මට තිබුණා. ඒ විදියටයි මගේ හිතේ හමුදාව ගැන කැමැත්තක් ඇති වුණේ. 1962 විතර එද්දි යුද්ධය පටන් ගත්තා. මගේ ගමට ටිකක් දුරින් නැවතුම් පොළක් තියෙනවා. ඒ නැවතුම්පොළේ තමයි යුද්ධයට එකතු වෙන්න එන හමුදා ඇණි නතරවෙලා ඉන්නෙ. හැමෝම යනවා ඒ සොල්දාදුවන්ට උදව් කරන්න. බෑග් පටවගන්න උදව් කරනවා; කෑම බීම දෙනවා. ඉතින් මමත් යනව ඒ යන අයත් එක්ක සොල්දාදුවන්ට උදව් කරන්න. මම එහෙම උදව් කරන්න ගියේ හරිම කැමැත්තෙන්. පස්සේ මට දැණුනා ඔව්, ඇත්තට ම රට වෙනුවෙන් ජීවත් වෙන්න හරි මැරෙන්න හරි තියෙන හොඳම විදිය හමුදාවට එකතු වීම කියලා. මගේ හිතේ ඇතිවුණ ඒ සිතිවිල්ල ඔස්සේම මම හිතන්න පටන් ගත්තා. ඔය අතරෙ සයිනික් හමුදා පාසල මම කියෙව්වා. එතනින් මට පුහුණුව ලබලා හමුදාවට එකතු වෙන්න පුළුවන් වේවි කියලා මට හිතුණා. ඒ කාලෙ මම ඉංග්‍රීසි දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මම කෙලින් ම ගියේ අපේ ගමේ පාසලේ විදුහල්පති හම්බවෙන්න. මම නිකමට වගේ ගියේ. මට පොඩි බයකුත් නොතිබුණා නොවෙයි. ඔය කාලෙ තමයි මට ස්වාමි ඇත්මස්තනන්ඩ් හමුවෙන්නේ. ඔහුගේ දේශන වලට මම ගොඩක් ආසා වුණා. ඔහුගේ රාමක්‍රිෂ්ණ මෙහෙයුමට මාව එකතු කර ගත්තා. මම එතුමා එක්ක හිමාලයට ගියා. ගොඩක් තැන්වල ඇවිද්දා. ඇත්තම කිව්වොත් මම ඒ කාලෙ තමයි ලෝකය දැක්කේ. මම මේ හැමදේම කළේ අවුරුදු 18-22 වගේ කාලේ. මට හරි අරමුණක් නැති ගතියක් තිබුණා. ඇත්තට ම මට මඟ පෙන්වීමක් තිබුණෙ නැහැ. මගේ මනසෙ ප්‍රශ්න ගොඩක් ඇතිවුණා. මම ම ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන් ගත්තා. එහෙම එහා මෙහා ඔහේ රස්තියාදු වෙලා තමයි මම අද ඉන්න තැනට එන්න පාර හොයා ගත්තෙ.

අක්ෂේ ඒ කතාව ඇහුවට පස්සේ මට හිතෙනවා ඔබ අගමැතිවරයා නොවුණා නම් සන්නාසියෙක් වෙන්න ඉඩ තිබුණා කියලා.

මෝදි ඒත් මට නම් දැන් හිතෙන්නේ මම අගමැති නොවුණා නම් කවුරු වෙන්න ඉඩ තිබුණාද කියන එක අමාරු දෙයක් කියලා. මොකද මම අද ඉන්නෙ මම කවදාවත් නොහිතපු තැනක.

අක්ෂේ ඒක හැම වෙලාවෙම එහෙමයි නේද? මගේ පැත්තෙන් බැලු‍වත් මට ඒ කාලෙ ඕන වෙලා තිබුණෙ සටන් ශිල්ප ගුරුවරයෙක් වෙන්න. මම දන්නේ නැහැ, මම කොහොමද චිත්‍රපට වලට ඇවිත් වීරයෙක් වුණේ කියලා. මට ඔබෙන් දෙයක් අහන්න පුළුවන්ද? ඔබ තරහ ගන්න කෙනෙක්ද? ඕනෑම කෙනකුට තරහ එන එක ස්වභාවික දෙයක්නෙ. ඒත් ඔබ කොහොමද තරහව පාලනය කරගන්නේ?

මෝදි කවුරුවත් කියන්නේ නැතිවේවි මට තරහ යන්නේ නැහැ කියලා. තරහව, වරදකාරී හැඟීම, බලාපොරොත්තු කඩවීම මිනිස්සුන්ගෙ සාමාන්‍ය ගති. මම අවුරුදු 18 -20 කාලෙ ලබපු පුහුණුවත් එක්ක මම ඉගෙන ගත්තා මේ හැඟීම් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ හැඟීම් පාලනය රඳා පවතින්නේ හොඳ දේවල් වැඩිපුර එකතු කරගෙන නරක දේවල් බැහැර කරන තරමටයි. මම මහ ඇමතිවරයෙක්ගේ ඉඳලා අගමැතිවරයා වෙනකල් ආපු මේ ගමන දිගු එකක්. හැබැයි ඒ ගමනෙදි මම කවදාවත් මාත් එක්ක වැඩ කරන කිසිම කෙනකුට කවදාවත් තරහක් පෙන්නලා නැහැ.

අක්ෂේ ඒත් පිටත ලෝකයේ ඔබ ගැන තියෙන අදහස් නම් ඔබ බොහොම දැඩි පාලකයෙක් කියන එක?

මෝදි මම දැඩියි. ඒ වගේම විනයවත්. ඒත් මම කිසිම පුද්ගලයකුව අවතක්සේරු කරන්නේ වත් පුද්ගලයන්ට අපහාස කරන්නේ වත් නැහැ. මම හැම කෙනෙක් ව ම වැඩකරන්න පොලඹවනවා. යම් වෙලාවක කෙනෙක් මට ගේන කටු පිටපතක වැරද්දක් දැක්කොත් මම ඒ ලියුම අල්ලලා විසි කරන්නේ නැහැ. මම බොහොම මෘදු ව කියනවා; මේ ලියුම මේ විදියට වෙනස් වුණා නම් හොඳයි නේද කියලා. මා කරන ඒ වැඩෙන් මගේ වෙලාවෙන් මිනිත්තු දහයක් නාස්ති වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ කෙනා මාව තේරුම් ගන්නවා; ඒ පුද්ගලයා ආයෙත් වතාවක් ලියුමක් හදද්දි මට ඕන විදියට ඒ වැඩේ කරගෙන එන්න මම මිනිස්සුන්ට උගන්නනවා, ඒ වගේම මම ඉගෙන ගන්නවා. මම වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. මගේ හිතේ තියෙන පීඩනය, ආතතිය මගේ මුළු කණ්ඩායම ම උරා ගන්නවා. ඒ නිසා මට ලොකු ආතතියක් නැහැ.

ආක්ෂේ ඔබට තියෙනවා ලොකු නිවසක්. මම නම් මගේ ගෙදර ජීවත් වෙන්නේ මගේ අම්මා සහ මගේ පවුලේ අය එක්ක. ඔබටත් හිතෙන්නේ නැද්ද ඔබේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, අම්මා සහ අනෙකුත් නෑදෑයන් එක්ක?

මෝදි මම මගේ ගෙදර ජීවත් වෙන කාලයේ මම අගමැති වුණා නම් සමහර විට මට හිතේවි මගේ පවුලේ අයත් එක්ක ජීවත් වුණා නම් හොඳයි කියලා. ඒත් මම අඩු වයසින් ඒ හැම දෙයින් ම ඈත්වෙලා ආපු කෙනෙක්. මම ගෙදර අත්හැරල ආවේ ඒ බැඳීම එක්ක තිබුණු ඔක්කොම සන්තෝෂදායක දේවලු‍ත් අත්හැරලා. දැන් වුණත් මම මගෙ අම්මට කතා කරනවා; මේ ගෙදර මාත් එක්ක ජීවත්වෙන්න එන්න කියලා. කතා කළාම ඇය එනවා, ඇවිත් ටික දවසක් ඉන්නවා; ඉඳලා කියනවා ‘මම මෙහේ ඉඳලා මොනව කරන්නද‘ කියලා. එහෙම කියල ආපහු යනවා. ගමේදි වුණත් හැමෝම ඇවිත් අම්මත් එක්ක කතා කරනවලු‍. අම්ම අහනවා, මම ඔයා ගැන ඒ මිනිස්සු එක්ක මොනවා කතා කරන්නද කියලා. මගේ අම්මා ඇවිත් මේ ගෙදර ඉන්න දවසට මගේ දවසේ වැඩ පෙළගැස්ම හදා ගනිද්දි මම ඒ ගැන මතකයේ ම තියාගන්නවා. මොකද එහෙම දවසක මම රෑ 12ට විතර ගෙදරට ආවොත් මම කොච්චර මහන්සි වෙනවද කියල හිතල අම්මා දුක්වෙන නිසා.

අක්ෂේ ඔබත් එක්ක වැඩකරන අයත් එක්ක කතා කළාම ගොඩක් අය කියන්නේ ඔබත් එක්ක වැඩ කරන එක හරිම අමාරුයි කියලා?

මෝදි කෙනෙක් එහෙම කියනවා නම් ඒ අය මාව හරියට තෙරුම් අරගෙන නැහැ. ඒ අය හැම කෙනකුටම ගොඩක් වැඩ තියෙන බව ඇත්තක්. ඒත් මම ඒ කිසිම කෙනෙක්ව පීඩනයට ලක් කරන්නේ නැහැ. හැබැයි මම මහන්සිවෙලා වැඩ කරනවා දැක්කම ඒ අයටත් පෙලඹවීමක් ඇතිවෙනවා. මීට කලින් හිටපු අගමැතිවරු හවස පහට හයට ගෙදර යනවා. මම උදේ ඉඳන් රෑ මැදියම වෙනකල්ම වැඩකරනවා. ඒ නිසා හැමෝම දකිනවා මම වැඩ කරන හැටි. මම මගේ ළඟ වැඩ කරන අයගෙන් බූරුවන්ගෙන් වගේ වැඩ ගන්නෙ නැහැ. මමත් ඔවුන් එක්කම වැඩ කරනවා. මම උත්සාහ කරන්නේ කණ්ඩායම් හැඟීම වර්ධනය කරවන්න. ජංගම දුරකථනය අල්ලගෙන කාලය නාස්ති කරනවට වඩා වැඩ කරන එක කොහොමටත් හොඳ දෙයක්නෙ.

අක්ෂේ දැඩි බවක් පෙනුණත් ඔබ හාස්‍යත් එක්කත් ඉන්න කැමති කෙනෙක්?

මෝදි මම පුංචිකාලෙ ජීවත් වෙච්ච පරිසරය එක්ක බැලු‍වම අපට තිබුණු ප්‍රශ්න නිසා හිත ඉක්මනට වෙනස් වෙනවා. එහෙම වෙලාවට හැමෝගෙම හිත හදන්න පොඩි විහිළු කරන ගතියක් මගෙ තිබුණා. අදටත් කැබිනට් රැස්වීමෙදි එහෙම පහළ නිලධාරීන් කතා කරන්නෙ නැතුව බය වෙලා වගේ ඉන්න වෙලාවට; මම පොඩි විහිළුවක් කරල ඒ අයගේ විදිය වෙනස් කරනවා.

අක්ෂේ අපේ කතාව ටික වෙනස් කරමු. මෙහෙම හිතමුකො මවා ගත්ත ලෝකෙකදි ඔබට හම්බවෙනවා; ඇල්ඩින්ගෙ පුදුම පහනෙ භූතයා. ඔබට වරම් තුනක් ඉල්ලන්න ලැබුණොත් ඔබ මොනවද ඉල්ලන්නේ?

මෝදි මට ඇලඩින්ගෙ පුදුම පහන හම්බවුණොත් මම ඉල්ලනවා, මේ ඇලඩින්ගේ පහනෙ කතාව හැම ගුරුවරයකුගෙම ඔළුවෙන් මකල දාල දරුවන්ට මහන්සි වෙලා වැඩ කරන හැටි උගන්වන්න කියන සිතිවිල්ල හිතට ඇතුළු කරන්න කියලා.

අක්ෂේ ඔබ පාවිච්චි කරන ඇඳුම් විලාසිතාව ඔබේ ම විලාසිතාවක්. ඒ ඔබ, ඔබ වෙනුවෙන් ම නිර්මාණය කරගන්නා දෙයක් ද?

මෝදි ඇත්තටම මගේ ඇඳුම් විලාසිතාව ගැන ලොකු කතාබහක් තියෙනවා. මම කලිනුත් කිව්වනෙ; මම ගොඩක් තැන්වල ඇවිදපු කෙනෙක්. ඒ නිසා මම ගොඩක් වෙනස් වෙනස් දේවල් දැකල තියෙනවා. ඒ කොහොම වුණත් මේ අත්කොට කුර්තා විලාසිතාව ගැන නම් කතාවක් තියෙනවා. මම ගුජරාට් මහ ඇමති වෙනකල්ම මම තමයි මගේ ඇදුම් සෝද ගත්තේ. අත් තියෙන කුර්තාවක් හෝදන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් මම ඒ කුර්තාව අත් නැතුව අදින්න පුරුදු වුණා. අන්තිමේ ඒක විලාසිතාවක් වුණා. එක දෙයක් නම් ඇත්ත. මම හරි ආචාරශීලීව අඳින කෙනෙක්. ඒකට හේතුව මම බොහොම දුප්පත් තැනකින් ආපු එක වෙන්න ඇති. ඒ කාලෙ මම ඇදුම් මැද්දෙ රත් කරපු ගල් අඟුරු වලින්. මට සපත්තු තිබුණෙ නැහැ. මට මුලින් ම කැන්වස් සපත්තු දෙකක් තෑගි දුන්නෙ මගෙ මාම කෙනෙක්. මම ඒ සපත්තු පාට කර ගත්තේ පාසලේ පන්තියේ හුණු කූරු වලින්.

අක්ෂේ සමාජ මාධ්‍ය ගැන කතා කළොත් ඔබට ලැබෙන පණිවුඩ වලට ඔබම උත්තර යවනවා කියලයි අපි දන්නේ.

මෝදි ඒක ඇත්ත. මම ඒ දේවල් දැන ගැනීමයි වටින්නේ. මම දැක්ක ඔබේ බිරිය, ට්වින්කල් ඛන්නාත් මට බැනලා තියෙනවා. ඇය ඇගේ තරහව මා වෙතට එවල තිබුණා. ඒක සමහර විට ඔබේ පවුලේ සාමයට උදව්වක් වෙන්නත් ඇති.

 

Comments